අමා දම් රස වෑහෙන විස්තර‍ාර්ථ ධම්මපදය

ම්ම පදය ඉතාම රසවත්ය. බුදුරජාණන් වහන්සේ පුංචි ගාථාවකින් අරුත් කැටි කරන ලද විසිතුරු ධර්මයක් වදාරණ අයුරු මොන තරම් අසිරිමත්ද! ධම්ම පදයට ලියැවුණු ග්‍රන්ථ බොහෝ තිබෙනවා. ඒ හැම එකකම දහම් රසය තිබෙනවා. නමුත් වර්තමානයේ කවුරුත් කැමැති වන්නේ ඉතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයට ලියන පොත් පත් කියවීමටයි. එනිසා ධම්ම පදය නම් වූ දහම් රසාකරය මටසිලිටි භාෂාවකින් ලියන්නට ඇත්නම් කොතරම් අගේද කියා මට සිතුණා. ඒ වගේම ඒ ගාථාවලින් මතුවෙන දහම් කරුණු විස්තර වශයෙන් තෝරා දෙන්නටත්, එයට පසුබිම් වූ කථා වස්තුව තෝරා දෙන්නටත් ඇත්නම්, කොතරම් අගේද කියා මට සිතුණා.

ඇත්තෙන්ම ධම්ම පදය හරිම රසවත්. සුමිහිරියි. කොතරම් කියෙව්වත් ඇතිවෙන්නෙ නැහැ. සිත පිනා යනවා. අර්ථ වැටහෙනවා. සැනසීම ඇතිවෙනවා. තව තවත් ධර්මයටමයි ආසාව ඇති වෙන්නේ.

එනිසාම මා මේ සුන්දර ධර්ම ග්‍රන්ථයට ‘අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය’ යන නම තැබුවා. මෙහි දම් රස වෑහෙන අයුරු මෙය කියවද්දී ඔබට පසක් වේවි. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය දැනගෙන ඒ ධර්මයට අනුව සිත, කය, වචනය හසුරුවා ගෙන දහම් රස විඳිමින් ජීවිතය ගත කරන්නට ඇත්නම් මොනතරම් වාසනාවක්ද!

මෙහි ධම්මපදයේ ගාථාවල සරල තේරුමත්, එම ගාථාවන් දේශනා කිරීමට හේතු වූ පසුබිම් කථාවත් ඇතුලත්ව තිබෙනවා.

මෙම ධම්මපද විස්තරය කෙරෙන සෑම වර්ගයක් සඳහාම ඡට්ඨ සංගායනාවට අයත් ධම්මපද අට්ඨ කථාව තමයි උපයෝගී කරගත්තේ. අට්ඨ කථාව ගැන යමක් කිව යුතුයි. ඇතැම් අය දන්නේ අටුවාවල නම විතරයි. අටුවාව කියවලා නෑ. ධම්මපද අට්ඨකථාව වුනත් සම්පූර්ණයෙන්ම කියවලා තියෙන්නේ ටික දෙනයි. අටුවාවලට මා විරුද්ධයි කියලා අභූත චෝදනාවක් යනවා. ඒවා කියන අයට පව් රැස් වෙයි. මං මේ හැම දෙයක්ම ලියන්නේ අටුවාව කියවලයි.

මෙහි ලස්සන කථාවන් තියෙනවා. අටුවාව නොතිබෙන්න මේ කථා ඉගෙනීමට කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා අටුවා කියවීම හරිම ප්‍රයෝජනයි. අටුවා කියවා එය අපගේ තේරෙන භාෂාවෙන් ලියන්නට ඇත්නම් ඒ තුළින් කෙනෙකුට ඒ ගාථාවට පාදක වූ පසුබිම යස අගේට තේරුම් ගන්න පුළුවන්. මේ ධම්ම පද කථා කියවද්දී ඔබට ජීවිතය ගැන ඉතාම වටිනා තොරතුරු ඉගෙන ගන්න ලැබෙනවා.

මේ සුන්දර කතා වස්තූන් කියවන ඔබ සැමට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වේවා!

හැම දෙනාටම තෙරුවන් සරණයි!

මෙයට,
ගෞතම බුදු සසුන තුළ මෙත් සිතින්,
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

අලුතින් පළ වූ ලිපි

15-7. එක්තරා උපාසකයෙකුගේ කථා වස්තුව-ධම්මපදය

April 26th, 2020|3 Comments

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට සෙතසුව සැළසීම පිණිස තමයි ජීවිතය කැප කළේ. ඇතැම් අවස්ථාවලදී කවුරුන් හෝ අඩුගණනේ සෝවාන් ඵලයටවත් පත්වීමට පින තියෙනවා නම් ඒ තැනැත්තා වෙනුවෙන් ඕනෑම දුරක් යන්න පෙළඹෙනවා.

15-6. සැදැහැවත් කුලදැරියකගේ කථා වස්තුව- ධම්මපදය

April 19th, 2020|3 Comments

අලුත් මනාලියත් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඈ ලස්සන ඇඳුමක් ඇඳගෙන භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් ඇප උපස්ථාන කරමින් කඩිනමින් එහාට මෙහාට යනවා. ඇය සරණ පාවාගත් තරුණයා ඇය කෙරෙහි ලොල් සිතින්මයි වාසය කළේ.

15-5. ජය පැරදුම ගැන කථා වස්තුව-ධම්මපදය

April 17th, 2020|3 Comments

ඉස්සර කාලෙත් යුද්ධ ඇතිවුණා. හැමදාමත් යුද්ධ තියෙනවා. සමහරු පරදිනවා. සමහරු දිනනවා. ඉතින් මේ ජය පරාජ දෙක තුළ හටගන්නා අර්බුදවලට ලොව හැමදාම මැදිහත් වෙනවා. බුද්ධ කාලයේත් යුද්ධ හටගත්තා. මේ විදිහටම ප්‍රශ්න ඇතිවුණා. මෙයත් එවැනි කථාවක්.

15-4. මාරයාගේ කථා වස්තුව-(මාර විෂය හරි පුදුමයි)

April 14th, 2020|1 Comment

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයෙහි මාර විෂය කියා දෙයක් තියෙනවා. මාර විෂය කියන්නේ මාරයාට බලපවත්වන්නට පුළුවන් යම් දෙයකට ද, එයටයි. මාරයා කියලා කෙනෙකු ලෝකයේ සිටින බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව වදාළා. ඔහුගේ බලපුළුවන්කාරකම් ගැනත් වදාළා.