තරුණ

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 21

තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද?

රුණ ජීවිතය ගසාගෙන යන තත්ත්වයට අද පත්වී තිබේ. යමක් ගසාගෙන යනවා යන්නෙහි අර්ථය එය වෙනත් යමකට අවශ්‍ය ආකාරයට හැසිරෙනවා යන්නය. ජීවිතයේ හැකියාව තිබෙන, සවිය ඇති, කල්පනාව හොඳින් තිබෙන මේ කාලය ඔබ විසින් හෝ ඔබේ දුව පුතා විසින් එසේ නැති නාස්ති කරන්නේ ධර්ම මාර්ගය සවිමත් ආකාරයෙන් ඔවුන් තුළ පිහිටා නොමැති නිසාය. තරුණ පරපුර වල්මත් කරනා සමාගම් වුවමනා සෑම තැනකම තරුණ ආකර්ෂණය දිනා ගත හැකි උගුල් සේ අටවා තිබේ.

කුමන බියර් වර්ගය හොඳ දැයි තේරීමේ ඉසව්වක් එක්තරා වෙබ් අඩවියක් මගින් මෑතකදී සංවිධානය කර තිබුණි. එක් එක් වර්ගයේ පාපී බියර් පානයන් අංකනය කරන ලද සුදු පැහැති කෝප්ප තුළට දමා තිබුණි. කෝප්ප ගණනාවක් එහි තිබූ අතර තරුණයන් සහ තරුණියන් ගණනාවක් එය තොලගා එහි විවිධ රස නීරස කියන්නට විය. මේ උපාය යොදන්නේ කෙදිනකවත් මත්පැන් කට නොතැබූ තරුණ මුව තුළට විස ඇතුල් කරන්නට බව ඒ තරුණ පිරිස වටහාගෙන සිටියේ නැත. එක්කෝ සමාගමකින් ලැබෙන මුදල් නිසා සමස්ත සමාජයක් රෝගී කරමින් විනාශ කරන කොන්ත්‍රාත්තුවක් ඔවුන් භාරගෙන විය යුතුය. තිසරණයේ පිහිටා සිටිනා තරුණයා මේ උගුල් කිසිවෙක පැටලෙන්නේ නැත. එය උප්පැන්නයට සීමා කරගත් තාරුණ්‍යය මේ සියලු උගුල් හි පැටලෙනවා සේම, එය සතුටක්, කළ යුතුම ක්‍රියාවක් ලෙස සමාජය ඉදිරියේ වහරනවා ඇත.

මේ ඉදිරිපත් කරන ලද්දේ සරල උදාහරණයකි. මේ වන විට තරුණ පරපුර ගිලගන්නට ආදර දවසක් ද සුදානම් වෙමින් තිබේ. බටහිර රැල්ලට ගසාගෙන යන තම ජාතිය සංස්කෘතිය හීනමානයක් වන පරපුරක් බිහිකර ගැනීමේ වෙනත් සංස්කෘතීන්හි වුවමනාවන් මේ පිටුපස සිටින අතර එයින් තමන්ගේ දවසේ මඩිය තර කරගැනීමේ අවශ්‍යතාවයක සිටින පිරිසක් ද වේ. මේ උගුල්හි නොවැටී සිය ජීවිතයේ සැබෑ සතුට දැකිය හැකි මගක් සඳහා පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ මෙසේ අපට දහම් දේශනා පවත්වති.

නුවණ කියන්නේ හරි පුදුමාකාර දෙයක්. ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න මොනතරම් වාසනාවක් තියෙන්න ඕනද? හැමෝටම ප්‍රඥාවන්ත වෙන්න බැහැ නෙව. බුදුරජාණන් වහන්සේගේ කාලෙ වුණත් එහෙම තමයි. ප්‍රඥාවන්ත පිරිස ඉන්නේ ටිකයි.

බුදුරජාණන් වහන්සේගේ කාලේ බරණැසත් උරුවේලාවත් අතර පාවා කියන ප්‍රදේශයේ වාසය කළ තිහක් පමණ තරුණ යහළුවන් හිටියා. දවසක් මේ ඇත්තන්ට උයන් ක්‍රීඩාවට යන්නට ආසාවක් ඇතිවුණා. හැබැයි විසිනව දෙනකුට කුමාරිකාවන් ඉන්නවා. එක්කෙනකුට කුමාරිකාවක් නැහැ. ඉතින් ඒ කුමාරයා සඳහා තරුණ කාන්තාවක් මිලට ගත්තා. මේ කාන්තාව වෙසඟනක්. ඒ උද්‍යාන ක්‍රීඩාවේ යෙදෙන තරුණයන් මේ තරුණිය ගැන කිසි අවිශ්වාසයක් කළේ නැහැ. අවස්ථාව බලලා මේ කාන්තාව මොකද කළේ, සියලු දෙනාගේ බඩුමුට්ටු ආභරණ අරගෙන පැනලා ගියා.

ඊට පස්සේ මෙය දැනගත් තරුණයෝ ටික කලබල වුණා. තමන්ගේ කුමාරිකාවන් ගෙවල්වලට පිටත් කළා. සොරකම් කළ කාන්තාව සොයන්නට කලබලෙන් එහෙ මෙහෙ ගියා. ඒ උද්‍යානයේ එක්පැත්තක රුක් සෙවණක බුදුරජාණන් වහන්සේ වැඩසිටියා. මේ අය ගිහින් ඇහුවා,

“පින්වත් ශ්‍රමණයන් වහන්ස, මේ පැත්තෙන් ගෑනු ළමයෙක් ගියාද?”

“පින්වත් තරුණයනි, ගෑනු ළමයා හොයන එකද හොඳ? සැබෑවටම තමන් කවුද කියලා හොයන එකද හොඳ?”

“පින්වත් ශ්‍රමණයන් වහන්ස, අපට නම් හිතෙන්නේ ගෑනු ළමයා හොයන එකට වඩා තමන් කවුද කියලා අවබෝධ කරගන්න එක උතුම් කියලයි.”

ඊට පස්සේ මේ තරුණයන්ට බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න ලැබුණා. එදා මේ සියලු දෙනාටම චතුරාර්ය සත්‍යය ගැන යම්කිසි වැටහීමක් ඇතිවුණා. ඒ කියන්නේ හැමෝම සෝවාන් වුණා.

ඉතින් මේ තරුණයන් තිස්දෙදෙනා ම ගිහි ජීවිතය අත්හරින්න තීරණය කළා. මේ ජීවිතයේදී ම කෙලෙස් ප්‍රහාණය වනතුරු ම ධර්ම මාර්ගය දියුණු කරන්න ඕන කියලා දැඩිව අධිෂ්ඨාන කළා. බුදුරජාණන් වහන්සේගෙන් පැවිදිබව ඉල්ලා සිටියා.

එතකොට බුදුරජාණන් වහන්සේ දකුණු ශ්‍රී හස්තය දිගු කොට මෙහෙම වදාළා.
“පින්වත් මහණෙනි, එන්න. මේ ශාසනය තුළ මනාකොට දේශනා කළ ධර්මයක් තියෙන්නෙ. දුක් කෙළවර කිරීම පිණිස දහමේ හැසිරෙන්න” කියල.

පින්වතුනේ, පින්වත් දරුවනේ, හරිම පුදුමයි! ආශ්චර්යයි! විස්මිතයි! ඒ කියන්නේ අර තරුණයන්ගේ කෙස් රැවුල් නොපෙනී ගියා. ගිහි ඇඳුම් නොපෙනී ගියා. ඍද්ධියෙන් සිවුරු පෙරවුණා. පාත්තර අතට ලැබුණා. මෙයට කියන්නේ ‘ඒහිභික්ෂු’ උපසම්පදාව කියලයි. මේ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නෑ. සසරේ කරන ලද පින්වලට අනුවයි ඒහිභික්ෂු උපසම්පදාව ලැබෙන්නේ. අනික බුදුරජාණන් වහන්සේ නමකගෙන් විතරයි එය ලැබෙන්නේ. වෙන කාගෙන්වත් ලැබෙන්නේ නෑ.

ඉතින් මේ ඒහිභික්ෂුභාවය ලබන්න අර තරුණයන් තිස් දෙනාට පුදුමාකාර පිනක් තිබුණා. ඉතින් ඒ පින්වත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම එදා ඉඳලා ඉතා හොඳින් සීලවන්තව සිටියා. පිණ්ඩපාතයෙන් ජීවත් වුණා. පාංශුකූල සිවුරු පෙරෙව්වා. තුන් සිවුරෙන් විතරයි හිටියේ. ඒ වගේම සතර සතිපට්ඨානය වඩමින් සමථ විදර්ශනා භාවනා පුරුදු කළා. ඒ කියන්නේ ධ්‍යාන වැඩුවා. ස්කන්ධ ධාතු ආයතන ආදී විදර්ශනා වැඩුවා.

දවසක් ඒ ස්වාමීන් වහන්සේලාට හිතුණා බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට යන්න ඕන කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැදකින්නට රජගහනුවර වේළුවනයට වැඩියා.

එදා බුදුරජාණන් වහන්සේට මෙහෙම හිතුණා.
‘මේ භික්ෂූන් වහන්සේලා වාඩි වී සිටින ආසනයේදීම සියලු කෙළෙස් සිතෙන් දුරු වී යන ආකාරයෙන් ධර්ම දේශනා කරන්නට ඕන’ කියලා.

පින්වතුනේ, පින්වත් දරුවනේ, එදා කළ දේශනාව හරිම පුදුමයි. ඉපිද ඉපිද මැරි මැරී පැමිණි සසරේ කෙනෙකුට විඳින්නට ලැබෙන අනන්ත අප්‍රමාණ දුක් කන්දරාව ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. එදා ඒ භික්ෂූන් වෙනුවෙන් කළ දේශනය සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තයේ තිංසමත්ත සූත්‍රය නමින් සඳහන් වෙනවා.

“පින්වත් මහණෙනි, මේ ඉපදෙන මැරෙන ස්වභාවයේ ඉවර වීමක් නැහැ. කවදා පටන්ගත්තාද කියල කොණක් පොටක් පෙනෙන්නෙත් නැහැ. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙලා නැතිකම නැමැති අවිද්‍යාවට වැසුණු සත්වයන් ඒ නිසාම තණ්හාවට බැඳෙනවා. එහෙම තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඉපදි ඉපදි මැරි මැරී ආවේ.

පින්වත් මහණෙනි, ඔබට කුමක්ද හිතෙන්නේ? ඔබ මේ සා දීර්ඝ වූ සසර පුරාවට පැමිණි ගමනේදී හිස ගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේ ද වැඩි? සතර මහා සාගරයේ ජලය ද වැඩි?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධයෙන් දේශනා කරන ලද ධර්මය මේ විදිහටයි අපි දන්නේ. ඒ කියන්නේ ස්වාමීනී, මේ සා අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරේ ඇවිද ඇවිද පැමිණි ගමනේ දී අපට හිස ගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේ ම යි වැඩි, සතර මහා සාගරයේ ජලය නොවේ.”

“සාදු! සාදු! පින්වත් මහණෙනි. පින්වත් මහණෙනි, මා විසින් අවබෝධයෙන් ම දෙසන ලද ධර්මය ඔබ දරාගෙන සිටිනා අයුරු ඉතා යහපත්. ඒ කියන්නේ පින්වත් මහණෙනි, ‘මේ සා අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරේ ඇවිද ඇවිද පැමිණි ගමනේ දී ඔබට හිස ගැසුම් කන්නට සිදුවීම නිසා ගලාගෙන ගිය ලේ ම යි වැඩි, සතර මහා සාගරයේ ජලය නොවේ කියල.’

‘ඒ වගේ ම පින්වත් මහණෙනි, මේ සා අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සසරේ ඇවිද ඇවිද පැමිණි ගමනේ දී ඔබට ගවයන් වෙලා ඉපදීම නිසා හිස ගැසුම් කන්නට සිදුවීමෙන් ගලාගෙන ගිය ලේ ම යි වැඩි, මීහරක් වෙලා ඉපදීම හේතුවෙන්. එළුවන් වෙලා ඉපදීම හේතුවෙන්. කොටළුවන් වෙලා ඉපදීම හේතුවෙන්. මෘගයින් වෙලා ඉපදීම හේතුවෙන්. ඌරන් වෙලා ඉපදීම හේතුවෙන්. කුකුළන් වෙලා ඉපදීම හේතුවෙන්. ගම් පහරන සොරුන් වෙලා ඉපදීම හේතුවෙන්. මං පහරන සොරුන් වෙලා ඉපදීම හේතුවෙන් හොර අඹුවන් කරා යෑම හේතුවෙන් හිස ගැසුම් කද්දි ගලාගෙන ගිය ලේ ම යි වැඩි. සතර මහා සාගරයේ ජලය නොවේ කියල.

එනිසා පින්වත් මහණෙනි, මේ ඉපදෙන මැරෙන ස්වභාවයේ ඉවර වීමක් නැහැ. කවදා පටන්ගත්තාද කියල කොණක් පොටක් පෙනෙන්නෙත් නැහැ. චතුරාර්ය සත්‍යය අවබෝධ වෙලා නැතිකම නැමැති අවිද්‍යාවට වැසුණු සත්වයන් ඒ නිසාම තණ්හාවට බැඳෙනවා. එහෙම තමයි දීර්ඝ කාලයක් තිස්සේ ඉපදි ඉපදි මැරි මැරී ආවේ.

පින්වත් මහණෙනි, එනිසා සසර කෙරෙහි කලකිරෙන එක ම යි හොඳ. සසරෙන් නිදහස් වෙන එක ම යි හොඳ.

පින්වතුනේ, පින්වත් දරුවනේ, එතකොට ඒ භික්ෂූන් වහන්සේලා සිත එකඟ කරගෙන මේ භයානක සසර ගමන ගැන කිසිදිනෙක නොඇසූ විරූ විස්තර බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටිද්දී ඒ භික්ෂූන් වහන්සේලාට ජීවිතය ගැන ඉතා ගැඹුරු අවබෝධයක් ඇතිවුණා. අවබෝධයෙන් ම සසර පැවැත්ම එපා වුණා. ඒ නිසා ඇල්ම නැතිවුණා. ඇල්ම නිරුද්ධ වුණා. ඒ වාඩි වී සිටි ආසනයේදී ම සියලු කෙලෙසුන්ගෙන් නිදහස්ව අරහත්වයට පත්වුණා.

එතකොට අනෙක් භික්ෂූන් වහන්සේලා මේ දෙතිස්නමගේ නුවණැති බව ගැන පුදුමයට පත්වුණා. “අහෝ! මේ භික්ෂූන් වහන්සේලා ඉතා ඉක්මනින් අරහත්වයට පත්වුණා නෙව. මෙය නම් ආශ්චර්යයි” කියලා.

එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ අරභයා මෙම ගාථාරත්නය වදාළා.

මුහුත්තම්පි චේ විඤ්ඳූ – පණ්ඩිතං පයිරුපාසති
ඛිප්පං ධම්මං විජානාති – ජිව්හා සූපරසං යථා

ඉදින් නුවණ තියෙන කෙනා – මොහොතක සුළුකලක් තුළදී
ඇසුරු කළොත් නැණවතෙකුව – සැණෙකින් ධර්මය දන්නේ
හොඳ රසවත් බොජුන් සැණින් – දිව මත තැවරෙන විටදි ම
ඒ බොජුනේ තැවරී ඇති – හැම රසයන් වැටහෙන්නේ!

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ කතාවෙන් කොතරම් අපූරුවට නුවණේ මහිමය පැහැදිලි වෙනවාද? අර භික්ෂූන් වහන්සේලා වාඩි වී සිටි ආසනයේදී ම නිකෙලෙස් බවට පත්වුණා නෙව. එතකොට ඒ හැකියාව ලැබුණේ තමන්ගේම නුවණ නිසයි. බුදුරජාණන් වහන්සේ ඇසුරු කළ සුළු කාලය තුළ උන්වහන්සේගේ මුවින් ගලා ගිය ඒ උතුම් ධර්මය සැණෙකින් අවබෝධ කරගත්තා. දිවට රස දැනෙනවා වගේ.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර