නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස

එ් භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

සැවැත් නුවර දී ය …..

මහණෙනි, අංග අටකින් යුක්ත ව උපෝසථ සිල් සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.

මහණෙනි, කවර අයුරින් අංග අටකින් යුතු උපෝසථය සමාදන් වීමෙන් ද, මහත්ඵල ඇති වන්නේ? මහානිශංස ඇති වන්නේ? මහත් බැබලීම් ඇති වන්නේ? මහත් පැතිරීම් ඇති වන්නේ?

1. මහණෙනි, මෙහිලා ආර්යශ‍්‍රාවකයා මෙසේ නුවණින් සළකයි. ‘දිවි ඇති තෙක් රහතන් වහන්සේලා සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වැළකුණු සේක. දඬු මුගුරු අත්හැර, අවි ආයුධ අත්හැර, ලැජ්ජා ඇති ව, දයාවෙන් යුක්ත ව, සියළු ප‍්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පී ව වසන සේක. මම ත් අද මේ රාත‍්‍රිය ත්, මේ දහවල ත්, සතුන් මැරීම අත්හැර, සතුන් මැරීමෙන් වැළකී සිටිමි. දඬු මුගුරු අත්හැර, අවි ආයුධ අත්හැර, ලැජ්ජා ඇති ව, දයාවෙන් යුක්ත ව, සියළු ප‍්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරමි. මම මේ අංගය සමාදන් වීමෙන් ද රහතන් වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ පළමු අංගයෙන් සමන්විත වෙයි.

2. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු සොරකම අත්හැර සොරකමින් වැළකී සිටින සේක. දුන් දේ පමණක් ගන්නා, දුන් දේ පමණක් ගන්නට කැමති වන, සොර රහිත වූ පිරිසිදු වූ සිතින් යුතුව වසන සේක. මම ත් අද මේ රාත‍්‍රිය ත්, මේ දහවල ත් සොරකම අත්හැර සොරකමින් වැළකී සිටිමි. දුන් දේ පමණක් ගන්නා, දුන් දේ පමණක් ගන්නට කැමති වන, සොර රහිත වූ පිරිසිදු වූ සිතින් යුතුව වාසය කරමි. මේ අංගය සමාදන් වීමෙන් ද රහතන් වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ දෙවෙනි අංගයෙන් සමන්විත වෙයි.

3. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු අබ‍්‍රහ්මචාරී බව අත්හැර බ‍්‍රහ්මචාරී ව වසන සේක. ලාමක දෙයක් වන මෛථුන සේවනයෙන් වැළකී සිටින සේක. මම ත් අද මේ රාත‍්‍රිය ත්, මේ දහවල ත් අබ‍්‍රහ්මචාරී බව අත්හැර බ‍්‍රහ්මචාරී ව වසමි. ලාමක දෙයක් වන මෛථුන සේවනයෙන් වැළකී වාසය කරමි. මම මේ අංගය සමාදන් වීමෙන් රහතන් වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ තුන්වෙනි අංගයෙන් සමන්විත වෙයි.

4. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකී සිටින සේක. සත්‍ය වචන පවසන, ඇත්තෙන් ඇත්ත ගලපා පවසන, ස්ථිර වචන පවසන, ඇදහිය යුතු වචන පවසන, ලොව නොරවටන වචන පවසන සේක. මම ත් අද මේ රාත‍්‍රිය ත්, මේ දහවල ත් බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකී සිටිමි. සත්‍ය වචන පවසන, ඇත්තෙන් ඇත්ත ගලපා පවසන, ස්ථිර වචන පවසන, ඇදහිය යුතු වචන පවසන, ලොව නොරවටන වචන පවසමි. මම මේ අංගය සමාදන් වීමෙන් රහතන් වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ සිව්වෙනි අංගයෙන් සමන්විත වෙයි.

5. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය බැහැර කොට මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වී සිටින සේක. මම ත් අද මේ රාත‍්‍රිය ත්, මේ දහවල ත් මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය බැහැර කොට මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන් වී සිටිමි. මම මේ අංගය සමාදන් වීමෙන් රහතන් වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ පස්වෙනි අංගයෙන් සමන්විත වෙයි.

6. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු පෙරවරුවෙහි පමණක් වළඳමින්, රාත‍්‍රී භෝජනයෙන් තොර ව, නොකල්හී ආහාර ගැනීමෙන් වැළකී සිටින සේක. මම ත් අද මේ රාත‍්‍රිය ත්, මේ දහවල ත් පෙරවරුවෙහි පමණක් වළඳමින්, රාත‍්‍රී භෝජනයෙන් තොර ව, නොකල්හී ආහාර ගැනීමෙන් වැළකී සිටිමි. මම මේ අංගය සමාදන් වීමෙන් රහතන් වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ සයවෙනි අංගයෙන් සමන්විත වෙයි.

7. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දේ නැරඹීම, මල්, සුවඳ විලවුන් දැරීම, විසිතුරු වස්ත‍්‍රාභරණයෙන් සැරසීම ආදියෙන් වැළකී සිටින සේක. මම ත් අද මේ රැය ත්, මේ දහවල ත් නැටුම්, ගැයුම්, වැයුම්, විකාර දේ නැරඹීම, මල්, සුවඳ විලවුන් දැරීම, විසිතුරු වස්ත‍්‍රාභරණයෙන් සැරසීම ආදියෙන් වැළකී සිටිමි. මම මේ අංගය සමාදන් වීමෙන් රහතන් වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ සත්වෙනි අංගයෙන් සමන්විත වෙයි.

8. ‘රහතන් වහන්සේලා දිවි තිබෙන තුරු වටිනා සුඛෝපභෝගී ආසන අත්හැර, වටිනා සුඛෝපභෝගී ආසන වලින් වැළකී, ඇඳක හෝ පැදුරක හෝ බිම සැතපුණු සේක. මම ත් අද මේ රැය ත් මේ දහවල ත් වටිනා සුඛෝපභෝගී ආසන අත්හැර, වටිනා සුඛෝපභෝගී ආසන වලින් වැළකී, ඇඳක හෝ පැදුරක හෝ බිම සැතපෙමි. මම මේ අංගය සමාදන් වීමෙන් රහතන් වහන්සේලා අනුව යමි. මා විසින් උපෝසථය ද වසන ලද්දේ වන්නේ ය’ කියා මේ අටවෙනි අංගයෙන් සමන්විත වෙයි.

මහණෙනි, මෙසේ අංග අටකින් යුක්ත ව උපෝසථ සිල් සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි. මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.

කොපමණ මහත්ඵල වෙයි ද? කොපමණ මහානිශංස වෙයි ද? කොපමණ මහා බැබලීම් ඇත්තේ වෙයි ද? කොපමණ මහා පැතිරීම් ඇත්තේ වෙයි ද?

මහණෙනි, එය මෙබඳු දෙයකි. යමෙක් මේ අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේතිය, වංග, කුරු, පංචාල, මච්ඡ, සූරසේන, අස්සක, අවන්ති, ගන්ධාර, කාම්බෝජ යන සොළොස් මහා ජනපදයන්හි බොහෝ සත්රුවන් ඇති ව, ඉසුරුමත් බව ත් අධිපති බව ත් ඇති ව, රාජ්‍ය කරවන්නේ වෙයි ද, මෙය අෂ්ටාංග උපෝසථය සමාදන් වීමෙන් ලැබෙන විපාකයෙහි සොළොස් කලාවෙන් එක් කලාවක් වත් නොවටියි. ඒ මක් නිසා ද යත්, මහණෙනි, මිනිස් ලොව රජ සැප දිව්‍ය සැප හා සසඳා බලද්දී ඉතා දිළිඳු ය.

මහණෙනි, මිනිස් ආයුෂයෙන් පනස් වසරක් යන මෙය චාතුම්මහාරාජික දෙවියන්ගේ එක් රාත‍්‍රී දහවලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් චාතුම්මහාරාජික දෙවියන්ගේ ආයුෂ වෙයි. මහණෙනි, යම් කරුණකින් මෙලොවෙහි ඇතැම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අෂ්ටාංග උපෝසථ සිල් ආරක්ෂා කොට කය බිඳී මරණින් මතු චාතුම්මහාරාජික දෙව්ලොවෙහි උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි. මහණෙනි, මෙකරුණ පවසන ලද්දේ දිව්‍ය සැප හා සසඳා බලද්දී මිනිස් ලොව රජ සැප ඉතා දිළිඳු නිසා ය.

මහණෙනි, මිනිස් ආයුෂයෙන් සිය වසරක් යන මෙය තව්තිසා දෙවියන්ගේ එක් රාත‍්‍රී දහවලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසක් තව්තිසා දෙවියන්ගේ ආයුෂ වෙයි. මහණෙනි, යම් කරුණකින් මෙලොවෙහි ඇතැම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අෂ්ටාංග උපෝසථ සිල් ආරක්ෂා කොට කය බිඳී මරණින් මතු තව්තිසා දෙව්ලොවෙහි උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි. මහණෙනි, මෙකරුණ පවසන ලද්දේ දිව්‍ය සැප හා සසඳා බලද්දී මිනිස් ලොව රජ සැප ඉතා දිළිඳු නිසා ය.

මහණෙනි, මිනිස් ආයුෂයෙන් දෙසිය වසරක් යන මෙය යාම දෙවියන්ගේ එක් රාත‍්‍රී දහවලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දෙදහසක් යාම දෙවියන්ගේ ආයුෂ වෙයි. මහණෙනි, යම් කරුණකින් මෙලොවෙහි ඇතැම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අෂ්ටාංග උපෝසථ සිල් ආරක්ෂා කොට කය බිඳී මරණින් මතු යාම දෙව්ලොවෙහි උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි. මහණෙනි, මෙකරුණ පවසන ලද්දේ දිව්‍ය සැප හා සසඳා බලද්දී මිනිස් ලොව රජ සැප ඉතා දිළිඳු නිසා ය.

මහණෙනි, මිනිස් ආයුෂයෙන් හාරසිය වසරක් යන මෙය තුසිත දෙවියන්ගේ එක් රාත‍්‍රී දහවලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ හාරදහසක් තුසිත දෙවියන්ගේ ආයුෂ වෙයි. මහණෙනි, යම් කරුණකින් මෙලොවෙහි ඇතැම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අෂ්ටාංග උපෝසථ සිල් ආරක්ෂා කොට කය බිඳී මරණින් මතු තුසිත දෙව්ලොවෙහි උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි. මහණෙනි, මෙකරුණ පවසන ලද්දේ දිව්‍ය සැප හා සසඳා බලද්දී මිනිස් ලොව රජ සැප ඉතා දිළිඳු නිසා ය.

මහණෙනි, මිනිස් ආයුෂයෙන් අටසිය වසරක් යන මෙය නිම්මාණරතී දෙවියන්ගේ එක් රාත‍්‍රී දහවලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ අටදහසක් නිම්මාණරතී දෙවියන්ගේ ආයුෂ වෙයි. මහණෙනි, යම් කරුණකින් මෙලොවෙහි ඇතැම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අෂ්ටාංග උපෝසථ සිල් ආරක්ෂා කොට කය බිඳී මරණින් මතු නිම්මාණරතී දෙව්ලොවෙහි උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි. මහණෙනි, මෙකරුණ පවසන ලද්දේ දිව්‍ය සැප හා සසඳා බලද්දී මිනිස් ලොව රජ සැප ඉතා දිළිඳු නිසා ය.

මහණෙනි, මිනිස් ආයුෂයෙන් එක්දහස් හයසිය වසරක් යන මෙය පරනිම්මිත වසවත්තී දෙවියන්ගේ එක් රාත‍්‍රී දහවලකි. එයින් තිස් රැයක් මාසයකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසය දහසක් පරනිම්මිතවසවත්තී දෙවියන්ගේ ආයුෂ වෙයි. මහණෙනි, යම් කරුණකින් මෙලොවෙහි ඇතැම් ස්ත‍්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අෂ්ටාංග උපෝසථ සිල් ආරක්ෂා කොට කය බිඳී මරණින් මතු පරනිම්මිත වසවත්තී දෙව්ලොවෙහි උපදින්නේ ය යන කරුණ සිදුවන දෙයකි. දකින්නට ලැබෙන දෙයකි. මහණෙනි, මෙකරුණ පවසන ලද්දේ දිව්‍ය සැප හා සසඳා බලද්දී මිනිස් ලොව රජ සැප ඉතා දිළිඳු නිසා ය.

(ගාථා)

1. සතුන් නොමරන්නේ ය. නුදුන් දෑ නොගන්නේ ය. බොරු නොකියන්නේ ය. මද්‍ය පානය නොකරන්නේ ය. අබ‍්‍රහ්මචාරී බව වූ මෛථුන සේවනයෙන් දුරු වන්නේ ය. රෑ විකල් බොජුන් නොවළඳන්නේ ය.

2. මල් නොපළඳින්නේ ය. සුවඳ විලවුන් නොගල්වන්නේ ය. කැප වූ ඇඳක හෝ බිම පැදුරෙහි හෝ සැතපෙන්නේ ය. මෙය දුකෙහි නිමාවට පැමිණි බුදුරජුන් විසින් වදාරණ ලද අංග අටකින් යුතු උපෝසථය වෙයි.

3. සඳ ත්, හිරු ත් යන දෙදෙන සොඳුරු දැකුම් ඇති ව යම්තාක් දිලෙමින් හැසිරෙත් ද, එසේ හැසිරෙන අඳුර දුරලන ඒ සඳ හිරු දෙදෙන දිශා බබුළුවමින් අහසෙහි දිළිසෙයි.

4. මේ සඳ හිරු අතර ලෝකයෙහි මුතු, මැණික්, වෛරෝඩි, සොඳුරු සිංගී ස්වර්ණ, කංචන යනාදී යම් ධනයක් වේ ද, හටක නම් රත‍්‍රන් ආදියක් වෙයි ද, ඒ සියල්ල අට්ඨාංග උපෝසථ සිල් සුරකින තැනැත්තාට ලැබෙන විපාකයෙන් සොළොස් වන කලාවෙන් කලාවකට ද නොපැමිණෙයි. සඳ එළිය ත්, සියළු තරු එළිය ත් එබඳු ම ය.

5. එහෙයින් සිල්වත් වූ ස්ත‍්‍රියක් වෙයි ද, පුරුෂයෙක් වෙයි ද, අංග අටකින් යුක්ත වූ උපෝසථ සිල් මැනැවින් ආරක්ෂා කොට සැප උපදවාලන පින් කොට නින්දා නැති ස්වර්ගයට යන්නාහු ය.

සාදු! සාදු!! සාදු!!!
උපුටා ගැනීම – (විත්ථත අට්ඨංගුපෝසථ සූත්‍රය – අංගුත්තර නිකාය 5)

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.