මා හට අසන්නට ලැබුනේ මේ විදියට යි. එ් දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනාථපිණ්ඩික සිටුතුමා ගේ ආරාමයේ. එසමයෙහි පසේනදී කොසොල් රජතුමා ගේ රාජධානියෙහි අංගුලිමාල නම් ප‍්‍රසිද්ධ සොරෙක් සිටියා. ඔහු රෞද්‍රයි. ලෙහෙ වැකුණු අතින් යුක්තයි. අනුන් විනාශ කිරීමෙහි, මැරීමෙහි යෙදී සිටියා. සතුන් කෙරෙහි දයාව නැතිව සිටියා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන සිටියා.

එදා භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන පාත‍්‍රය ගෙන සැවැත් නුවර පිඬුසිඟා වැඩියා. සැවැත් නුවර පිඬුසිඟා වැඩ අවසන් කොට තමන් වහන්සේ ගේ සෙනසුන අස්පස් කොට තබා පා සිවුරු ගෙන අංගුලිමාල සොරා සිටින ප‍්‍රදේශයට දිවෙන මාර්ගයෙහි බැසගත්තා.

එවිට ගොපල්ලන්, පශුපාලකයන්, ගොවියන් මෙන්ම ගමන් බිමන් යන උදවියත් අංගුලිමාල සොරා සිටින ප‍්‍රදේශයට දිවෙන මාර්ගයෙහි ගමන් කරන භාග්‍යවතුන් වහන්සේව දැක්කා. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙන් වඩින්නට එපා! පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි ඉතාමත් දරුණු වූ, ලෙහෙ වැකුණු අත් ඇති, මිනිසුන් මරා විනාශ කරන, දයා කරුණා රහිත, අංගුලිමාල නම් සොරෙක් ඉන්නවා. ඔහු ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා. පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි මිනිසුන් දහ දෙනා, විසි දෙනා, තිස් දෙනා, හතළිස් දෙනා, පනස් දෙනා වගේ කණ්ඩායම් හැදිල තමයි යන්නේ. එහෙම ගියත් ඔවුනුත් අංගුලිමාල සොරා ගේ අතට හසුවෙලා විනාශ වෙනවා.” මෙසේ පැවසූ විට භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ම පිටත් වුණා.

දෙවෙනි වතාවට ත් ගොපල්ලන්, පශුපාලකයන්, ගොවියන් මෙන්ම ගමන් බිමන් යන උදවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙන් වඩින්නට එපා! පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි …………………… අතට හසුවෙලා විනාශ වෙනවා.” දෙවෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ම පිටත් වුණා.

තුන්වෙනි වතාවට ත් ගොපල්ලන්, පශුපාලකයන්, ගොවියන් මෙන්ම ගමන් බිමන් යන උදවිය භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙන් වඩින්නට එපා! පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි ඉතාමත් දරුණු වූ, ලෙහෙ වැකුණු අත් ඇති, මිනිසුන් මරා විනාශ කරන, දයා කරුණා රහිත, අංගුලිමාල නම් සොරෙක් ඉන්නවා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා. පින්වත් ශ‍්‍රමණයන් වහන්ස, ඔය මාර්ගයෙහි මිනිසුන් දහ දෙනා, විසි දෙනා, තිස් දෙනා, හතළිස් දෙනා, පනස් දෙනා වගේ කණ්ඩායම් හැදිල තමයි යන්නේ. එහෙම ගියත් ඔවුනුත් අංගුලිමාල සොරා ගේ අතට හසුවෙලා විනාශ වෙනවා.” තුන්වෙනි වතාවට ත් භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ම පිටත් වුණා.

එවිට දුරින් ම වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේව අංගුලිමාල සොරා දැක්කා. දැක මෙහෙම හිතුනා. “භවත්නි, ආශ්චර්යයක් නෙව. භවත්නි, අද්භූතයි නෙව. මේ මාර්ගයෙහි පුරුෂයන් දහය බැගින් සැදී, විස්ස බැගින් සැදී, තිහ බැගින් සැදී, හතළිහ බැගින් සැදී, පනහ බැගින් සැදී කණ්ඩායම් හැටියට යි එන්නේ. ඔවුනු ත් මගේ අතට අහුවෙලා විනාශ වෙනවා. එහෙම එකේ මේ ශ‍්‍රමණයා තනිව ම දෙවැන්නෙක් නැතිව මාව අභිබවා යන්නට වගෙයි මේ එන්නෙ. හොඳයි, මේ ශ‍්‍රමණයා ගේ ජීවිතය ද විනාශ කරන එක තමයි කරන්න තියෙන්නෙ.”

ඉතින් අංගුලිමාල සොරා කඩු පළිහ ගෙන දුනු හියවුරු බැඳ භාග්‍යවතුන් වහන්සේ පිටුපසින් හඹා යන්නට පටන් ගත්තා. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙවැනි වූ ඉර්ධි ප‍්‍රාතිහාර්යයක් කොට වදාළා. එනම්, භාග්‍යවතුන් වහන්සේ ප‍්‍රකෘති ගමනින් ශාන්තව වඩිද්දී අංගුලිමාල සොරා සියළු ආකාර වීරිය ගනිමින් වේගයෙන් හඹා එද්දී ත්, භාග්‍යවතුන් වහන්සේට ළං නො වන හැටියට යි. එවිට අංගුලිමාල සොරාට මෙහෙම හිතුණා. “භවත්නි, ආශ්චර්යය යි නෙව. භවත්නි, අද්භූත යි නෙව. මං කලින් වේගයෙන් දුවන හස්තියාව ත්, ලුහුබැඳ අල්ලා ගන්නවා. වේගයෙන් දුවන අශ්වයා ත් ලුහුබැඳ අල්ලා ගන්නවා. වේගයෙන් දුවන වාහනය ත් ලුහුබැඳ අල්ලා ගන්නවා. වේගයෙන් දුවන මුවා ත් ලුහුබැඳ අල්ලා ගන්නවා. එහෙත් දැන් මං මේ ප‍්‍රකෘති ගමනින් යන ශ‍්‍රමණයාව අල්ලා ගන්නට සියළු වෙර වීරිය ගෙන හඹා ගිය ත් ළං වෙන්නට බැහැ නෙව.” කියා සිටිමින් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “එ්යි ශ‍්‍රමණය, සිටුව. එ්යි ශ‍්‍රමණය, සිටුව.” “පින්වත් අංගුලිමාල, මම සිටියෙමි. ඔබ ත් සිටින්න.”

එවිට අංගුලිමාල සොරා හට මෙය සිතුණා. “මේ ශාක්‍යපුත‍්‍ර ශ‍්‍රමණ වරුන් සත්‍යවාදී යි. සත්‍යය ප‍්‍රතිඥා දෙනවා. නමුත් මේ ශ‍්‍රමණයා යද්දී ම මෙහෙම කියනවා. ‘පින්වත් අංගුලිමාල, මම සිටියෙමි. ඔබ ත් සිටින්න’ කියලා. ඉතින් මං මේ ශ‍්‍රමණයා ගෙන් ඔය කාරණාව අසන්නට ඕන.” කියලා අංගුලිමාල සොරා භාග්‍යවතුන් වහන්සේට ගාථා වලින් පැවසුවා.

“ගච්ඡං වදේසි සමණට්ඨිතෝම්හි – මමං ච බ‍්‍රෑසි ඨිතමට්ඨිතෝ’ති,
පුච්ඡාමි තං සමණ එ්තමත්ථං – කථං ඨිතෝ ත්වං අහමට්ඨිතෝම්හි.

එ්යි ශ‍්‍රමණය, ඔය යන ගමන් නේද සිටියා කියල කියන්නෙ? සිටින්නා වූ මට නේද නො සිටිනවයි කියන්නෙ? එ්යි ශ‍්‍රමණය, මේ කථාවේ තේරුම යි මං දැන් අහන්නෙ. ඔබ ඔය විදිහට ඉන්නෙ කොහොමද? මං මේ විදිහට නො ඉන්නෙ කොහොම ද?

ඨිතෝ අහං අංගුලිමාල සබ්බදා – සබ්බේසු භූතේසු නිධාය දණ්ඩා
තුවඤ්ච පාණේසු අසඤ්ඤතෝසි – තස්මා ඨිතෝහං තුවමට්ඨිතෝසි.

අංගුලිමාල, මං ඉන්නෙ මෙන්නෙ මෙහෙමයි. හැම තිස්සේ ම හැම සතුන් කෙරෙහි ම වද දීම් අතහැරල, එ් වුණාට ඔබ නො සිටින්නෙ මෙහෙමයි. ඔබ සතුන් ගැන කිසි අනුකම්පාවක් නෑ. එ් නිසා මං නැවතිලා ඉන්නවා. ඔබ නැවතිලා නෑ.

චිරස්සං වත මේ මහිතෝ මහේසි – මහාවනං සමණෝ පච්චුපාදි,
සෝ’හං චරිස්සාමි පහාය පාපං – සුත්වාන ගාථං තව ධම්මසුතං.

ඇත්තෙන් ම පූජනීය මහා ඉසිවරයෙක් වන ඔය ශ‍්‍රමණයන් වහන්සේ මට අනුකම්පාවෙන් ම යි මේ මහ වනයට වැඩියේ. ධර්මය ගැන කියවෙන ඔය ගාථාව ඇහුවට පස්සේ මා වෙනස් වුණා. මේ පව් හැම එකක් ම අත්හැරලා මං ධර්මයේ හැසිරෙනවා.

ඉච්චේව චෝරෝ අසිමාවුධං ච – සෝබ්භේ පාපතේ නරකේ අන්වකාරි,
අවන්දි චෝරෝ සුගතස්ස පාදේ – තත්ථේව නං පබ්බජ්ජං අයාචි.

අංගුලිමාල සොරා මෙහෙම කියල කඩුව ත්, අනිත් ආයුධ ත් කන්දෙන් පහළට වීසි කළා. සුගතයන් වහන්සේ ගේ සිරි පතුල් ළඟ ඇද වැටුණා. උන්වහන්සේගෙන් මහණ වෙන්නට අවසර ඉල්ලා හිටියා.

බුද්ධෝ ච ඛෝ කාරුණිකෝ මහේසි – යෝ සත්ථා ලෝකස්ස සදේවකස්ස,
තමේහි භික්ඛූ’ති තදා අවෝච – එ්සෝ’ව තස්ස අහු භික්ඛුභාවෝ.

මහ ඉසිවර බුදුරජාණන් වහන්සේ හරිම කරුණාවන්තයි. සදේවක ලෝකයාට ම නිවන් මග පෙන්නා දෙන ශාස්තෘන් වහන්සේ යි. ඉතින් බුදුරජාණන් වහන්සේ අංගුලිමාලට “භික්ෂුව, මෙහාට එන්න” කියා වදාළා. එ්ක තමයි ඔහු ගේ උතුම් පැවිදි බව.

ඉක්බිති ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පසු ශ‍්‍රමණයන් කොට ගත් භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර චාරිකාවෙහි වැඩියා. අනුපිළිවෙලින් චාරිකාවෙහි වඩිමින් සැවැත් නුවරට වැඩම කළා. එවිට භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහු ගේ අරමෙහි වැඩ විසුවා. එසමයෙහි පසේනදී කොසොල් රජු ගේ අන්තඃපුර දොරටුවේ රැස් වූ මහාජනයා උස් හඬින් මහ හඬින් ඝෝෂා කළා. “දේවයන් වහන්ස, ඔබ ගේ රාජධානියෙහි අංගුලිමාල නම් සොරෙක් සිටියි. ඔහු රෞද්‍රයි. ලෙහෙ වැකුණු අතින් යුක්තයි. අනුන් විනාශ කිරීමෙහි, මැරීමෙහි යෙදී සිටියා. සතුන් කෙරෙහි දයාව නැතිව සිටියා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා. දේවයන් වහන්ස, එ් සොරාව වළකාලන සේක්වා!”

එවිට පසේනදී කොසොල් රජු පන්සීයකින් යුතු අශ්ව සේනාවක් සමඟ සැවැත් නුවරින් නික්මුණා. ගිනි මද්දහන වේලෙහි දෙව්රම කරා පිටත් වුණා. යානභූමිය යම් තාක් ද, එතෙක් වාහනයෙන් ගොස් එයින් බැස පා ගමනින් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩි වූ පසේනදී කොසොල් රජුට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. “පින්වත් මහාරාජ, කිම? සේනිය බිම්බිසාර මහධේශ්වරයන් කිපුණා වත් ද? විසල් නුවර ලිච්ඡවීන් කිපුණා වත් ද? වෙනත් ප‍්‍රතිරාජයෙක් කිපුණා වත් ද?”

“අනේ නැහැ ස්වාමීනී, මගධේශ්වර සේනිය බිම්බිසාර රාජයන් කිපිලා ත් නොවෙයි. විශාලාවෙහි ලිච්ඡවීන් කිපිලා ත් නොවෙයි. අන්‍ය ප‍්‍රතිරාජයෙක් කිපිලා ත් නොවෙයි. ස්වාමීනී, මාගේ විජිතයෙහි අංගුලමාල නම් සොරෙක් ඉන්නව නෙව. ඔහු රෞද්‍රයි. ලෙහෙ වැකුණු අතින් යුක්තයි. අනුන් විනාශ කිරීමෙහි, මැරීමෙහි යෙදී සිටියා. සතුන් කෙරෙහි දයාව නැතිව සිටියා. ඔහු විසින් ගම් නොගම් කළා. නියම්ගම් නොනියම්ගම් කළා. ජනපද අජනපද කළා. ඔහු මිනිසුන් මර මරා ඇඟිලි වලින් මාලා තනා දරාගෙන ඉන්නවා නෙව. ස්වාමීනී, මං මේ යන්නෙ එ් සොරාව වළක්වන්නට යි.”

“පින්වත් මහාරාජ, ඉදින් යම්හෙයකින් කෙස් රැවුල් බහා කසාවත් පොරවා ගිහි ගෙයින් නික්ම අනගාරික බුදු සසුනෙහි පැවිදි වී සිටින, සතුන් මැරීමෙන් වැළකී සිටින, සොරකමින් වැළකී සිටින, බොරුවෙන් වැළකී සිටින, එක්වේල වළඳන, සීලවන්ත වූ බඹසර සුරකින කල්‍යාණ ධර්ම ඇතිව එ් අංගුලිමාල සිටිනවා දුටුවොත් ඔබ මොකද කරන්නේ?”

“ස්වාමීනී, එහෙම නම් අපි වන්දනමානන කරනවා. දැක හුනස්නෙන් නැගිටිනවා. අසුනෙන් පවරනවා. සිවුරු පිණ්ඩපාත සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පුදනවා. එ් භික්ෂුවට ධාර්මික ආරක්ෂාව සපයනවා. එහෙත් ස්වාමීනී, දුස්සීල වූ, පවිටු ස්වභාව ඇති පුද්ගලයෙකුට මෙබඳු සීල සංවරයක් කෙසේ නම් ඇතිකරගන්නට ද?”

එවේලෙහි ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරින් වාඩි වී සිටියා. එවිට භාග්‍යවතුන් වහන්සේ පසේනදී කොසොල් රජතුමා ගේ දකුණු අතින් අල්ලා ගෙන අවුත් මෙය වදාළා. “පින්වත් මහාරාජ, ඔය ඉන්නේ එ් අංගුලිමාල තමයි.”

එවිට පසේනදී කොසොල් රජතුමාට භයක් ඇතිවුණා. තැති ගැනීමකුත් ඇතිවුණා. ලොමුඩැහැ ගැනීමකුත් ඇතිවුණා. භාග්‍යවතුන් වහන්සේ පසේනදී කොසොල් රජු භය වී, තැතිගෙන, ලොමුඩැහැගෙන සිටින බව දැන පසේනදී කොසොල් රජුට මෙය වදාළා. “පින්වත් මහාරාජ, භයවෙන්නට එපා! පින්වත් මහාරාජ, භයවෙන්නට එපා! ඔබට එ් භික්ෂුව ගෙන් කිසි භයක් වන්නේ නැහැ.” එතකොට පසේනදී කොසොල් රජුහට යම් භයක්, තැතිගැනීමක්, ලොමුඩැහැ ගැනීමක් තිබුණා ද, එය සංසිඳී ගියා. ඉක්බිති පසේනදී කොසොල් රජු ආයුෂ්මත් අංගුලිමාලයන් වෙත පැමිණුනා. පැමිණ ආයුෂ්මත් අංගුලිමාලයන් ගෙන් මෙය ඇසුවා. “ස්වාමීනී, අප ගේ ආර්යයන් වහන්සේ අංගුලිමාලයන් ද?” “එසේය පින්වත් මහාරාජ” “ස්වාමීනී, ආර්යයන් වහන්සේ ගේ පියාණන් කවර ගෝත‍්‍ර නාමයකින් යුක්ත ද? මෑණියන්දෑ කවර ගෝත‍්‍ර නාමයකින් යුක්ත දෑ ද?” “පින්වත් මහාරාජ, මාගේ පියාණන් ගර්ග නම් වෙයි. මෑණියන්දෑ මන්තානි නම් වූ දෑ ය.” “ස්වාමීනී, මන්තානිපුත‍්‍ර වූ ගර්ග ආර්යයන් වහන්සේ මේ ශාසනයෙහි ඇලී වසත්වා! මන්තානිපුත‍්‍ර ගර්ග වූ ආර්යයන් වහන්සේට මං සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර සපයන්නට උත්සාහ ගන්නම්.”

එකල්හි ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ආරණවාසීව පමණක් සිටිමින්, පිණ්ඩපාතයෙන් පමණක් යැපෙමින්, පාංශුකූල චීවරය පමණක් පොරවමින්, තුන්සිවුර පමණක් ඇතිව සිටියා. ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පසේනදී කොසොල් රජුහට මෙය පැවසුවා. “පින්වත් මහාරාජ, කම්නැත. මට තුන්සිවුරු සම්පූර්ණව තියෙනවා.”

එවිට පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව හිඳ ගත්තා. එකත්පස්ව හුන් පසේනදී කොසොල් රජු භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, ආශ්චර්යය යි! ස්වාමීනී, අද්භූත යි! ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ දමනය නො වූ වන් දමනය කරන සේක් ම යි! ශාන්ත නො වූ වන් ශාන්ත බවට පත් කරන සේක් ම යි! නො පිරිනිවී ගිය සතුන් පිරිනිවන් බවට පත් කරන සේක් ම යි! ස්වාමීනී, එ් අපි යමෙකුව දඬුමුගුරෙන් වේවා, ආයුධයෙන් වේවා දමනය කරන්නට අසමර්ථ ද, එහෙත් ඔහුව භාග්‍යවතුන් වහන්සේ දඬුමුගුරෙන් තොරව, ආයුධයෙන් තොරව දමනය කරන ලද්දේ ය. ස්වාමීනී, දැන් අපි යන්නම්. අපට ඉතින් බොහෝ කෘත්‍ය තියෙනවා නෙව. බොහෝ රාජකාරී තියෙනවා නෙව.” ”පින්වත් මහාරාජ, යමකට කාලය නම් එය දැනගත මැනැව.” එකල්හි පසේනදී කොසොල් රජු හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට පැදකුණු කොට පිටත්ව ගියා.

දිනක් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවාගෙන පාත‍්‍රය ගෙන සැවැත් නුවර පිණ්ඩපාතයෙහි වැඩියා. සැවැත් නුවර ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩිද්දී එක්තරා ස්ත‍්‍රියක් ගැබ්ගෙල සිරවී, දරු ප‍්‍රසූතිය කරගත නො හැකිව, වේදනාවෙන් කෑ ගසනා අයුරු දකින්නට ලැබුණා. එසේ දැක මෙය සිතුණා. “භවත්නි, සැබැවින් ම සත්වයන් කෙලෙසී යනවා නෙව! භවත්නි, සැබැවින් ම සත්වයන් කෙලෙසී යනවා නෙව!” කියල. එවිට ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ සැවැත් නුවර පිඬු සිඟා වැඩ වළඳා අවසන් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණුනා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව හිඳගත් ආයුෂ්මත් අංගුලිමාලයන් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා. “ස්වාමීනී, මෙහි මං පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා ගෙන සැවැතෙහි පිඬු සිඟා වැඩියා. ඉතින් ස්වාමීනී, සැවැතෙහි ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩිද්දී දරුගැබ සිරවී දරුවා වදනු නො හැකිව විලාප දෙන එක්තරා ස්ත‍්‍රියක් දකින්නට ලැබුණා. දැක මෙය සිතුණා. ‘භවත්නි, සැබැවින් ම සත්වයන් කෙලෙසී යනවා නෙව! භවත්නි, සැබැවින් ම සත්වයන් කෙලෙසී යනවා නෙව!’ කියල.”

“එසේ වී නම් පින්වත් අංගුලිමාල, ඔබ එ් ස්ත‍්‍රිය වෙත යන්න. ගිහින් එ් ස්ත‍්‍රියට මෙය පවසන්න. ‘පින්වත් නැගණියෙනි, මං යම් දවසක ඉපදුනා ද එදා සිට දැන දැන සතෙකු ගේ ජීවිතය තොර කළ බවක් නම් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! ගර්භයට ද සෙත් වේවා!’ කියලා.”

“අනේ ස්වාමීනී, එය මට බොරුවක් නො වන්නේ ද? ස්වාමීනී, මා විසින් දැන දැන බොහෝ ජීවිත විනාශ කොට තිබෙනවා.” “එසේ වී නම් පින්වත් අංගුලිමාල, ඔබ එ් ස්ත‍්‍රිය වෙත යන්න. ගිහින් එ් ස්ත‍්‍රියට මෙය පවසන්න. ‘පින්වත් නැගණියෙනි, මං යම් දවසක ආර්ය ජාතියෙහි ඉපදුනා ද එදා සිට දැන දැන සතෙකු ගේ ජීවිතය තොර කළ බවක් නම් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! ගර්භයට ද සෙත් වේවා!’ කියලා.”

“එසේය ස්වාමීනී,” ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී එ් ස්ත‍්‍රිය සිටි තැනට වැඩියා. වැඩමකොට එ් ස්ත‍්‍රියට මෙය පැවසුවා. “පින්වත් නැගණියෙනි, මං යම් දවසක ආර්ය ජාතියෙහි ඉපදුනා ද එදා සිට දැන දැන සතෙකු ගේ ජීවිතය තොර කළ බවක් නම් නො දනිමි. මේ සත්‍යානුභාවයෙන් ඔබට සෙත් වේවා! ගර්භයට ද සෙත් වේවා!” එවිට ස්ත‍්‍රිය සුවපත් වුණා. ගර්භය සුවපත් වුණා. (සුව සේ දරුවා බිහිවුණා)

එවිට ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ තනිව ම හුදෙකලා වුණා. අප‍්‍රමාදී වුණා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුණා. කාය ජීවිත දෙක්හි අපේක්ෂා රහිතව ධර්මයෙහි හැසිරෙද්දී, යම් උතුම් අර්ථයක් පිණිස කුල පුත‍්‍රයන් මනා කොට ගිහි ජීවිතය අත්හැර බුදු සසුනෙහි පැවිදි වෙද්ද, බඹසර ජීවිතයේ නිමාව වන එ් උතුම් අරහත්වය මෙහි දී ම තමන් ගේ විශිෂ්ඨ ඤාණයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කළා. ‘ඉපදීම ක්ෂය වුණා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුත්ත කළා. මත්තෙහි කළ යුතු කිසිවක් නැතැ’යි අවබෝධ කරගත්තා. ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ද, රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා.

ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා පාත‍්‍රය ද ගෙන සැවැත් නුවර පිඬුසිඟා වඩිනවා. එවැනි වෙලාවක දී වෙනත් තැනකට ගසන ගල් පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. වෙනත් තැනකට ගසන දඬු මුගුරු පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. වෙනත් තැනකට ගසන කැට කැබිලිති පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. එතකොට ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ බිඳුණු හිසින් යුතුව, ලේ වැගිරෙද්දී, බිඳුණු පාත‍්‍රය ඇතිව, ඉරී ගිය සඟල සිවුරු ඇතිව, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙනවා. එවිට දුරින් ම වඩින ආයුෂ්මත් අංගුලිමාලයන් දකින භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මතුන් අංගුලිමාලයන්ට මෙය පවසා වදාරණවා. “පින්වත් බ‍්‍රාහ්මණය, ඔබ ඉවසන්න! පින්වත් බ‍්‍රාහ්මණය, ඔබ ඉවසන්න! ඔබ විසින් කරන ලද යම් කර්මයක විපාකය බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයෙහි පැසවන්නට තිබුණා ද, පින්වත් බ‍්‍රාහ්මණය, ඔබට එ් කර්මයේ විපාක මේ ජීවිතයේ දී විතරයි විඳවන්නට තියෙන්නේ.” ඉතින් හුදෙකලාවෙහි භාවනා කරමින් විමුක්ති සුඛ විඳිමින් සිටින ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ එ් වේලාවෙහි මේ උදානය වදාළා.

යෝ ච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡා සෝ නප්පමජ්ජති,
සෝ’මං ලෝකං පභාසේති අබ්භා මුත්තෝ’ව චන්දිමා.

කවුරු හරි කලින් දහමේ හැසිරෙන්නට පමා වෙලා හිටිය ත්, පස්සෙ කාලෙක අප‍්‍රමාදීව දහමේ හැසිරුණොත් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුන පුන් සඳක් වගේ.

යස්ස පාපං කතං කම්මං කුසලේන පිථීයති,
සෝ’මං ලෝකං පභාසේති අබ්භා මුත්තෝ’ව චන්දිමා.

කවුරු හරි කෙනෙක් තමන් ගේ පව් කුසල් බලයෙන් නැති කරල දැම්මොත් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුන පුන්සඳක් වගේ.

යෝ හවේ දහරෝ භික්ඛු යුඤ්ජති බුද්ධසාසනේ,
සෝ’මං ලෝකං පභසේති අබ්භා මුත්තෝ’ච චන්දිමා.

කොයි තරම් තරුණ භික්ෂුවක් වුනත් ශීල, සමාධි, ප‍්‍රඥාවේ යෙදෙනවා නම් එයා මේ ලෝකය එළිය කරනවා. වළාකුලින් මිදුන පුන් සඳක් වගේ.

දිසා’හි මේ ධම්මකථං සුණන්තු – දිසා’හි මේ යුඤ්ජන්තු බුද්ධසාසනේ,
දිසා’හි මේ තේ මනුජේ භජන්තු – යේ ධම්මමේවාදාපයන්ති සන්තෝ.

මගේ සතුරන්ට ත් ඇසෙන්නට ඕන මේ චතුරාර්ය සත්‍යය ධර්මය ම යි. මගේ සතුරන් හැසිරෙන්නට ඕන ශීල, සමාධි, ප‍්‍රඥාවේ ම යි. මගේ සතුරො ත් ඇසුරු කරන්නට ඕන මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය පෙන්නා දෙන සත්පුරුෂ උතුමන්ව යි.

දිසා හි මේ ඛන්තිවාදානං – අවිරෝධප්පසංසිනං,
සුණන්තු ධම්මං කාලේන  – තඤ්ච අනුවිධීයන්තු.

ඉවසන ගුණයෙන් යුතු, මෛත‍්‍රියට ප‍්‍රශංසා කරන එ් උතුමන් ගේ ධර්මය ම මාගේ හතුරෝ ද අසත්වා! එ් උතුම් ධර්මය ම අනුගමනය කරත්වා!

න හි ජාතු සෝ මමං හිංසේ – අඤ්ඤං වා පන කිඤ්චනං,
පප්පුය්‍ය පරමං සන්තිං – රක්ඛෙය්‍ය තසථාවරේ.

එ් මාගේ සතුරෝ මට හෝ වෙන කෙනෙකුට හෝ හිංසා නො කරත්වා! දැන් අංගුලිමාල පරම ශාන්තියට පැමිණිලා ඉන්නෙ. තැති ගන්නා සතුනුත්, තැති නො ගන්නා රහතුනුත් රකිනවා.

උදකං හි නයන්ති නෙත්තිකා – උසුකාරා නමයන්ති තේජනං,
දාරුං නමයන්ති තච්ඡකා – අත්තානං දමයන්ති පණ්ඩිතා.

වතුර අදින අය තමන් කැමැති දිශාවට වතුර ගෙනියනවා. හී වඩුවන් ඊතල වල ඇද හැරලා කෙලින් කරනවා. ලී වඩුවන් කැමැති විදිහට ලී නවනවා. අන්න එ් විදිහට බුද්ධිමත් කෙනා තමන් ගේ ජීවිතය දමනය කර ගන්නවා.

දණ්ඩේනේකේ දමයන්ති – අංකුසේහි කසාහි ච,
අදණ්ඩේන අසත්ථේන – අහං දන්තෝම්හි තාදිනා.

සමහර උදවිය දඬු මුගුරු වලිනුත්, හෙණ්ඩුවෙනුත්, කසයෙනුත් තමයි අනුන්ව දමනය කරන්නේ. එ් වුණාට දඬු මුගුරු නැතිවයි, අවි ආයුධ නැතිවයි අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේ මාව දමනය කළේ.

අහිංසකෝ’ති මේ නාමං – හිංසකස්ස පුරේ සතෝ,
අජ්ජාහං සච්චනාමෝම්හි – න නං හිංසාමි කිඤ්චනං.

ඉස්සර මට අහිංසක කියල කීවෙ අනුන්ට හිංසා කරද්දී ම යි. එ්ත් දැන් මං කාටවත් හිංසා නො කරන ඇත්තට ම අහිංසක කෙනෙක්.

චෝරෝ අහං පුරේ ආසිං – අංගුලිමාලෝ’ති විස්සුතෝ,
වුය්හමානෝ මහෝඝේන – බුද්ධං සරණමාගමං.

මං ඉස්සර අංගුලිමාල නමින් ප‍්‍රසිද්ධ වෙච්ච හොරා. මාව සංසාරෙ සැඩ පහරට අහුවෙලා ගහගෙන යන කොට තමයි බුදුරජාණන් වහන්සේව සරණ යන්නට ලැබුණේ.

ලෝහතපාණී පුරේ ආසිං – අංගුලිමාලෝ’ති විස්සුතෝ,
සරණාගමනං පස්ස – භවනෙත්ති සමූහතා.

ඉස්සර මං අත්වල ලේ තවරාගෙන ප‍්‍රසිද්ධ වෙලා හිටියේ අංගුලිමාල නමින්. එහෙත් උතුම් තිසරණයට පැමිණීමේ ආනිශංසය බලන්න. සියළු භව රැහැන් මුලින් ම කපලා දැම්මා.

තාදිසං කම්මං කත්වාන – බහුං දුග්ගතිගාමිනං,
ඵුට්ඨෝ කම්මවිපාකේන – අනණෝ භුඤ්ජාමි භෝජනං.

මගේ අතින් අපායට යන්නට බොහෝ පව් සිද්ධ වුණා. එහෙත් දැන් මං විපාක විඳින්නෙ මේ ජීවිතයේ දී විතරයි. අනුන් ගේ දානෙ මං වළඳන්නෙ ණය නැතිව යි.

පමාදමනුයුඤ්ජන්ති – බාලා දුම්මේධිනෝ ජනා,
අප්පමාදං ච මේධාවී – ධනං සෙට්ඨං’ව රක්ඛති.

අඥාන ජනතාව බාහිර වැඩ කටයුතුවලට මුළු ජීවිතය ම කැප කරනවා. ධර්මයේ හැසිරීම ප‍්‍රමාද කරනවා. නමුත් බුද්ධිමත් කෙනා අප‍්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නෙ උතුම් ධනයක් රැක ගන්නවා වගෙයි.

මා පමාදමනුයුඤ්ජේථ – මා කාමරතිසන්ථවං,
අප්පමත්තෝ හි ඣායන්තෝ – පප්පෝති පරමං සුඛං.

ධර්මයේ හැසිරීම පිණිස ප‍්‍රමාද වෙන්නට එපා! කාම සැපයේ ම ඇලී වාසය කරන්නට එපා! අප‍්‍රමාදීව භාවනා කරන කෙනා තමයි උතුම් සැපය ලබා ගන්නෙ.

ස්වාගතං නාපගතං – නේතං දුම්මන්තිතං මම,
සංවිභත්තේසු ධම්මේසු – යං සෙට්ඨං තදුපාගමං.

සම්බුදු සසුනට මං ආපු එක කොයි තරම් හොඳයි ද! මේක වැඩකට නැති දෙයක් නො වෙයි. අනික, මේ මගේ වැරදි මතයකුත් නොවේ. විස්තර වශයෙන් පහදල දෙන එ් චතුරාර්ය සත්‍යය ධර්මය තුළිනුයි මං උතුම් නිවනට පත් වුණේ.

ස්වාගතං නාපගතං – නේතං දුම්මන්තිතං මම,
තිස්සෝ විජ්ජා අනුප්පත්තා – කතං බුද්ධස්ස සාසනං.

බුදුරජාණන් වහන්සේ ගේ සසුනට මං ආපු එක කොයිතරම් හොඳ ද! මේක වැඩකට නැති දෙයක් නො වෙයි. අනික, මේ මගේ වැරදි මතයකුත් නො වෙයි. මා ත‍්‍රිවිද්‍යාව ලැබුවා. බුද්ධ ශාසනය සම්පූර්ණ කරගත්තා.

සාදු! සාදු!! සාදු!!!

(අංගුලිමාල සූත්‍රය – මජ්ඣිම නිකාය 02)

සරල සිංහල පරිවර්තනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ