ගධ රාජ්‍යයෙහි මචල නමින් ගමක් තිබුණා. එහි පවුල් තිහක් පමණ වාසය කළා. ඔය ගමේ මහා පින්වන්ත තරුණයෙක් හිටියා. ඔහුගේ නම මඝ. ඔහු ඉතාම ධෛර්යවන්තයි. වෙහෙස මහන්සි වෙලා ධනය උපයනවා. මහණ බමුණන්ටත් දන් දෙනවා. දිනක් ඔහු බිම්කඩක් තෝරාගෙන වෙහෙස මහන්සි වෙලා ලස්සනට පිරිසිදු කළා. එතකොට එක ගැමියෙක් ආවා.

“මෙතන හරි ෂෝක්නෙ මල්ලියේ…. මං සොය සොයා සිටියෙත් මේ වගේ තැනක්. ඔහේට ඉතින් වෙන තැනක් හදාගන්න බැරියැ.”

මඝ සිනහ වෙවී සතුටින් පිළිතුරු දුන්නා.

“හොඳා… හොඳා… ඔහේ ආසම නම් ගන්න. මං වෙන තැනක් හදාගන්නම්…”

ඉතින් මඝ කුමාරයා තවත් බිම් කඩක් ලස්සනට පිරිසිදු කළා. එ් ගමේ වෙන එකියක් එතනට ආවා.

“හානේ…. අපේ මල්ලියා…. ලස්සන බිම්කඩක් තෝරගෙන නෙව… අපට ගැලපෙනම තැන. මල්ලියාට ඕනි නම් තව තැනක් හදාගන්න බැරියැ… එහෙනම් මං ගන්නං හොඳේ…”

“අක්කණ්ඩි ආසම නම් ඔය බිම්කඩ ගන්න. මං වෙන තැනක් හදාගන්නම්.”

මඝ කුමාරයාගේ සිත නරක් වෙන්නේ නැත්තේ පින් බලය නිසා වෙන්න ඇති. ඔහුට කිසි තරහක් හටගත්තෙ නෑ. කලකිරුණෙත් නෑ. බැන්නෙත් නෑ. තමන් පිරිසිදු කරපු ඉඩම් කැබැල්ල තව කෙනෙක් ගනිද්දී ඉතාම සතුටින් එය පරිත්‍යාග කරනවා. වෙන තැනකට යනවා. හරිම පුදුමයි. ඔය විදිහට තමන් හදන හදන ඉඩම් කැබැල්ල ගම්මු ගත්තා. පවුල් තිහටම ඉඩම් ලැබුණා. හැබැයි එක දෙයක් වුණා. එ් හැමෝම මඝ කුමාරයාගේ හොඳම මිතුරන් බවට පත්වුණා. තමන්ගේ යහපත් ගතිගුණ එ් උදවියටත් පුරුදු වුණා. මඝ කුමාරයා පන්සිල් රකිනවා. අනිත් අයටත් සිල් රකින්න උපදෙස් දුන්නා. ටික දවසකින් ගම බැබලෙන්න පටන් ගත්තා. හැමෝම එකතු වෙලා මඝ කුමාරයාට ඇහුම්කන් දුන්නා. එ් නිසා එ්දඬු, පාලම් හැදුණා. වැව් පොකුණු හැදුණා. මංමාවත් හැදුණා. හැමෝටම සතුටුයි.

ඔය ගමේ මූසල ගම්මුලාදෑනියෙක් හිටියා. උන්දෑ දැන් තරහෙන් පුපුරනවා. ගම්මු හොර සුරා පෙරද්දී උන්දැට දඩ ලැබුණා. ගම්මු දඩයමේ යද්දී දඩමස් ලැබුණා. එ් විතරක් ද…? උන්දෑ මහා කෙරුම්කාරයෙක් වගේ පෙනී හිටියා. හැමදේම වෙනස් වුණා.

“හරි වැඩක්නේ වෙලා තියෙන්නේ….. මේ හැතිකරේ අර මඝයාගේ වසඟයට ගිහින්… පන්සිලුත් ගන්නවලු…! සුරාව එපාලු…! දඩමස් කාපු කාලයක් මතක නෑ. මුන්ට මෙහෙම හැදෙන්න ඉඩ තියන්න බෑ…. මං වැඩේ කොරඤ්ඤං…”

මුලාදෑනියා රජතුමා බැහැදකින්න ගියා. බිම දිගාවෙලා වැන්දා.

“අනේ පින්වත් දේවයන් වහන්ස, මේ ගැත්තාගේ දුක් ගැනවිල්ල අසන සේක්වා! අපේ වැයික්කියේ මඝ නමින් හොර නායකයෙක් බිහිවෙලා. මුළු ගමම විනාශයි. උගේ බහට හැරිලා හැමෝම භයෙන් ගත කරන්නේ… හරකබාන විනාශයි. වතුපිටි විනාශයි. දැන් එ්කට තමයි ගම්මු කප්පං ගෙවන්නේ. පවුල් තිහක්ම ඌට සේවය කරන්න ලේස්තියි. මේ භයානක වැඩේ නිමා කරන සේක්වා…!”

රජතුමාට කේන්ති ගියා. වහාම සේවකයන් ඇමතුවා.

“එම්බල සේවකය… වර මෙහෙ! මගේ රාජ්ජෙ ඔය වගේ එවුන් සිටීම තහනම්. ඔය පවුල් තිහම මඝයත් සමඟ කුදලාගෙන වරෙව්! ඇතා ලවා පාගා මරව්!”

රාජ නියෝගය මත මඝ කුමාරයාත්, අර පවුල් තිහේ පිරිසත් මරණ දණ්ඩනයට නියම වුණා. ඔවුන් මරණ බියෙන් හඬා වැළපුණා. මඝ කුමරුගෙන් අවවාද ඉල්ලා හිටියා. මඝ කුමරු මෙහෙම කිව්වා.

“ඔහොම තමයි අසත්පුරුෂයන්නේ හැටි! ඕක ගම්මුලාදෑනියාගේ වැඩක්. කරන්න දෙයක් නෑ…. කේළාම් කීම භයානකයි. නිස්කාරණේ අපට කෝන්තර බැඳගෙන රජ්ජුරුවන්ව කෝප කළා. දැන් අපට ඇත්තේ එකම පිළිසරණයි. එ් මෛත‍්‍රියෙන් වාසය කිරීමයි. කේළම් කියපු අයටත්, රජුටත්, රාජ සේවකයන්ටත්, අපව මරණ ඇතාටත් මෙත් සිත වඩමු. තමා සමකොට මෙත් සිත පතුරුවමු. වෙන විසඳුමක් නෑ…”

ඉතින් හැමෝම ඇඬිල්ල නැවැත්තුවා. මෙත් සිත වඩන්න පටන් ගත්තා. රාජ උදහසට ලක් වූ පිරිස වධක භූමියට ගෙනිච්චා. භයානක ඇත් රජා කුලප්පු වෙලා පොළොවේ පස් විසිරුවමින් හොඬවැල ඔසවාගෙන වේගෙන් එනවා. නමුත් හරිම පුදුමයි. පිරිසට ළං වුණේ නෑ. ඇතා නැවතුණා. හඬතල දීගෙන ආපහු හැරුණා. දුවගෙන ගිහින් ඇත්ගාලෙමයි නැවතුණේ. ආයෙමත් කුලප්පු කරලා එව්වා. එ් වතාවෙත් දිව්වා. මේ පුදුම සහගත දේ රජුට දැනුම් දුන්නා.

“නමෝ විත්තියෙන්ම ඕකුන් ළඟ වටිනා ඖෂධ ඇති. හොඳට පරීක්ෂා කරපල්ලා…”

ටික වෙලාවකින් රාජ පුරුෂයන් රජතුමාට පණිවිඩයක් යැව්වා.

“දේවයන් වහන්ස, අපි පරීක්ෂා කොළා. එවුන් ළඟ මොකවත් නෑ….”

“එහෙම නම් ඕකුන් ළඟ නොවැරදීම බලසම්පන්න මන්තරයක් ඇති. එ් ගැන විමසාපල්ලා…”

එ් වතාවේ රාජපුරුෂයන්ගේ පිළිතුරු මෙයයි.

“දේවයන් වහන්ස, මෙවුන් ළඟ මහා බලසම්පන්න මන්තරයක් තියෙනවාලු! අර මඝ කියන එකා තමයි ඒවා කියාදෙන්නේ….”

“එහෙම නම් ඔය මඝයාව මෙහෙට ඇන්න වර…”

රජතුමාට මන්තරය දැනගැනීමට පුදුම ආශාවක් ඇතිවුණා. රජවාසළට පැමිණි මඝ කුමරුගෙන් මන්තරය ගැන විමසුවා.

“දේවයන් වහන්ස, අපේ මන්තරය මේකයි. අපි සත්තු මරන්නෙ නෑ. සොරකම් කරන්නෙ නෑ. සිය බිරින්දෑවරුන්ගෙන් පමණයි සතුටු වෙන්නේ. බොරු කියන්නෙත් නෑ. සුරාව බොන්නෙත් නෑ. බොරු කේළාම් කියලා ඔබවහන්සේගේ සිතට කෝපය දුන්න ගම්මුලාදෑනිටත්, ඔබවහන්සේටත්, රාජපුරුෂයින්ටත්, ඇත් රජාටත් අපි මෙත් සිත වැඩුවා. අපේ මන්තරය ඕකයි….”

රජතුමා හොඳටම පැහැදුණා. ගම්මුලාදෑනියාව තනතුරෙන් පහකළා. මඝ කුමාරයාට ගම්වරයක් දුන්නා. ඇතාත් දුන්නා. දැන් මේ පිරිස සතුටෙන් ජීවත් වෙනවා. හැමෝටම සුවසේ ගිමන් හරින්න ලොකු ශාලාවක් හැදීමේ ආශාවක් මඝ කුමාරයාට ඇතිවුණා. පින් කිරීම ගැන විස්තර කරද්දී මඝ කුමාරයාගේ බිරින්දෑවරුන් වන සුධර්මා, චිත‍්‍රා, නන්දා, සුජාතා යන බිරින්දෑවරුත් එය අසාගෙන සිටියා. සුජාතා හැර අනෙක් කාන්තාවන් පින් කරන්නට පොරකෑවා. සුධර්මා ශාලාව හදන ප‍්‍රධාන වඩුදෙටුවාට කතා කළා.

“අනේ මල්ලියේ…. මේන්න මේ කහවණු ටික නුඹ වියදමට තියාගනින්. හැබැයි මට එක දෙයක් කරලා දෙන්න ඕන. ඔය ශාලාවේ ප‍්‍රධාන කොටස්කාරියක් වෙන්න මාත් ආසයි.”

එතකොට වඩුදෙටුවා එ්කට පිළියමක් යෙදුවා, අරටුව සහිත ගසක් කපා වේලුවා. හොඳින් සැස අලංකාර කැණිමඬලක් හැදුවා. එය වස්ත‍්‍රයකින් ඔතා සුධර්මාට දුන්නා. ඇය එය සඟවා ගත්තා. ශාලාවේ වැඩ අවසන් වෙද්දී වහළට කැණිමඬල අවශ්‍ය වුණා. කැණිමඬල හැදීම අමතක වෙච්ච ගාණට වඩුවා කල්ගෙව්වා.

“හරි වැඩේනේ…. මේ වෙනකම්ම මට අමතක වුණා… දැන් ලී වේලන්න කල් මදි. කැණිමඬලක් හදා ඇති තැනකින් මිලට ගම්මු.”

හැම පළාතෙම කැණිමඬලක් හෙව්වා. හදිස්සියකට හොයාගන්න නෑ. අවසානයේදී සුධර්මා ළඟ කැණිමඬලක් ඇති බව දැනගත්තා. ඇය මෙහෙම කිව්වා.

“ඔව්! අලංකාර කැණිමඬලක් මා ළඟ තියෙනවා තමා… හැබැයි විකුණන්නේ නෑ. ඔය ශාලාවේ ප‍්‍රධාන කොටස්කාරිය බවට මාව පත්කරගත්තොත් මං එය පූජා කරනවා….”

එ් විදිහටයි ශාලාවට කැණිමඬල ලැබුණේ. චිත‍්‍රාටත් පින් කරන්න ආසයි. ඈ ශාලාව වටේ පවුරෙන් පිට පේලියට තල් ගස් ඉන්දෙව්වා. මල් පළතුරු සිටුවා අලංකාර උයනක් කෙරෙව්වා. නන්දාටත් පින් කරන අාසාවයි තියෙන්නේ. ඈ නිල් මහනෙල්, සුදු මහනෙල්, ඕලු, නෙළුම්, කුමුදු යන රමණීය මලින් සුසැදි පොකුණක් කෙරෙව්වා. සුජාතාට කිසි වගක් නෑ. කනවා බොනවා ඔහේ ඉන්නවා. ඉබේටම නාකි වුණා.

මඝ කුමාරයා මරණින් මතු දෙව්ලොව උපන්නා. දැන් ඔහු සක්දෙවිඳු තනතුරේ ඉන්නේ. එ් ගමේ පවුල් තිහේ පිරිසත් මරණින් මතු සක් දෙවිඳුගේ පිරිස වෙලා උපන්නා. සුධර්මා මියගිහින් එ් සක්දෙවිඳුගේ බිරිඳක් ලෙස උපන්නා. මෙවර නමත් සුධර්මා. එ් විතරක් නොවෙයි. කැණිමඬල පූජා කළ පිනෙන් පන්සිය යොදුනක් විශාල පළිඟු මැණිකෙන් කළ සුධර්මා නම් දිව්‍ය සභා ශාලාව ඇයට පහළ වුණා. චිත‍්‍රා මියගිහින් ඉපදුනෙත් සක් දෙවිඳුගේ බිරිඳක් ලෙසයි. ඉතා අලංකාර වූ චිත‍්‍රලතා වනය ඇය වෙනුවෙන් පහළ වුණා. නන්දා මියගිහින් උපන්නෙත් එහිමයි. ඇය කළ පිනෙන් නන්දා නම් පස් පියුමෙන් සුසැදි රම්‍ය වූ පොකුණක් පහළ වුණා.

සක් දෙවිඳුට හරි සතුටුයි. නමුත් ඔහුට මෙහෙම හිතුණා. “දැන් මනුලොව සිටිය බිරින්දෑවරුන්ගෙන් තුන් දෙනෙක්ම මා ළඟ ඉන්නවා. එතකොට සුජාතා කෝ…? ඈට මක් වුණාද..?’’

එවේලෙහි සක් දෙවිඳුට ඈ මැරී උපන් තැන පෙනුණා. “අයියෝ…! අර ඉන්නේ සුජාතා නේද? කෙකිණියක් වෙලා…. අර… මඩ ගොඩේ හිමිහිට අඩි තබ තබා තිත්ත පැටව් කොට කොට කනවා… හපොයි වෙච්ච දෙයක්….!”

සක් දෙවිඳුට හරි දුකයි. ඔහු ඍධි බලයෙන් කෙකිණියව දිව්‍ය ලෝකයට ගෙනවා. අනිත් බිරින්දෑවරුත්, සුධර්මා දිව්‍ය සභාවත්, චිත‍්‍රලතා උයනත්, නන්දා පොකුණත් පෙන්නුවා. ඊට පස්සේ කෙකිණියව සීලයෙහි පිහිටෙව්වා.

“ඔයත් අද පටන් පණ ඇති සතුන් ආහාරයට ගන්න එපා! මැරුණු සතුන් විතරක් අනුභව කරන්න. හොඳින් සිල් රකින්න.”

කෙකින්න නැවත ගොඩබිමට ගෙනාවා. කෙකින්නගෙත් හිතට අමාරුයි. ඈ දැඩි ලෙස අදිටන් කරගත්තා. හැබැයි කෑම බීම හිඟ වුණා. මැරුණු සතුන් නිතර ලැබෙන්නේ නෑ. අමාරුවෙන් ජීවත් වුණා. දිනක් සක් දෙවිඳුට ඈව පරීක්ෂා කරන්න හිතුණා. ඉතින් මිය ගිය මාළු පැටියෙකුගේ වෙස් ගෙන මඩ වතුරේ පාවෙලා ආවා. බඩගින්නේ සිටි කෙකෙණිය ඉක්මනින් ඇවිත් තුඩින් ඩැහැගත්තා. එතකොට අර මාළු පැටියා දැඟලුවා. කෙකිණිය වහාම මාළු පැටියා අත්හැරියා. එතකොටම මාළු පැටියා නොපෙනී ගියා.

අමාරුවෙන් සිල් රැකගත් කෙකිණිය මිය ගියා. බරණැස් නුවර වළං හදන නිවසක උපන්නා. සක් දෙවිඳු නැවතත් ඈ උපන් තැන සොයා ගත්තා. මේ වතාවේ සක් දෙවිඳු වෙළෙන්දෙකුගේ වෙස් ගත්තා. කරත්තයක රන් කැකිරි පුරවා ගත්තා. ඇය සිටි ඉසව්වට වෙළඳාමේ ගියා.

“රන් කැකිරි ලාබයි ගන්නවදෝ…..” කියා කෑ ගැහුවා. මිනිසුන් පැමිණ කරත්තය වටකරගත්තා.

“හරි අපූරු කැකිරි නෙව… කීයක් වෙනව ද?”

“නෑ…. මං මේවා මිලට දෙන්නේ නෑ… සිල් රකින කෙනාට නොමිලේ දෙනවා.”

එතකොට එතන හිටිය මිනිස්සු මූණට මූණ බලාගත්තා. ඔවුන්ගේ මූණු පුළුටු වුණා.

“එහෙම නම් අපට නොලැබේවි” කියා යන්න ගියා. එතකොට එ් පිරිස මැදින් ලස්සන දියණියක් ආවා.

“අනේ සීයේ…. මං දන්න කාලෙ ඉඳන් සිල් රකිනවා. හැබැයි රන් කැකිරි බලාගෙන නම් නොවෙයි…”

“දූ හරි…. දූට තමයි මේ සියලුම රන් කැකිරි අයිති වෙන්නේ….”

ඉතින් එ් දියණිය නිතරම පින් කළා. මරණින් මතු සුජා නමින් වේපචිත්ති අසුරේන්ද්‍රයාගේ දියණියක්ව උපන්නා. මේ වතාවෙත් සක් දෙව් රජු ඈව හොයනවා. ඈ උපන් තැන සොයාගත්තා.

වේපචිත්ති අසුරේන්ද්‍රයා සුජා දියණියට ස්වයංවර මංගල්‍යයක් සූදානම් කළා. නොයෙක් ආභරණ වලින් සැරසුණු අසුරයන් එ් ශාලාවට පැමිණුනා. ඔය අතරේ සක්දෙවිඳුත් අසුරයෙකුගේ වෙස් ගෙන සභාවේ පැමිණ සිටියා. මල් මාලය අතට ගත් සුන්දර සුජාවෝ අසුරයන් දිහා බල බල ගියා. ඈ අසුර වේශයෙන් සිටි සක් දෙවිඳු ළඟට නිකම්ම ඇදිලා ආවා. ඔහුට මල් මාලය පැළැන්දුවා. සක්දෙවිඳුගේ අත අල්ලා ගත්තා. සුජාව සක්දෙවිඳුට හිමි වුණා. දෙව්ලොව කැඳවාගෙන ගියා. එදා පටන් තමයි සුජාවගේ ස්වාමියා යන අරුතෙන් සක්දෙවිඳුට සුජම්පති කියලා කියන්නේ.

කුලාවක ජාතකය ඇසුරෙනි.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ