නමෝ බුද්ධාය !

සමයෙහි තිලෝගුරු අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර වූ නිග්‍රෝධාරාම අසපුවෙහි වැඩ වසනා සේක. එහි පැමිණි මහා ප‍්‍රජාපතී ගෞතමී බිසව් තොමෝ අප සම්මා සම්බුදු රජාණන් හට වන්දනා කොට එකත් පසෙකට වූවාය. එකත්පසෙක සිටි බිසව් තොමෝ බුදුරජාණන් වහන්සේට මෙසේ පවසා සිටියා ය. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් පණවා වදාළ උතුම් ධර්ම විනය ඇති බුදු සසුන තුළ කාන්තාවන් හටත් අනගාරික පැවිදි උපසම්පදාව ලැබෙන්නේ නම් මැනවි”

බුදු රජාණන් වහන්සේ ප‍්‍රජාපතී ගෞතමී බිසවුන් හට මෙසේ පිළිවදන් දුන් සේක. “අලං ගෝතමී, මා තේ රුච්චි මාතුගාමස්ස තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජ්ජා” “නැත ගෞතමිය, තථාගත බුදු සසුන තුළ කාන්තාවන් හට ගිහි ගෙය අතහැර පැවිදි උපසම්පදාව ලැබීම ගැන ඔබ හට රුචි නොවේවා!” මහා ප‍්‍රජාපතී ගෞතමී බිසවුන් විසින් තුන් වරක් ම බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ඉල්ලා සිටිමුත් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ අවස්ථා තුනේදීම එය ප‍්‍රතික්ෂේප කළ සේක.

එවිට මහා ප‍්‍රජාපතී ගෞතමියගේ සිතේ ‘අහෝ! භාග්‍යවතුන් වහන්සේ විසින් මේ බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදා වීම ප‍්‍රතික්ෂේප කරන ලද්දේය’ යි මහත් දුකක් හට ගත්තේය. ‍දොම්නසක් හට ගත්තේය. කඳුළු පිරි මුහුණින් බුදුරජාණන් වහන්සේට හඬ හඬා වන්දනා කළ ඇය භාග්‍යවතුන් වහන්සේව ප‍්‍රදක්ෂිණා කොට නිග්‍රෝධාරාමයෙන් නික්ම ගියාය. අනතුරුව අපගේ ශාස්තෘන් වහන්සේ කිඹුල්වතෙහි කැමතිතාක් කල් වැඩ වාසය කොට විශාලා මහනුවර බලා වැඩම කළ සේක. පිළිවෙළින් චාරිකාවේ වැඩි බුදු රජාණන් වහන්සේ විශාලාවේ මහා වනයේ කූටාගාර ශාලාවෙහි වැඩ වසනා සේක.

එකල්හී මහා ප‍්‍රජාපතී ගෞතමී බිසව් තොමෝ බුදු සසුනේ පැවිදිබව අපේක්ෂාවෙන් සිටිනා තවත් ශාක්‍ය බිසෝවරු පන්සියයක් සමඟ දිගු හිසකෙස් කපාදමා හිස මුඩුකර ගත්හ. වර්ණවත් සළුපිළි උනාදමා කාසාය වස්ත‍්‍ර හැඳ ගත්හ. සියළුදෙනා එක්ව භාග්‍යවතුන් වහන්සේගෙන් උතුම් පැවිදිබව අයදින අදහසින් නිග්‍රෝධාරාමය වෙත පැමිණියහ. අහෝ! ඒ භාග්‍යවතාණෝ විශාලාවෙන් නික්ම යොදුන් ගණනාවක් දුරින් පිහිටි කිඹුල්වතට වැඩම කොට තිබේ. ගෞතමී තොමෝ තම උත්සාහය අතහැරියේ නැත. ඒ මොහොතෙහි ම යොදුන් පනස් එකක් පමණ දුරින් පිහිටි කිඹුල්වත් පුරය කරා පන්සියයක් දෙනාම ගමන් ඇරඹූහ.

හරිහමන් ආහාරයක් කුසට නැතත්, බීමට පැන් පොදක් නිසිලෙස නොලැබුණත්, දෙපා කකියමින් ගමන් වෙහෙස කොතෙකුත් දැනුනත්, මේ කාන්තාවෝ සම්බුදු පියාණන් සොයා මේ ඇවිද යන්නේ දුර්ලභ බුදු සසුනේ ලොව්තුරු දිවියක් පතාගෙනය. නොබෝ දිනකින් ම කිඹුල්වතට සපැමිණි මේ පිරිස කූටාගාර ශාලාවට ඇතුළුවන දොරටුව අභියස එක්රැස් වූහ. බොහෝ දිගු ගමනක් පා වෙහෙසූ නිසා දෙපා ඉදිමී ගොස්ය. ඇතැමුන්ගේ දෙපා පැලී ගොසිනි. දුහුවිලි වැකුණු කයත් වස්ත‍්‍රත් දුර්වර්ණ වී තිබේ. ‘එහෙත් පෙර සේම ඒ සම්බුදු රජාණෝ අපගේ පැවිද්ද ප‍්‍රතික්ෂේප කරාවිවත් ද’යි සිතෙත් ම ගෞතමිය හට වාවාගත නොහැකි විය.

කඳුළු පිරි දොම්නස් සහගත මුහුණින් දොරටුව අසල සිටිනා මහා ප‍්‍රජාපතී ගෞතමී බිසව ඇතුළු පිරිස ආනන්ද තෙරුන් වහන්සේගේ නෙතු ගැටුණේ මේ මොහොතේ දී ය. උන්වහන්සේ ඒ පිරිස දෙසට සමීප වෙත්ම ඔවුන්ගේ ඉදිමී පැලී ගිය දෙපා, දුහුවිලි වැකුණු සිරුරු දැක මහත් සංවේගයෙන් යුතුව මෙසේ විමසන්නට විය.

“පින්වත් ගෞතමියනි, මේ කිම? ඔබලා සියළු දෙන අතිශයින්ම වෙහෙසී. කුමන කරුණක් නිසා මෙසේ දොම්නස්ව සිටිත් ද?”

ආනන්දයන් වහන්සේට වන්දනා කළ ගෞතමී බිසව “ආනන්දයන් වහන්ස, එය එසේම යි. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ බුදුසසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලබා නොදීම ගැන අපි මහත් සේ දොම්නස්ව පසු වන්නෙමු. ඒ භාග්‍යවතුන් වහන්සේව සොයා විශාලාවේ සිට මෙතෙක් දුර පා ගමනින්ම පැමිණියෙමු” යි පිළිතුරු දුන්නාය. ආනන්ද තෙරුන් වහන්සේ මොහොතක් නිහඬව සිට මෙසේ පැවසුවේ ය. “එසේනම් පින්වත් ගෞතමියනි, මොහොතක් ඉවසනු මැනවි. මා විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් කාන්තාවන් හට බුදුසසුනේ පැවිදි උපසම්පදාව අයැද සිටින්නම්. මා පැමිණෙන තෙක් මෙහි රැඳෙනු මැනවි”

අනතුරුව ආනන්දයන් වහන්සේ බුදු රජාණන් වහන්සේ හමුවට වැඩම කොට වන්දනා කොට එකත්පසෙක වැඩ සිටියේ ය. එකත්පසෙක හුන් ආනන්දයන් වහන්සේ‍ “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මහා ප‍්‍රජාපතී ගෞතමී බිසව ඇතුළු පන්සියයක් පමණ දෙනා විශාලාවේ සිට මෙහි පා ගමනින්ම පැමිණ තථාගතයන් වහන්සේ වෙතින් කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලබා නොදුන්නේ යැයි හඬමින් දොරටුව අසළ පසුවෙති. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් කාන්තාවන් හටත් මේ ධර්ම විනය තුළ අනගාරික පැවිදි උපසම්පදාව අනුදැන වදාරන්නේ නම් මැනවි”

“කම් නැත ආනන්දයෙනි, තථාගතයන්ගේ ධර්ම විනය තුළ කාන්තාවන්ගේ අනගාරික පැවිදි උපසම්පදාව ගැන ඔබ හට රුචි නොවේවා!” යි බුදු රජාණන් වහන්සේ වදාළ සේක. මේ අයුරින් ආනන්ද තෙරුන් වහන්සේ විසිනුත් තුන් වරක්ම ඉල්ලා සිටිය ද භාග්‍යවතුන් වහන්සේ පෙර සේම ඒ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ සේක.

එවිට ආනන්ද තෙරුන් වහන්සේට මෙබඳු සිතක් ඇතිවිය. ‘භාග්‍යවතුන් වහන්සේ විසින් කාන්තාවන්ගේ පැවිදිබව තෙවරක්ම ප‍්‍රතික්ෂේප කළ සේක. එසේනම් මා විසින් මේ ගැන වෙනත් අයුරකින් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටිය යුතුය’ යළිත් ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසන්නට විය. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ගිහිගෙය හැරදමා මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා කාන්තාවක් හට මාර්ගඵල සාක්ෂාත් කිරීම සිදුවිය නොහැක්කේ ද?”

“භබ්බෝ ආනන්ද මාතුගාමෝ තථාගතප්පවේදිතේ ධම්මවිනයේ අගාරස්මා අනගාරියං පබ්බජිත්වා සෝතාපත්ති ඵලම්පි සකදාගාමී ඵලම්පි අනාගාමී ඵලම්පි අරහත්තම්පි සච්ඡිකාතුන්ති” “සිදු විය හැකිය ආනන්දය, ගිහිගෙය හැරදමා මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබූ කාන්තාවක් සෝවාන්ඵලය ද සාක්ෂාත් කරන්නේය, සකදාගාමීඵලය ද සාක්ෂාත් කරන්නේය, අනාගාමීඵලය ද සාක්ෂාත් කරන්නේය, අරහත්වය ද සාක්ෂාත් කරන්නේය, යන කරුණ සිදුවිය හැක්කේම ය.” මහා කාරුණිකයාණෝ පිළිතුරු දුන් සේක.

එවිට ආනන්ද තෙරුන් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ අයැද සිටියේ ය. “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ගිහිගෙය හැරදමා මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබූ කාන්තාවක් සෝවාන්ඵලය ද සාක්ෂාත් කරන්නේය, සකදාගාමීඵලය ද සාක්ෂාත් කරන්නේය, අනාගාමීඵලය ද සාක්ෂාත් කරන්නේය, අරහත්වය ද සාක්ෂාත් කරන්නේය, යන කරුණ සිදුවිය හැකි දෙයක්ම නම් කාන්තාවන් හට මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව අනුදැන වදාරණ සේක්වා! ස්වාමීනී මහා ප‍්‍රජාපතී ගෞතමී බිසව් තොමෝ භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර කරන ලද්දේය. භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියෝ ය. කුඩා කල කවා පොවා නහවා ඇති දැඩි කරන ලද්දීය. පෝෂණය කරන ලද්දීය. මෑණියන් මියගිය කල්හී කිරි පොවන ලද්දීය. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් හට මේ බුදු සසුනේ අනගාරික පැවිදි උපසම්පදාව අනුදැන වදාරන සේක්වා!”

“යහපති ආනන්දයෙනි, මහා ප‍්‍රජාපතී ගෞතමිය විසින් මේ අෂ්ඨ ගරු ධර්ම පිළිගන්නේ නම් එයම ඇයගේ උපසම්පදාව වන්නේ ය.” පැවසූ බුදුරජාණන් වහන්සේ ඒ ගරු ධර්ම අට ආනන්ද තෙරුන් හට පැවසූ සේක. ඒ මෙසේ ය,

1. උපසම්පදාවෙන් සියවසක් ගෙවූ භික්ෂුණිය විසිනුත් එදින ම උපසම්පදා වූ භික්ෂුවට වන්දනා කිරීම්, දැක හුනස්නෙන් නැගිටීම්, ඇඳිලි බැඳ වැඳීම්, යහපත් වත් කිරීම් කළ යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

2. භික්ෂුණිය විසින් අවවාද දෙන භික්ෂුවක් නැති ආවාසයෙහි වස් නොඑළඹිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

3. භික්ෂුණිය අඩමසක් පාසා භික්ෂු සංඝයා වෙතින් ධර්මයන් දෙකක් ලැබිය යුත්තී ය. එනම් පොහොය කිරීම ගැන ඇසීම ත්, අවවාද ලැබීමට එළඹීම ත් ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

4. වස් වැසූ භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි තම පිරිසිදු බව ගැන තුන් තැනකින් පැවරිය යුත්තී ය. දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන් ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

5. බරපතල ඇවතකට පත් භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි පක්ෂ මානත් පිරිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

6. දෙවසරක් සය ධර්මයක හික්මුණු ශික්ෂා ඇති සික්ඛමානාව විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුත්තී ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

7. භික්ෂුණිය විසින් කවර හෝ කරුණක් වෙනුවෙන් භික්ෂුවකට ආක්‍රෝශ නොකළ යුත්තේ ය. පරිභව නොකළ යුත්තේ ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

8. ආනන්දයෙනි, අද සිට භික්ෂුණීන් හට භික්ෂූන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය වැසුණේ ය. භික්ෂූන් හට භික්ෂුණීන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය නොවැසුණේ ය. මේ ධර්මය ත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

බුදුරජාණන් වහන්සේ මේ ගරු ධර්ම අට ආනන්ද තෙරුන් හට පවසා මෙසේ වදාළ සේක. “ආනන්දය ප‍්‍රජාපතී ගෞතමිය විසින් මේ ගරු ධර්ම අට පිළි ගන්නේ නම් එයම ඇයගේ උපසම්පදාව වන්නේය” ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට අවසර ලබාගෙන ප‍්‍රජාපතී ගෞතමිය ඇතුළු පිරිස වෙත පැමිණියේ ය. බුදු රජුන් විසින් පැවසූ මේ ගරුධර්ම අට ඔවුන් හට පවසා සිටියේ ය. අනතුරුව උන්වහන්සේ මෙසේ පැවසී ය. “ගෞතමියනි, ඔබ මේ අෂ්ඨ ගරුධර්මයන් පිළිගන්නේ නම් එයම ඔබ හට උපසම්පදාව වන්නේය.”

ඉක්බිති ප‍්‍රීතියෙන් පිනාගිය ප‍්‍රජාපතී ගෞතමී බිසව් තොමෝ ආනන්ද තෙරුන් හට මෙලෙස පිළිවදන් දුන්නා ය. “ස්වාමීනී ආනන්දයන් වහන්ස, අලංකාරව සැරසෙනු කැමති තරුණ ගෑණු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් හොඳින් හිස සෝදා නෑමෙන් අනතුරුව, සමන් මල් හෝ දෑසමන් මල් දාමයක් ගෙන ශරීරයේ උත්තම අංගය වන හිසේ පැළඳගන්නාක් මෙන් මමද මේ සම්බුදු රජාණන් විසින් උතුම් ගරුධර්මයන් පිළිගන්නෙමි.” ඒත් සමඟම එය මහා ප‍්‍රජාපතී ගෞතමිය ගේ පැවිද්දත් උපසම්පදාවත් විය.

ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන් වූ මහා ප‍්‍රජාපතී ගෞතමී තොමෝ අෂ්ඨ ගරුධර්ම පිළිගෙන උපසම්පදාව ලැබුවා” යැයි දන්වා සිටියේ ය. මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා ඒ මොහොතේ මෙසේ පැවසූ සේක.

“ආනන්දයෙනි, කාන්තාව ගිහිගෙයින් නික්ම තථාගත ධර්ම විනය තුළ පැවිදි උපසම්පදාව නොලද්දේ නම් මේ බුදු සසුන චිරාත් කල් පවතින්නේය. අවුරුදු දහසක්ම පවතින්නේය. එනමුත් ආනන්දයෙනි” කාන්තාව ගිහිගෙයින් නික්ම තථාගත ධර්ම විනය තුළ පැවිදි උපසම්පදාව ලැබූ නිසා මේ සසුනේ චිර පැවැත්ම පිරිහී ගියේය. දැන් මෙතැන් සිට පන්සිය වසරක්ම ශාසනයේ පැවැත්ම වන්නේය.

ආනන්දයෙනි, ස්ත‍්‍රීන් බොහෝ ඇති පුරුෂයන් අල්ප වූ නිවසක් කල ඇතුළේ පහන් දල්වාගෙන රාත‍්‍රියේ සොරකම් කරනා සොරු විසින් පහසුවෙන්ම ආක‍්‍රමණය කරන්නේ යම් සේද ස්ත‍්‍රියක් විසින් අනගාරික පැවිද්ද ලැබූ සසුන පිරිහී යන්නේය.

ආනන්දයෙනි, හැල් වී කෙතක සේතට්ඨිකා නම් රෝග විශේෂය හට ගැනීමෙන් ඒ හැල් වී කෙත වැනසී යන්නේ යම් සේද උක් වත්තක මංජෙට්ඨිකා නම් රෝග විශේෂය හට ගැනීමෙන් ඒ උක් වගාව වැනසී යන්නේ යම් සේද ස්ත‍්‍රියක් විසින් අනගාරික පැවිද්ද ලැබූ සසුන පිරිහී යන්නේය.

එනමුත් ආනන්දයෙනි, පුරුෂයෙක් විසින් දිය පිරි තටාකයක ජලය පිටතට නොයෑම පිණිස කල් ඇතුවම නියර බඳින්නේ යම් සේද මා විසින් ශාසනයේ රැකවරණය පිණිස කල් ඇතුවම අෂ්ඨ ගරුධර්මයෝ පණවන ලද්දේය.”

මෙසේ ගෞතම සම්බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලැබී භික්ෂුණී සංඝයා ආරම්භ වූයේ සොඳුරු වස්සාන සමයේ උදාවන උතුම් වූ බිනර පුන් පොහෝ දිනයේ දීය. ඉතින් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් අෂ්ඨ ගරුධර්ම සහිතව ලබාදුන් පැවිදි උපසම්පදාව නිසා ගෞතම බුදු සසුනේ සිව් වනක් පිරිසම සෝභමාන කරවන භික්ෂුණී මහා ප‍්‍රජාපතී ගෞතමී රහත් මෙහෙණින් වහන්සේ, ඛේමා මහ රහත් මෙහෙණින් වහන්සේ, උප්පලවණ්ණා රහත් මෙහෙණින් වහන්සේ, අම්බපාලී රහත් මෙහෙණින් වහන්සේ, යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ, පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ ආදී රහත් මෙහෙණින් වහන්සේලා ඇතුළු බොහෝ භික්ෂුණීන් වහන්සේලා බිහි වූ සේක.

එමෙන්ම බොහෝ කුල කාන්තාවෝ බුදු සසුනෙහි පැවිදිව අවංකව පිළිවෙත් පුරා මගඵල නිවන් සාක්ෂාත් කළහ. එම භික්ෂුණීන් වහන්සේලා අතර විශේෂ කුසලතා වලින් සමන්විත වූ භික්ෂුණීන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙතින් අග තනතුරු ද ලදහ. අපගේ ශ්‍රී ලංකාද්වීපයට භාග්‍යවතුන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස සෙවන සැලසූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වැඩමවන ලද්දේද එම භික්ෂුණි පරපුරෙන් පැවත ආ සංඝමිත්තා මහරහතන් මෙහෙණින් වහන්සේ විසිනි.

අපගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ ව්‍යක්ත වූ විනීත වූ විශාරද වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ධර්මයට අනුවම දිවිගෙවනා භික්ෂුවක් වේවා භික්ෂුණියක් වේවා උපාසකයෙකු වේවා උපාසිකාවක් වේවා ඔවුන් සංඝයාව සෝභමාන කරනා බවයි. එනිසා මෙබඳු ශාසනික වශයෙන් වැදගත් දිනයක් වන බිනර පුන් පොහෝ දිනයේ පෙහෙවස් සමාදන්ව උතුම් සිල්පදයන් තුළ හික්මෙමින් ධර්ම ශ‍්‍රවණය කරමින් ඒ ධර්මයට අනූව දිවි ගත කරමින් බුදු රජුන්ගේ ශ‍්‍රාවක පිරිස සෝභමාන කරන්නට අපිත් උත්සහ ගනිමු.

තෙරුවන් සරණයි!