නමෝ බුද්ධාය!

ඩුවෙල මහමෙව්නාව බෝධිඥාන අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද සිරි ගෞතම ද්වාර මණ්ඩපයත් සිරි ගෞතම බෝධි මණ්ඩපයත් ගෞතම බුදු සසුන උදෙසා පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2015 ජූලි මස 01 වන අධි ඇසල පුන් පොහෝ දින සිදු කෙරුනා. මෙම උතුම් පින්කම සිදු කෙරුනේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරන්දර, ශ්‍රී කල්‍යාණ වංශ නිකායේ මහා නායක ධුරන්දර අතිපූජනීය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේත් සහභාගීත්වයෙන්.

මෙම පුණ්‍ය කර්මය සඳහා අති විශාල සැදැහැවතුන් පිරිසක් ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ශ්‍රද්ධා ගුවන් විදුලියේ විකාශන කටයුතු සිදුකෙරෙන කඩුවෙල මහමෙව්නාව භාවනා අසපු භූමියට එක්රැස් වී සිටියා. එහිදී අතිපූජනීය පින්වත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් පැමිණ සිටි පිරිස පංචසීලයෙහි පිහිටුවා කෙටි අනුශාසනාවක් පැවැත්වීමෙන් අනතුරුව පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිරි ගෞතම බෝධි වන්දනාව සිදු කරන ලදී.

එමෙන්ම මෙහිදී සිදුකරන ලද තවත් සුවිශේෂී පින්කමක් නම් උතුම් නීලගිරි ධාතූන් වහන්සේලා ගෞරවාන්විතව වඩාහිඳුවීම පිණිස රනින් නිමවන ලද මනරම් ධාතු කරඬුවක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත බාරදීමයි. එම ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා මහමෙව්නාව භාවනා අසපුවට සම්බන්ධ සැදැහැවතුන්ගේ අනුග්‍රහයෙන් පුරාවිද්‍යා දෙපර්තමේන්තුවේ ඉදිකරන ලද මනරම් ධාතු මන්දිරය ජූලි මස 8 වන දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වසර 125 පිරීම නිමිත්තෙන් අතිගරු ජනාධිපතිතුමන් අතින් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

මෙම පින්කම සඳහා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමා, නාවික හමුදාපතිතුමා, ගුවන් හමුදාපතිතුමා, කඩුවෙල නගරාධිපතිතුමා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුලු තවත් සම්භාවනීය අමුත්තන් පිරිසක්ද සහභාගී වුනා. මෙම පින්කම් උදෙසා ධනයෙන් ශ්‍රමයෙන් ආදී නන් අයුරින් ආධාර උපකාර කළ සියලු පින්වතුන්ට නිදුක් නීරෝගී සුවපත්භාවය සැලසේවා! උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස මේ පින් උපකාර වේවා! සියල්ලෝම මේ උතුම් පුණ්‍ය කර්මය දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!

තෙරුවන් සරණයි!

නමෝ බුද්ධාය!කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද සිරි ගෞතම ද්වාර මණ්ඩපයත් සිරි ගෞතම බෝධි මණ්ඩපයත් ගෞතම …

Posted by Mahamevnawa Monastery on Wednesday, September 9, 2015