“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !”

ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණමුත්තමං
ඒතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති

‘ඔය තිසරණය තමයි එකම ආරක්ෂාව. ඔය තිසරණයම තමයි උතුම්ම සරණ. ඔය තිසරණයට පැමිණුනාමයි සියළු දුකෙන් නිදහස් වෙන්නේ.’

බුද්ධ ධම්ම සංඝ යන උතුම් තෙරුවන මේ ලෝ තලයේ පහළ වන්නේ ඉතාමත් කලාතුරකිනි. එබඳු කාලයක දෙව් මිනිසුන් අතර උපදින වාසනාවන්ත සුළු පිරිසකට ඒ තෙරුවන් සරණ යෑමේ භාග්‍ය උදා වේ. ඒ උතුම් තිසරණයේ පිහිට සලසා ගත හැකි දුර්ලභ අවශ්ථාවක් යළිත් ලෝකයට උදා වූයේ මේ මහා භද්‍ර කල්පයේ සතර වන වරට අපගේ ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පහළ වීමෙනි.

සිටි විට තුසිතේ සතුටින්……

පාරමී, උපපාරමී, පරමත්ථ පාරමී වශයෙන් සමතිස් පාරමී පිරූ අප මහා බෝසතාණන් වහන්සේ පෙරුම් පුරනා අවසන් ආත්මභාවය වූ වෙස්සන්තර ආත්මභාවයේ දී මිහිකත හඬවමින් මහ දන් දී සන්තුසිත නම් දිව්‍ය රාජව තුසිත දෙව්ලොව උපන්හ. සම්බුදු උපතට සුදුසු කාලය දකිනා මහා බ‍්‍රහ්මයා ප‍්‍රධාන සකල දෙවි බඹහු කෘතපුණ්‍ය ලක්ෂණයෙන් හෙබි බුද්ධාංකුර වූ සන්තුසිත දෙව්රජාණන් බැහැදක්නට තුසිත භවනයට වැඩියහ. ඔවුහු සාදරගෞරවයෙන් සන්තුසිත දෙව්රජුහු හට ඇරයුම් කළහ.

“කාලෝ’යං තේ මහාවීර – උප්පජ්ජ මාතුකුච්ඡියං,
සදේවකං තාරයන්තෝ – බුජ්ඣස්සු අමතං පදං”

“මහා වීරයාණෙනි, ශ‍්‍රී සම්බුද්ධත්වය පිණිස මේ ඔබට කාලයයි. මිනිස් ලොව මව්කුසෙහි පිළිසිඳ ගත මැනැව. සදේවක ලෝකයා භව සයුරෙන් එතෙර කරවීම පිණිස අමෘත පදය නම් වූ ශ‍්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කරන සේක්වා!”

බෝසත් පුතු තුසිත පුරෙන් බැස……

ඇරයුම පිළිගත් අප මහා බෝසතාණන් වහන්සේ කාලය, ද්වීපය, දේශය, කුලය සහ මව් යන පස් මහා බැලුම් බැලූ සේක. පිළිසිඳ ගැනීම පිණිස සුදුසු බෝසත් මාතාව සොයන කල්හි පූරිත පාරමිතාවන්ගෙන් හෙබි පාරිශුද්ධ සිල් ඇති උතුම් ගුණයන්ගෙන් අනූන වූ සුදොවුන් මහරජුන්ගේ අග‍්‍ර මහේෂිකාව වූ මහාමායා නම් දේවිය දුටු සේක. අනේකප‍්‍රකාර අද්භූත අසිරිය සිදුවෙමින් අපගේ මහබෝසතාණෝ ඒ මව්කුස පිළිසිඳ ගත් සේක. ඒ ඇසළ පුන් පොහොය දවසක යි.

රාජ මාළිඟා අතහැර තාපස වෙස් ගෙන…..

පාරමී ගුණයෙන් ශෝභමාන වූ අප මහා බෝසතාණන් වහන්සේ ධර්මාසනයකින් බස්නා ධර්මකථිකයෙකු සෙයින් මවට දුක් නූපදවා මනුලොවට වැඩියේ වෙසක් පොහෝ දවසකයි. සුදොවුන් නිරිඳු තම පුත් කුමරු ගිහි ගෙය අත්නොහරිනු පිණිස සියලු සැප සම්පත් සළසා දුන්නේය. එනමුත් දිනක් සරසන ලද අස් රියෙන් සිදුහත් කුමරු ඡන්න ඇමතියා සමඟ උයන් කෙළියට යමින් සිටියදී මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් යන සතර පෙර නිමිති දැක ගිහිදිවියට කලකිරුනේ්ය. යළි මැදුර වෙත පැමිණි කුමාරයාට තමාට දාව යශෝධරාවගේ කුසින් සිඟිත්තෙක් උපන්නා යන කරුන අසන්නට ලැබුණි. ඒ රාහුල කුමරු උපන් රාත‍්‍රියේ සිද්ධාර්ථ කුමරු නිවන් සුව සොයා මහාභිනිෂ්ක‍්‍රමනය කොට වදාළ සේක. ඒ පින්බර ඇසළ පොහෝ දිනයකයි.

මේ අප ගෞතම මුනිඳුය සම්බුදු බව ලබනා…..

සය වසරක් ගෙවී ගියේය. වෙසක් සඳ පෑයූ දිනෙක නේරංජරාවේ ඇසතු රුක් සෙවනේ ගෞතම නමින් උන් වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වූ සේක. සාක්ෂාත් කල ඒ අමා නිවනේ සැපය විඳිමින් කිරිපළු නුගරුක් සෙවනේ වැඩසිටි බුදු රජාණන් වහන්සේ සමීපයට පැමිණි තපස්සු – භල්ලික නම් වෙළඳ දෙබෑයන් විළඳත් මී පැණිත් පූජා කොට මෙසේ පැවසීය. “ස්වාමීනී අපි භාග්‍යවතුන් වහන්සේව ද ශ්‍රී සද්ධර්මය ද සරණ යන්නෙමු. ඔබ වහන්සේ අද පටන් අපව ද උපාසකයන් වශයෙන් පිළිගන්නා සේක්වා !’’ ඒ ගෞතම බුදුසසුනේ ද්වේවාචික උපාසකයෝය. ඒ අනුව මේ වනවිට තෙරුවනම පහළ වී නොතිබිණි.

බඹුගෙන් ඇරයුම් ලබමින් – දම් දෙසුමට කැමති වෙමින්…..

තමන් වහන්සේ අවබෝධ කල පටිසෝතගාමී වූ සියුම් වූ ගම්භීර වූ දැකීමට දුෂ්කර වූ ලෝකෝත්තර දහම තෘෂ්ණා වසඟ වූ ලෝ සතුනට දේශනා කිරීමට උන් වහන්සේගේ සිත මන්දෝත්සාහී විය. එකල්හී සහම්පතී බ‍්‍රහ්මරාජ තෙමේ සිය සිතින් අප භාග්‍යවතුන් වහන්සේගේ සිත පිරිසිඳ දුටුවේය. ‘අහෝ! භවත්නි එකාන්තයෙන් ලෝවැස්සා නැසෙන්නාහුය. යම් තැනක තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිත අල්ප උත්සාහයට නැමී පවතී ද, ධර්ම දේශනාවට නොනැමී පවතී ද එහෙයිනි’ සිතූ සහම්පතී බ‍්‍රහ්මතෙමේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ වී උතුරු සළුව ඒකාංශ කොට පොරවා බිම දණ නමා වන්දනා කරමින් මෙසේ ආයාචනා කළේය.

“භාග්‍යවතුන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා! සුගතයාණන් වහන්ස, ධර්මය දේශනා කරන සේක්වා! කෙලෙස් අඩු සත්වයෝ ලොවෙහි සිටිත්මය. ඔවුහු ධර්මය නොඇසීම හේතුවෙන් පිරිහී යති. ධර්මය ඇසීම හේතුවෙන් අවබෝධය කරා යති”

අපගේ ගෞතම මුනිඳුන් – දහම් සකයි පෙරලන්නේ….

මෙසේ සහම්පතී බඹහුගෙන් ලද ඇරයුමින් පසු අපගේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනාවට සුදුසු කවරහුදැයි විමසද්දී පළමුව ආලාරකාලමත් උද්දක රාමපුත‍්‍රත් සිහි විය. අවාසනාවෙකි! ඔවුන් මියගොස්ය. එකල්හී භාග්‍යවතුන් වහන්සේට පස්වග ශ‍්‍රමණවරුන් සිහිපත් විය. අප භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකායෙහි වඩිමින් බරණැස ඉසිපතන මිගදායට වැඩි සේක. එය සිදුවූයේ ද ඇසළ පුන් පොහෝ දිනයකය. භාග්‍යවතුන් වහන්සේ ඈත වඩිද්දීම පස්වග ශ‍්‍රමණවරු උන්වහන්සේ ගැන නොසැලකිලිමත් වූහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ සත්‍යයෙහි පිහිටා එකල පවා සත්‍ය වචනයෙන් පමණක් කතා කළ බව පැවසීමෙන් පසු ඔවුහු ධර්ම ශ‍්‍රවණයට සූදානම් වූහ. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඇසළ සඳ නැගී ආ ඒ සොඳුරු රැයෙහි බරණැස මිගදායෙහිදී අමා බෙරය වැයූ සේක.

අන්ත දෙකට නොපැමිණ මධ්‍ය ප‍්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වා දුන් සේක. චතුරාර්ය සත්‍යය ධර්මය මැනැවින් හෙළි කළ සේක. සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන් පරිවර්ත තුනකින් යුතුව ආකාර දොළොසකින් යුතුව අවබෝධ කළ යුතු අයුරු පෙන්වා දුන් සේක. ධර්ම චක‍්‍රය ඉතා සොඳුරු ලෙස කරකවා වදාළ සේක. එම දෙසුම අවසන් වන කල්හී ආයුෂ්මත් කොණ්ඩඤ්ඤයන් වහන්සේට දහම් ඇස පහළ විය. පොළොව වාසී දෙවියන්ගේ පටන් අකණිටා බඹලොව දක්වා දෙවියෝ මේ අයුරින් ප‍්‍රීතිඝෝෂා කළහ.

“ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං. අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුණා වා කේනචි වා ලෝකස්මින්’ති.”

මෙසේ දෙව් මිනිස් ලෝකයට සැපය පිණිස බුද්ධ රත්නයේත්, ධම්ම රත්නයේත්, සංඝ රත්නයේත් පහළ වීම සිදුවිය. ඒ තෙරුවන හඳුනා ගත් ගිහිපැවිදි ශ‍්‍රාවක ශ‍්‍රාවිකාවන් ලක්ෂ ගණනින් බිහිවෙමින් ගෞතම බුදුසසුන ලොව පැතිරෙන්නට විය. සම්බුද්ධත්වයෙන් සත්වෙනි වර්ෂයේ පුහුදුන් තීර්ථකයන්ගේ මානය බිඳහෙලනු පිණිස ගණ්ඩබ්බ රුක මුලදී අපගේ බුදු රජාණන් වහන්සේ තෙවැනි වරට ‘යමක මහා ප‍්‍රාතිහාර්යය’ සිදුකල සේක. එයද ඇසළ පුන්පොහෝ දිනකම සිදුවූවකි. අනතුරුව අප බුදුරජාණෝ තුසිත දෙව්ලොවට වැඩම කොට එහි වස් එළඹ මාතෘ දිව්‍යරාජයා ප‍්‍රධාන තව්තිසාවැසි දෙවියන්ට ‘විජම්බණ’ වදාළේත් ඇසළ පොහොය දිනයේය.

බුදු සමිඳුගේ වයස කෙමෙන් ගෙවිලා ගියා…..

මෙසේ පුරා සතළිස් පස් වසරක් ලෝකාර්ථ චර්යාවේ හැසිර වදාළ ඒ ගෞතම නම් වු තිලොවඟ ශාන්තිනායකයාණෝ වෙසක් පොහෝ දිනෙක කුසිනාරාවේ උපවර්තන සල් උයනේදී පිරිනිවන් පා වදාළ සේක. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු අග‍්‍ර ධූතාංගධාරී මහා කස්සප මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පැවැති ප‍්‍රථම ධර්ම සංගායනාව සඳහා අජාසත් රජු ඇතුළු පිරිස කටයුතු සංවිධානය ආරම්භ කළේද ඇසළ පොහෝ දිනයකයි.

අමාදහම සිරිලක බබලන්නේ….

සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වසරක් ගත වෙද්දී ශ්‍රී ලංකාද්වීපයට මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කිරීම සිදුවිය. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රධාන සංඝයා විසින් සම්මත කල සීමාව තුළ ‘ප‍්‍රථම ඛණ්ඩ සීමාව’ සම්මත කිරීම ද ඇසළ පොහොයක සිදු විය. එසේම තුම්බුරු සීමා මාලකයේ දී අරිට්ඨ කුමරු ප‍්‍රධාන සිංහල කුමාරවරුන්ගේ පැවිදි උපසම්පදාව ද ඇසළ පොහොයක සිදුවිය. එමෙන් ම මිහින්තලාවේ කණ්ඨක චේතිය වටා දෙවනපෑතිස් රජු විසින් ඉදිකල සැටඅටක් වූ ලෙන් සංඝයා උදෙසා පූජා කිරීමත්, සංඝයා වහන්සේලා ප‍්‍රථම වරට ලංකාවේ වස් එලඹීමත් ඇසළ පොහොයකම සිදුවිය.

රන්මැලි මහ සෑ සැදෙමින් සසුන දිලෙන්නේ…

සම්බුද්ධ පරිනිර්වාණයෙන් 382 වසරකට පසු ලක්දිව රජකල දුටුගැමුණු මහා නරේන්ද්‍රයා විසින් රුවන්වැලි මහා සෑ රදුන් තැනීමේ මංගල ශිලා ප‍්‍රතිශ්ඨාපනය (මඟුල් ගඩොල් තැබීම) උත්සවශ‍්‍රීයෙන් සිදුකෙරුනේ ඇසළ පුන් පොහෝ දිනයකයි.

මම් නමඳිම් වම් දළදා සමිඳුන්…..

සම්බුද්ධ පරිනිර්වාණයෙන් වර්ෂ 847 ක් ගියතැන කිත්සිරිමෙවන් රජ දවස කළිඟු රටින් හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් වඩමවාගෙන පැමිණි ශ‍්‍රී දළදා වහන්සේට උපහාර පිණිස කෙරෙන දළදා පෙරහැර ආරම්භ වූයේත් ඇසළ පුන් පොහෝ දිනයකයි.

ඉතිං මෙබඳු ශාසනික සිදුවිම් රැසකට මුල් වූ මේ ඇසළ පුන් පොහෝ දිනයේ දී අපිත් උතුම් තෙරුවන් ගුණම සිත්හි දරාගෙන සිත කය වචනයෙන් පින් රැස් කර ගැනීමටත් කුසල් රැස් කර ගැනීමටත් උත්සහ ගනිමු.

තෙරුවන් සරණයි !