නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 22

වත්මන් තාරුණ්‍යයට ඇති අනතුරු

“අද්‍යතන තාරුණ්‍යයට මිහිරි අරුතක් සඳහා …” යොවුන් දහම් සක්මන වැඩසටහන පෙබරවාරි මස දහ නව වැනිදා, ඉරිදා, සවස දෙකේ සිට හය දක්වා, කොළඹ පිහිටි නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්වෙන්නේ මේ ප්‍රශ්න සඳහා තාරුණ්‍යයට සදහම් මාර්ගෝපදේශයක් ලබාදෙනු සඳහාය. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ මෙහෙයවන මෙම වැඩසටහන සඳහා තරුණ ඔබ සහභාගි වී සිය ජීවිතයේ දිශානතිය පිළිබඳ තීන්දුව සඳහා, ධර්ම මාර්ගය මාලිමාවක් කර ගන්නේ නම් මැනවි.

එදා ගැමුණු කුමාරයාට සේ අද තාරුණ්‍යයට ද අතපය දිග හැර ගත නොහැකි තරමට උපද්‍රව එල්ල වී තිබේ. විජාතික මතවාද එක් පසෙකින්ය. අනෙක් අතින් ධනවාදී ආර්ථිකය හරහා සිය වෙළෙඳපොළ ඉලක්ක සඳහා විලාසිතා වැනි දේ මාර්ගයෙන් තාරුණ්‍යය වෙත එලා තිබෙන දැලය. තව අතකින් රැකියාව, අධ්‍යාපනය ආදී ඉලක්ක ලෙස ලබා දී, එම ජීවන පරිච්ඡේදයේ අධ්‍යාත්මය වෙත හුස්ම ගැනීමට නොහැකි ලෙස ඇති බාධාය. අරක්කු, හෙරොයින්, සිගරට් හෝ වෙනයම් ආකාරයකින් තරුණ මනස මත් කරවා තම පැස පුරවා ගැනීම සඳහා සේරිවාණිජ පරපුරේ පිරිස්, එකී මෙකී නොකී උපක්‍රම තාරුණ්‍යය වෙත මුදාහරිමින් තිබේ. මෙකී අතපය හකුළා ගෙය තුළ සිටිමින් තව තවත් වැනසෙන ආකාරයට තාරුණ්‍ය “ජොලිය” නම් අන්ධකාරය තුළම සිරකර ගත් තරුණ පිරිසක් ද සිටිති. ආදර දින නම් කරමින් සංස්කෘතික සහ වෙළෙඳ ආක්‍රමණයක් සෑම පෙබරවාරි මාසයකම තාරුණ්‍යය වෙත මුදා හරිමින් තිබේ.

මේ උගුලෙන් තරුණයා මිදෙන්නේ කෙසේද…? පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ නිදාගත් ජාතිය අවදි කිරීම සඳහා සදහම් පැන් ඉසින්නේ එම මාතෘකාව ඔස්සේ ය.

තාරුණ්‍යය කියන්නේ මනුෂ්‍ය ජීවිතයේ එක් අවස්ථාවක්. ඒ මිස තරුණයා කියලා ආඩම්බර වීම පිණිස කිසිම දෙයක් නැහැ. හිතට ගැනීම පිණිස, උඩඟු වීම පිණිස කිසිම දෙයක් නැහැ. ඒක තේරෙන්නේ අපි තරුණ වයස පසු කරපු නිසා. තරුණ වයස තුළ ආනුභාවයක් තිබ්බා නම්, ඒ ආනුභාව සම්පන්න දෙයින් අලුත් ආනුභාවයක් උපදවන්න ඕනේ. සාමාන්‍යයෙන් ජයග්‍රාහී හෝ වැදගත් දෙයක ස්වභාවය වන්නේ, ඒ දෙයින් තව වැදගත් දෙයක් ඉපැද්දීම. තරුණයා කියන්නේ, නිකම් කායික සවියක් විතරක් නම්, නිකං උඩඟුකමක් විතරක් නම්, ඒකෙන් තියෙන්නේ මත් වීමක් විතරක් නම්, ඒක ලාමක දෙයක්. අද තරුණකම කියලා කියන්නේ ලාමක කමකට. තරුණයා කියලා විශේෂ කෙනෙක් නැහැ. මනුෂ්‍යයකු වයස අවුරුදු හතේ ඉඳලා තමන්ගේ ජීවිතයේ බුද්ධිමත්කම සපුරාලීම සඳහා සුදුසුකම් ලබනවා. තරුණයාගේ පමණක් නොවේ, දරුවාගේ වේවා, මහල්ලාගේ වේවා, ඒ වයස් මට්ටමේ මිනිසාගේ වටිනාකම තියෙන්නේ, ඔහුගේ ජීවිතයේ ගුණාත්මකභාවය මතයි.

දැන් කාලයක් පුරා මම තරුණයෝ සමඟ වැඩ කරනවා. වර්තමාන තරුණයා මම දකින්නේ ලාමක චරිතයක් විදිහට. මේ පිරිස ළඟ බලන්න, දුර බලන්න බැරි, හොඳ නරක පිළිබඳ වටිනාකම සැණෙකින් අමතක කරන, හුදු විනෝදයට මුල් තැන දෙන රටාවක් තමයි තියෙන්නේ. කාලයක් තිස්සේ මාධ්‍ය සහ ඔවුන්ගේ අවට තිබෙන රටාව විසින් මේ තත්ත්වයට තාරුණ්‍යය ඇද දමා තිබෙනවා. සමහර ගායක ගායිකාවන්, නළු නිළියන් වැනි පිරිස් විසින් තමාගේ වටිනාකම හීන වෙන පරිදි තරුණයා මෙහෙයවනවා. සමහර සංගීත සංදර්ශන වල “අසවල් දේ කියන්න…” කියලා කෑගහනවා. එතකොට විලි ලැජ්ජාවකින් තොරව තරුණ තරුණියෝ ඒ දේ කරනවා. මේ මෙහෙයවීමට අසුවෙන තරම් ලාමක තත්ත්වයකට අද තරුණයා පත්වෙලා තියෙනවා. ඒකද තාරුණ්‍යයේ වටිනාකම…?

අකුසල මුල් වර්ධනය වෙන දේවල් මිසක කුසල් මුල් වර්ධනය වෙන දේවල් අද තරුණයා අතින් කෙරෙන්නේ නැහැ. ඔවුන් යොමුකර තිබෙන්නේත් අකුසල් මුල් වර්ධනය වෙන දේ සඳහායි. වර්තමාන ලෝකය හසුරුවන්නේ ශිෂ්ට සම්පන්න සමාජයක් විසින් නෙමෙයිනේ… බටහිර ජාතීන් විසින්නේ… ඔවුන්ගේ එකම ඉලක්කය අධික ලෞකිකත්වයට බරවූ ලෝකයක් බිහිකිරීමයි. අධික ලෞකිකත්වයට නැඹුරු වීම තුළ ඒ රටවල තරුණ සමාජය දේශපාලනයට යන එක, ආගමික ජාතික වටිනාකම් සඳහා පෙළ ගැසෙන එක නැවතෙයි කියලා ඒ බටහිර ජාතීන් හිතනවා. ඔවුන්ගේ අවශ්‍යතාවය ඒක. අධික කාම සේවනයට, විකෘති කාමයට, විකෘති රාගයට මේ තරුණ පිරිස් පොළඹවනවා. එහෙම සිනමා පටයක් බිහිවුණොත් ඒකට සම්මාන රාශියක් හම්බුවෙනවා. මනුෂ්‍ය ගුණධර්ම තියෙන කලා නිර්මාණවලට සම්මාන නැහැ. අපේ රටේ ඇතිවෙච්ච කැරලිවලට සාහිත්‍යය රසය හේතු වුණා කියලා, සාහිත්‍යය විෂය මාලාවෙන් අයින් කළා. සාහිත්‍යය තුළින් තරුණයාට හිතන්න පුළුවන් වුණා. එතකොට කළේ සාහිත්‍ය අයින් කරන එක. මේ සමාජය තුළ තිබෙන බටහිරෙන් ආනයනය කරපු වැරදි දේශපාලන දර්ශනය නිසා මේක වුණා කියලා, තේරුම් ගත්තේ නැහැ. ඒ වෙනුවට කළේ, තරුණයා ලාමක බවට පත් කිරීම සඳහා සාහිත්‍ය ආදී තරුණ මනසට හිතන්න පුළුවන් දේ ඈත් කරපු එක. බටහිර නිර්මාණය වැරදි කියලා කවුරුත් කිව්වේ නැහැ. ඒ වෙනුවට අපි සාහිත්‍යය ලෙස පරිහරණය කරපු අපේ ජාතක කතා, සංදේශ කාව්‍ය ආදිය අපෙන් ඈත් කළා. සාහිත්‍ය නැති කරලා, අහිමි කළේ, එතෙක් දරුවන්ට සහ සමාජයට ලබා දුන්න බෞද්ධ පදනම අහෝසි කිරීමයි. එදා “පෙදෙන් බුදු සිරිත” කියන පද්‍යයෙන් කරපු සාහිත්‍යය තමයි අපෙන් ඈත් කළේ.

තරුණයා කල්පනා කළ යුතු ආකාරය පිළිබඳව ධර්මයේ සඳහන් කතාවක් මම කියන්නම්.

බුදුරජාණන් වහන්සේගේ කාලෙත් මේ විදිහටම සමාජ ප්‍රශ්න තිබුණා. මේ විදිහටම අසාධාරණකම් තිබුණා. මේ විදිහටම අකටයුතුකම් තිබුණා. යහපත් මනුෂ්‍යයන් නොයෙකුත් අකරතැබ්බවලට භාජන වීම් මේ විදිහටම ඒ කාලෙත් තිබුණා. නමුත් වෙනසක් තියෙනවා. ඒ කාලේ අයට කරදරයක් වුණහම ඒ පිරිස ”මේක තමයි සසරේ ස්වභාවය.. මේ සසරෙන් තමයි එතෙර විය යුත්තේ..” කියලා ප්‍රඥා සම්පන්නව ධර්මයට යොමු වුණා. වර්තමානයේ එහෙම එකක් වුණොත් “ඇයි අපි මේච්චර හොඳට ඉන්දැද්දී අපටම මෙහෙම වෙන්නේ?” කියලා ධර්මයටත් බණිනවා. ධර්මයේ හැසිරෙන නිසා බාහිර ලෝකයෙන් සාධාරණයක් විය යුතුයි වගේ ගනුදෙනුකාර සංකල්ප ඇති කර ගන්නවා. මේ ගනුදෙනු කල්පනා නිසයි, සාමාජයේ අර්බුද හටගන්නේ. ඒ නිසාම ධාර්මිකව ජීවත් වෙන දෙමාපියන්ට දරුවන්ගෙන් සැලකිලි ලැබෙන්නේ නෑ. එතකොට දෙමාපියන් “මෙච්චර හොඳින් ජීවත් වෙලත් ඇයි අපට සලකන්නේ නැත්තේ?” කියලා කල්පනා කරනවා. ඒ දෙමාපියන්ට තියෙන්නේ සැලකිලි ලැබීමේ අපේක්ෂාව මිසක් මේ සසර තේරුම් ගැනීම නෙවෙයි.

නමුත් ප්‍රඥාවන්ත දෙමව්පියන් කල්පනා කරන්නේ එහෙම නෙවෙයි. ඒ අය කල්පනා කරන්නේ “මම සංසාරයේ මේ වගේ කොයිතරම් දරුවෝ නිසා විඳවලා ඇද්ද? දරුවෝ නිසා කොච්චර පීඩාවට පත්වෙවී ඉන්න ඇද්ද?” කියලයි. සාමාන්‍ය ස්වභාවය තමයි, දරුවෝ ආදරය කළොත් දරුවන්ට බැඳෙනවා. නොසැලකුවොත් සැලකිල්ල බලාපොරොත්තුවෙන් ඒ දරුවෝ දිහා බලාගෙන ඉන්නවා. නමුත් ඒ දෙගොල්ලෝම ජීවිතය ගැන තේරුම් ගන්නේ නෑ. ජීවිතය තේරුම් නොගන්නා තාක් ධර්මය කරා යන්නෙත් නෑ. අන්තිමට දරුවන්ගෙන් සැලකිලි අපේක්ෂා කරගෙන ඉඳලා ඒවා නොලැබෙන කොට දරුවන්ටත් සාප කරලා මැරිලා යනවා. නමුත් ප්‍රඥාවන්ත මනුස්සයා “මේක තමයි සසරේ ස්වභාවය” කියලා හිතලා ඉවසනවා.

සසරේ ස්වභාවය තේරුම් ගන්නත්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ තුළ පින ගැන වූ පෘථුල අවබෝධයෙන් ස්වල්පයක් ලබාගන්නත් මෙන්න මේ කතා ප්‍රවෘත්තිය අපට හරි උපකාරයි. දවසක් බුදුරජාණන් වහන්සේ පිරිසකට ධර්ම දේශනාවක් කළා. එතැන එක්තරා තරුණයෙකුත් ධර්මය අහගෙන හිටියා. ඒ ධර්මයෙන් කියෑවුණේ දානය ගැනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, සමහර අය තමන්ගේ ධනය වියදම් කරලා දානේ දෙනවා. හැබැයි, ඒකට පිරිස සහභාගි කරවා ගන්නේ නෑ. තමන් තනිවම කරනවා. එහෙම අයට උපනූපන් ආත්මවලදී ධනය ලැබෙනවා. හැබැයි පිරිසක් නෑ. තමන්ට පිනක් දහමක් කර ගැනීමට තමන් එක්ක එකතු වුණු පිරිසක් නෑ. අදත් එහෙම අය ඉන්නවා. හොඳට සල්ලි තියෙනවා. නමුත් එයාට කාත් කවුරුත් නෑ. ඒගොල්ලෝ තනියම පිංකම් කරපු අය.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, තව කෙනෙක් ඉන්නවා. එයා තමන් දානේ දෙන්නේ නෑ. නමුත් අනිත් අයව පින් දහම්වලට පොළඹවනවා. එයා අනිත් අයත් එක්ක පින්කම් කරන්න යනවා. නමුත් තමන් වියදම් කරන්නෙත් නෑ, තමන් කැපවෙන්නෙත් නෑ, අනිත් අයව පොළඹවනවා. ඒ නිසා ඒ අයට නොදීපු නිසා උපනූපන් ආත්මවල ලැබෙන්නේ නෑ. හැබැයි, පිරිසක් සම්බන්ධ කරගත් නිසා ඕනතරම් පිරිස ඉන්නවා. එහෙම අයත් අද ඉන්නවා.

සමහර දුප්පත් අය ඉන්නවා, ඒ අයට ධන සම්පත් වලින් මොකුත් කර කියා ගන්න අමාරුයි. නැති බැරිකම තියෙනවා. හැබැයි හදිස්සියකට උදව් කරන්න ඕනතරම් යාළුවෝ, හිතවතුන් ඉන්නවා. ඒකේ තේරුම තමයි, එයා පිරිසක් එක්ක එකතුවෙලා පින් කරලා තියෙනවා. හැබැයි, තමන් පුද්ගලිකව මැදිහත් වෙලා නෑ.

තව කෙනෙක් ඉන්නවා. තමන් හොඳට වියදම් කරලා දන් දෙනවා. ඒ වගේම අනිත් පිරිසත් සම්බන්ධ කර ගන්නවා. අනිත් පිරිසත් සම්බන්ධ කරගන්න නිසා එයාට උපනූපන් ආත්මවල ධන සම්පතුත් තියෙනවා. පරිවාර සම්පතුත් තියෙනවා.

තව කෙනෙක් ඉන්නවා, එයා තමන් දානේ දෙන්නෙත් නෑ, දෙන්න හදන කෙනෙකුට දෙන්න දෙන්නෙත් නෑ. ඒ නිසා උපනූපන් ආත්මවල තමනුත් නැතිබැරි වෙලා අමාරුවෙන් ජීවත් වෙනවා. තමන් වෙනුවෙන් දුක සැප බෙදා ගන්නවත් කවුරුත් නෑ. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ තමන් කරන දේට අනුව ප්‍රතිවිපාක ලැබෙන ස්වභාවය විස්තර කරද්දී මෙතැන අර තරුණයා හිටියා. මේ තරුණයාට තේරුණේ ඒක එයාටම කිව්වා වගෙයි.

ඊට පස්සේ එයා කල්පනා කරනවා, “මම දුප්පත් වෙලා උපන්නේ දන් දීපු නැති නිසයි. මට එච්චර පිරිසකුත් නෑ. ඒ නිසා මම මේ ජීවිතයේදීවත් පුළුවන් තරම් දානමානාදී උපකරණ ලෑස්ති කරගෙන, අනිත් පිරිසත් සම්බන්ධ කරගෙන දානයක් පූජා කරගන්න ඕන.” ඉතින් මේ තරුණයා මේ විදිහට කල්පනා කරලා භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහින් ”භාග්‍යවත් බුදුරජාණන් වහන්ස, මම භික්ෂු සංඝයා ප්‍රධාන භාග්‍යවතුන් වහන්සේට දානයක් පූජා කරන්න කැමතියි” කියලා දානයට ආරාධනා කළා.

“පින්වත, ඔබට පුළුවන්ද මේක කරන්න?”

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මට පුළුවනි. මම මේකට පිරිස සහභාගි කර ගන්නවා.”

ඉතින් මේ තරුණයා ගෙයක් ගානේ ගියා. ගිහිල්ලා “අනේ අම්මේ, අප්පච්චි, අයියේ, අක්කේ, නංගි, මල්ලී, මම දානයක් පූජා කරන්න ලෑස්ති පිට ඉන්නේ. ඔයගොල්ලොත් මේ දානයට සහභාගී වෙලා මේ දානයේ කොටස්කාරයෝ වෙන්න” කියලා කිව්වා.

බොහෝ දෙනෙක් මේකට සතුටු වුණා. සතුටු වෙලා “හොඳයි.. මෙන්න මගේ ගානේ හාල්, මෙන්න පොල්, මෙන්න එළවළු” කියලා මේ දානයේ කොටස්කාරයෝ වුණා. මෙයා මේ විදිහට දන්න හැමෝම සහභාගි කරගන්න හිතපු නිසා ඒ ප්‍රදේශයේ තිබුණ ධනවත් සිටුවරයෙකුගේ වෙළෙඳ සැළකටත් ගියා. ගිහින් “සිටුතුමනි, මම භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලා පන්සිය නමකට දානයක් පූජා කරන්න ලෑස්ති කරනවා. ඒ නිසා ඔබතුමාත් මේකට සහභාගි වෙන්න” කියලා කියා සිටියා. නමුත් මේ දුප්පත් තරුණයා එහෙම කිව්වහම මේ සිටුවරයාට ඒක හිතට ඇල්ලුවේ නෑ. හරිම අහංකාර සමහර මිනිස්සු ඉන්නවානේ.

“තමුසෙත් දානයක් දෙන්නද යන්නේ?”

“එහෙමයි සිටුතුමනි, මාත් එක්ක මේ පිරිස සම්බන්ධ වෙනවා. මම මේ ලස්සන දානයක් සංවිධානය කරමිනුයි ඉන්නේ.” සමහර විට සිටුතුමාට මේකට ඉරිසියාවක් ඇතිවෙන්න ඇති. “මගෙනුත් උදව්වක් නේද?” කියලා ඇහුවා. “එහෙමයි” කිව්වා. ඉතින් සිටුතුමා අතේ ඇඟිලි පහෙන් ඇඟිලි තුනක් එකතු කළා. මාපට ඇඟිල්ලයි, අනිත් ඇඟිලි දෙකකුයි එකතු කරලා හාල් ටිකක් ගත්තා, සීනි ටිකක් ගත්තා. මේ වගේ ඇඟිලි තුනකින් පොඞ්ඩක් අරගෙන “ඉඳා, මං ගානේ එහෙනම් මේක” කියලා දුන්නා.

එතකොට අපට පැහැදිලිව තේරෙනවා, ඒක අපහාසයට කරපු වැඩක්. හොඳ වැඩක් කරන්න ගියාම ඉතින් අපහාස එනවනේ. ඒ කාලෙත් එහෙමයි. “ඉඳා එහෙනම් මගේ ගානේ ගණින්..” කියලා හාල් ටිකක්, ලුණු ටිකක්, සීනි ටිකක් දුන්නා. ඉතින් මේ තරුණයා ඒක ඉතා ගරුසරුව පිළිගත්තා.

පින්වත්නි, චුට්ටක් හිතලා බලන්න, පිනක් කරන්න ලෑස්තිවෙලා ඉන්දැද්දී කෙනෙකුගෙන් ඒ වගේ ප්‍රතිචාරයක් ලැබුණොත් අපට කොච්චර කේන්ති යාවිද? අපට කොච්චර මාන්නයක් ඒවිද? “තමුසෙගේ ඔය ටික තියාගන්නවා. තමුසේ දැනගන්නවා.. තමුසේ ඔය කාලා බීලා ඉන්නේ සංසාරේ කරපු පිනක් නිසයි. ඕක ඉවර වුණාට පස්සේ තමුසෙට හුළං තමයි” කියලා අපට නම් කියවෙනවානේ. ඔන්න වෙනස.

මේකෙන් පේන දේ තමයි, ධර්මයේ හැසිරෙන කෙනා කල්පනා කරන විදිහයි, ධර්මයේ හැසිරෙන්නේ නැති, ධර්මය සිහි නොකරන කෙනා කල්පනා කරන විදිහයි විධි දෙකක්. ඒක රටා දෙකක්. ධර්මයේ හැසිරෙන කෙනා කල්පනා කරන්නේ ධර්මය ම මෙනෙහි කරමින්. ධර්මයේ හැසිරෙන්නේ නැති කෙනාට මෙනෙහි වෙන්න ධර්මයක් නෑනේ. එයාට තියෙන්නේ, එයාගේ සිතුවිලි රටාවට අනුව පුරුදු වුණු දේ කරගෙන යන්න විතරයි. ඉතින් අර ධර්මයේ හැසිරෙන කෙනා කලබල වුණේ නෑ. එයා හිතුවේ “අනේ මෙයා චුට්ටක් හරි දීලා භාග්‍යවතුන් වහන්සේගේ දානයට සහභාගී වුණානේ” කියලයි. එහෙම හිතලා බොහෝම ගරුසරු ඇතුව ඒක අරගෙන ගියා.

සාමාන්‍යයෙන් ධර්මය පුරුදු කරපු නැති කෙනෙක් නම් කරන්නේ එක්කෝ එතැනදී ම දමලා ගහනවා. නැත්නම් සිටුතුමාට තියෙන බයට සද්ද නැතුව අරන් ගිහින් “මම මේ පොඞ්ඩ දානයට දාන්නේ නෑ” කියලා මගදී ම විසි කරගෙන යනවා. එබඳු ලෝකයක මේ කෙනා මේ විදිහට කළේ ධර්මය මෙනෙහි කිරීමෙන් ම යි.

මේ තරුණයා ඒක අරන් ගිහිල්ලා පැත්තකින් තිබ්බා. දැන් ඔන්න ලිප් බැඳලා දානය හදනවා. අර සිටුවරයා සේවකයෙකුට කතා කරලා “මම අර කොලුවට මෙන්න මේ විදිහට හාල්, සීනි ආදිය දුන්නා. ඒ ටික දානයට සම්බන්ධ කරනවාද, මොකද කරන්නේ කියලා ගිහිල්ලා බලාපන්..” කියලා කිව්වා. සේවකයා ගිහින් බලද්දී අර තරුණයා බොහෝම ගරුසරු ඇතුව “මේ අර සිටුතුමා දීපු දේවල්..” කියලා ඒකත් ගත්තා. බලන්න පින්වත්නි, ඕකට තමයි දියුණුව කියලා කියන්නේ. ඕකට තමයි හැබෑම දියුණුව කියලා කියන්නේ. බලන්න සමාජයෙන් බැට කකා තමන්ගේ පාඩුවේ පින රැස් කරනවා.

අපට පැහැදිලිව පේනවා, සිටුවරයා ඒ වැඬේ කළේ ඊර්ෂ්‍යාවෙන්, එහෙම නැත්නම් අපහාස කරන්න ම හිතාගෙන. එහෙම කරලා කඬේට එන එන මිනිස්සුන්ටත් “මේං බලාපන් මේ ඇඟිලි තුන එකතු කරපුවාම බළලාගේ අඩිය වගේ නේද? මම මෙන්න මේ විදිහටයි අර පුද්ගලයාගේ දානයට සම්බන්ධ වුණේ” කියලා ඇඟිලි තුන එකතු කරලා පෙන්නනවා. ඉතින් මිනිස්සුත් හිනාවුණා. ඒත් එක්කම මෙයාට (බිළාල පාදක සෙට්ඨි) “බළල් කකුලේ සිටුවරයා” කියලා නමකුත් පටබැඳුණා. දැන් ඒක දීලා අත්හරින්න එපායෑ. මේ පුද්ගලයා අර අහිංසකව පින්දහම් කරන කෙනාගේ පස්සෙන් පන්නනවා.

ඔන්න දැන් “බොහොම ගරුසරු ඇතුව ඒවත් දානයට සම්බන්ධ කරගත්තා. ඒ නිසා ඒකේ ප්‍රශ්නයක් නෑ” කියලා ඔත්තුව ආවා. සිටුතුමා එතැනින් නැවතුණේ නෑ. ඔන්න දානය පූජා කරන දවස ආවා. සිටුතුමා කල්පනා කළා “දැන් මේකා දානය පූජා කරලා අසවල් අසවල් අය මෙහෙම දානය දුන්නා. අර සිටුවරයා මෙහෙම දුන්නා.. කියලා පිරිස මැද්දේ කියයි. එහෙම කිව්වොත් මම මේ පුද්ගලයා මරණවා” කියලා පිහියත් ඉණේ ගහගෙන ගියා.

බලන්න, මේ කිසිම දෙයක් දන්නේ නැති අහිංසකයෙක් නිකම් සමාජයෙන් බැට කන හැටි. අර තරුණයා එයාගේ පාඩුවේ වැඩ කටයුතු ටික කරගෙන ගියා. ඔන්න දානය පූජා කරගත්තා. මේ තරුණයා දානය පූජා කරලා අවසන් වෙලා භාග්‍යවතුන් වහන්සේට කියනවා “ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, මම පිරිසක් පිරිවරා ගෙනයි මේ දානය පූජා කළේ. මේ දානයේදී බොහෝ දාන උපකරණ පූජා කළ පිරිස හිටියා. ස්වල්පය බැගින් පූජා කළ පිරිසත් හිටියා. භාග්‍යවතුන් වහන්ස, ඒ ස්වල්පයක් දුන්න අයටයි, බොහෝ දුන්න අයටයි සියලු දෙනාට මේ දානයෙහි විපාක සම සේ ලැබේවා” කියලා.

මේ තරුණයාගේ චිත්ත දියුණුව කොතරම් ආශ්චර්යයක් ද කියන්නේ, පිහියත් ඉණේ ගහගෙන මේක අහගෙන සිටි සිටුවරයා මේ සිද්ධියත් එක්ක සම්පූර්ණයෙන් ම වෙනස් වුණා. සිටුවරයා මේ තරුණයා ඉස්සරහා “අනේ පුතේ මට සමාවෙයන්.” කියලා වැඳ වැටුණා.

“සිටුතුමනි, ඔබතුමා මේ දානයට මට උපකාර කරපු කෙනෙක්නේ. ඔබතුමා මට වරදක් කළේ නෑනේ?”

“නෑ පුතේ, මම මෙහෙම ඇඟිලි තුනෙන් අල්ලලා දුන්නේ මේක උපහාසයට ලක් කරන්නයි. මගෙන් වුණු වරදට සමාවෙන්න.”

බුදුරජාණන් වහන්සේට මේ කාරණාව කිව්වා. බුදුරජාණන් වහන්සේ “සිටුතුමනි, ඇඟිලි තුනෙන් චුට්ටක් හරි දුන්නේ භාග්‍යවතුන් වහන්සේ උදෙසායි. ඇඟිලි තුනෙන් චුට්ටක් හරි දුන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සංඝයා උදෙසායි. ඒ නිසා දුන්නු දේ ටිකයි කියලා කිසියම්ම ආකාරයකට ඒකේ අඩුපාඩුවක් හිතන්න එපා” කියලා ඒ මොහොතේ මෙන්න මේ ලස්සන ගාථා රත්නය වදාළා.

පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ මේ ගාථාව දේශනා කළේ බිළාල පාදක සිටුවරයාට.

“මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස – න මං තං ආගමිස්සති
උදබින්දු නිපාතේන – උදකුම්භෝ’පි පූරතී
පූරති ධීරෝ පුඤ්ඤස්ස – ථෝකථෝකම්පි ආචිනං”

“මේ පින පුංචි දෙයක්. මේ පින තමන්ට ආපහු ලැබෙන්නේ නෑ..” කියලා පිනට අවමන් කරන්න එපා. බින්දුව බින්දුව වතුර වැටීමෙන් වතුර කළය පවා පිරීයයි. ඒ වගේ ප්‍රඥාවන්ත කෙනාගේ ජීවිතය ටික ටික හරි රැස්කරන පිනෙන් පිරෙනවා.”

බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අර සිටුවරයාට කිව්වේ ප්‍රඥාවන්ත කෙනෙක් විදිහට කල්පනා කරන්න කියලයි. ඒ බණ පදය ඉතාම සාර්ථක වුණා. මේ සිටුවරයා සෝවාන් ඵලයට පත්වුණා. එතකොට අපට පේනවා, ධර්මය අවබෝධ කරන්න වාසනා මහිමය තියෙන අය පවා තමන් තුළ හටගන්නා යම් යම් දෘෂ්ටි ආකල්ප නිසා විශාල කරදරවලට පත්වෙන ආකාරය.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර