පරසතු මලින් පුද
ලද මුනි සඳුට දිය නද
වනපස මලින් පුද
කළැයි පවසනු කුමන වරද ද

සුගිය උඳුවප් පුන් පොහෝ දා (06) මාලඹේ, පිට්ටුගල බුදු-පසේබුදු-අරහන්තක මහා විහාර පරිශ්‍රයේ සිරි ඝටීකාර සෑ මළුවේ දී දුර්ලභ පුණ්‍යකර්ම රැසක් සමඟින් සිරි ඝටීකාර මහා සෑ වන්දනාව 2000කට අධික සැදැහැවතුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන්නට යෙදිනි.

මින් තුන් මසකට ඉහත දී ගෞතම බුදු සසුනට පූජා වූ මේ අසිරිමත් සෑ රදුන්, මහ වන මැද හුදෙකලාවේ පිපී, හුදෙකලාවේ ම මිලින වන සොඳුරු වනමලින් මනෝරම්‍ය ලෙසින් සරසා, ඖෂධ, අෂ්ටපාන, ගිලන්පස, සුවඳ පැන්, සුවඳ දුම් ආදී නා නා විධ පූජාවන්ගෙන් පුද දී, සෑ බඳ වටා අලංකාර කංචුක පළඳවා පූජා පවත්වන ලද අතර මෙම අසිරිමත් දුර්ලභ සෑ වන්දනාවට සමගාමීව මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනා දූ දරුවන් උදෙසා විශේෂ ආශිර්වාද පූජාවක් ද පැවැත්විනි.

සිරි ඝටීකාර චෛත්‍ය වන්දනා කමිටුව, කල්‍යාණමිත්‍රයෝ යොවුන් සභාව සහ මහාමේඝ පුවත් සඟරාවේ සංවිධාන ශක්තියෙන් පැවති මෙම වන්දනාව අවසන සියළු සැදැහැවතුන් වෙත පිරිත් පැන් බෝතල්, පිරිත් නූල් සමඟින් 2015 අලංකාර බෞද්ධ දින දර්ශනයක් ද පිරිනැමීමට සංවිධායකයන් කටයුතු කොට තිබිණි.

පින් කැමත්තෝ මේ සියළු පින් අසා, දැක සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!