නමෝ බුද්ධාය!

දකුණු කොරියානු මහමෙව්නාව භාවනා අසපුව මගින් සංවිධානය කළ, අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීමෙන් සිදු කළ අසිරිමත් සදහම් වැඩසටහන අන්සාන් ඔලිම්පික් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි, 2016 ඔක්තෝම්බර් 16 වන් ඉරු දින පවත්වන ලදී.

මෙම අසිරිමත් පින්කම සඳහා කොරියානු ජාතික පින්වත් ස්වාමීන් වහන්සේලා ද කොරියානු ජාතික පින්වතුන් ඇතුළු, 1000 කට අධික ශ්‍රී ලාංකීක තරුණ දරුවන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා ජනරජයේ දකුණු කොරියානු තානාපති මනීෂා ගුණසේකර මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකික ව්‍යාපාරික පින්වතුන් ද ඇතුළු ආරාධිත අමුත්තන් රාශියක් සහභාගි වුණා.

පෙ.ව.9 සිට සවස 4.45 දක්වා මෙම අසිරිමත් සදහම් වැඩසටහන පැවැත්වුණු අතර, උදෑසන පටන් සවස් කාලය දක්වා “ගෞතම සසුනේ පිහිට පිළිසරණ ලබා ගත හැක්කේ කුමන් අයුරින්ද?” යන්න මාතෘකා කරගනිමින් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අසිරිමත් සදහම් දෙසුම් දෙකක් සිදු කළ අතර, කොරියානු ජාතික පින්වතුන් සමග ධම්මචක්කප්පවත්තන සූත්‍රය පාළියෙන් සජ්ඣායනා කරන්නට යෙදුනි. තවද මෛත්‍රී භාවනාව, දහම් ගැටළු විසදාලමින් සිදුකළ ධර්ම සාකච්ඡාව සවස් කාලය තුළ සිදු කරන්නට යෙදුනි.
පැමිණි සියළු දෙනාට ම දහවල් දානය පිරිනැමුණි.

පැමිණුන සියළු පින්වතුන්ගේ සිත් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකරමින් දවස පුරා සිදු කළ මෙම අසිරිමත් පින්කම් මාලාව තම ජීවිත වලට උතුම් පින්ඵල රැස්වුණු අනුස්මරණීය දිනයක් බවට පත්වුණා.

සියල්ලෝ ම සතුටු සිතින් මේ උතුම් පුණ්‍යකර්මය දැකබලා අනුමෝදන් වෙත්වා. සියළු දෙනාට ම මේ ගෞතම බුදු සසුනේ උතුම් රැකවරණ ලබන්නට වාසනාව උදා වේවා!

මහමෙව්නාව භාවනා අසපුව,
දකුණු කොරියාව.