නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 29

ධජග්ග පිරිතෙන් ඔබේ දරුවාට නොවරදින සෙත් ශාන්තියක්

තවමත් අපේ සමාජය තුළ යක්ෂ, ප්‍රේත ආදී අමනුෂ්‍ය බලවේග පිළිබඳව දැනුවත්කමේ අඩුපාඩු තිබෙන බව පෙනේ. මෙම අමනුෂ්‍ය බලවේග සමාජයට හානි කරන්නේ කෙසේද…? ඒවායෙන් මිනිසාට ගැලවුමක් තිබේද…? මෙම ප්‍රශ්න මුල් කරගනිමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමඟ දිවයින ඉරිදා සංග්‍රහය කරන ලද සාකච්ඡාවකි මේ.

ස්වාමීන් වහන්ස, තවමත් අපේ සමාජයේ අමනුෂ්‍ය බියක් පවතිනවා. සමහර පවුල්, නොකා නොබී, තමන්ට ලැබෙන සියලු මිල මුදල් නැති නාස්ති කරමින් මේ අමනුෂ්‍ය බිය සඳහා සිය ජීවිතය ම කැප කරපු ආකාරය අප අසා තිබෙනවා. ස්වාමීන් වහන්ස, මේ අමනුෂ්‍ය බිය පිළිබඳව අපට පැහැදිලි කිරීමක් සිදුකර දෙනවාද…?

මේ ප්‍රතිපදාවේ දුර්වලකම… තමන්ගේ ප්‍රතිපදාවේ තිබෙන දුර්වලකම නිසා මැරිච්ච, මැරිච්ච කෙනා ගිහිල්ලා නීච ආත්මවල උපදිනවා. මෙය දැන් එතරම් ප්‍රකට නැහැ. මීට කාලයකට පෙර මේ අමනුෂ්‍ය බිය රටේ ප්‍රකටව තිබුණා. නමුත් ඒවා ඉස්මතු වෙන ආකාරයට මාධ්‍ය ප්‍රකටව තිබුණේ නැහැ. මාධ්‍යයෙන් ඒවාට, ඒ කාලයේ තැනක් තිබුණේ නැහැ. දැන් මාධ්‍ය මේ ගැන බය නැතුව කතා කරනවා. ඒ නිසා මිනිස්සුත් මේ ගැන කතා කරනවා. අපේ කුඩා කාලයට වඩා දැන් සමාජය තුළ අමනුෂ්‍ය බිය අඩුයි, කියන එකයි මගේ කල්පනාව… අපි ජීවත් වුණේ මහා පිටිසරත් නොවන මහා නගරයේත් නොවන පළාතකනේ… අපි පොඩි කාලයේ ඉස්කෝලේ යනකොට, කෙම්මුරදාට පහුවදා තුන් මං හන්දියේ, පෙරේත තටුවක් අනිවාර්යයෙන් ම තියෙනවා. හැමදාම වගේ රෑට, තොවිල් පවිල් කරන බෙර සද්ද ඇහෙනවා. මගේ අදහස නම් මිනිස්සුන්ගේ මේ ගැන තියෙන විශ්වාසය අඩුයි… නමුත් අමනුෂ්‍ය බලයේ අඩුවක් වෙලා නැහැ, කියන එකයි.

මේ අමනුෂ්‍ය බලයෙන් වන හානි සහ එය නැති කරගන්නා ආකාරය පිළිබඳව ඔබ වහන්සේ අපට පැහැදිලි කිරීමක් සිදු කරනවාද…?

ආටානාටිය සූත්‍රය, ධජග්ග පිරිත, මේ හානි සඳහා ධර්මානුකූලව අපට තිබෙන හොඳම පිළියමක්. මම මෙතැනදී විශේෂයෙන්ම ධජග්ග පිරිත ගැන කියන්න කැමැතියි… ඒක කවුරුත් කටපාඩම් කර ගත යුත්තක්… ධජග්ග පිරිත මහා ආනුභාවයක් සහිත පිරිතක්. දීඝවාපි මහා සෑයේ පිළිසකර කටයුතු කරන එක්තරා අවස්ථාවක භික්ෂූන් වහන්සේ නමක්, උඩ ඉඳලා පහළට වැටිලා තිබෙනවා. උන්වහන්සේ වැටෙනකොට ම සිහිකරලා තියෙන්නේ ධජග්ග සූත්‍රය. කිසිම උපද්‍රවයකින් තොරව උන්වහන්සේ එයින් බේරිලා තිබෙන බව අටුවා පොත්වල සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් මේ ගැන තියෙන එක මතයක් තමයි, සිංහල බෞද්ධ අපිට විතර ද, මේ ප්‍රශ්න තියෙන්නේ කියලා. අනිත් අයට මේ විදිහට නෙමෙයි, මීට වඩා දරුණුවට මේවා තියෙනවා. ඒ අය මේ ගැන තමන්ගේ ආගමික ඇදහිලිවලට අනුකූලව තදින් කටයුතු කරනවා.

ධජග්ග පිරිතේ ආනුභාවය පිළිබඳව මම එක්තරා අත්දැකීමක් කියන්නම්. ලස්සන පුංචි පුතෙක් හිටියා. ඒ දෙමවුපියෝ මේ දරුවාව ගමේ එක්කගෙන ගියා. ගමේ එක්කං ගිය ගමන් ඒ දරුවාට සරම්ප බිබිලි වගේ ජාතියක් මුළු ඇඟේම ඇතිවෙලා. මේ තාත්තා කුමක් හෝ කාරණයකට මට කතා කළා. එතකොට දුරකථනයෙන් මට ඇහුණා මේ දරුවා අඬන හඬ. මම ඒ වෙලාවේ ඇහැව්වා “මොකද ඔය, පුතා අඬන්නේ කියලා…”

“අනේ ස්වාමීන් වහන්ස, මේ දරුවාගේ ඇඟේ හැම තැන ම සරම්ප බිබිලි වගේ බිබිලි වගයක් ඇවිල්ලා…” කියලා තාත්තා මට කිව්වා.

මම ඔය බිබිලි ගැන අහලා තිබ්බා ඇස්වහ බිබිලි කියලා. ඒක මතක් වෙලා මම කිව්වා “ඔය ඇස්වහ බිබිලි, ධජග්ග පිරිත හත් පාරක් විතර පැන් වීදුරුවකට කියලා බබාව නාවන්න කියලා.”
ඊට පස්සේ මට කතාකරලා පිං දුන්නා. “අනේ ස්වාමීන් වහන්ස, දරුවාට සනීප වුණා…” කිව්වා.

කුඩා දරුවන් ඉන්න ගෙවල්වලට මේ ධජග්ග පිරිත හරි උපකාරයි. ඇස්වහ කටවහ දෝෂ දුරු කරන්න හොඳම විසඳුම තමයි ධජග්ග සූත්‍රය.

තව උදාහරණයක් මම කියන්නම්… මහන්සිවෙලා සමාජ සේවා වැඩ කරන, අම්ම කෙනෙක් හිටියා. මේ අම්මට එකපාරට මොකුත් කරගන්න බැරිවෙලා, ලෙඩ වෙලා, එකපාරටම අසනීප වුණා. ඇඟ හම යන්න පටන් ගත්තා. බෙහෙත් කළාට ඒකේ ප්‍රතිඵලයක් නැහැ. මම ඒ අම්මටත් ධජග්ග සූත්‍රය ගැන කිව්වා. හොඳට වන්දනා මාන කරලා, ධජග්ග පිරිත හත්පාරක් පැන් වීදුරුවකට කියලා, ඒක පානය කරලා, ඒ පැන් භාජනයකට දාලා නාන්න කියලා මම කිව්වා. ඒ අම්මා සනීප වුණා.

දෙවියන් සහ අසුරයන් අතර යුද්ධයක් හට ගත්තා. මේ යුද්ධයට ගිහිල්ලා, බයක් තැතිගැන්මක් ඇතිවුණොත්, මගේ ධජයේ මුදුන සිහිකරන්න කියලා සක් දෙවිඳු දෙවිවරුන්ට කිව්වා. මගේ ධජ මුදුන සිහි කරන්න බැරිවුණොත්, ප්‍රජාපතී දෙවියන්ගේ ධජ මුදුන සිහි කරන්න. ඒක සිහිකරන්න බැරි වුණොත් වරුණ දෙවියන්ගේ ධජ මුදුන සිහිකරන්න. ඒක සිහිකරන්න බැරි වුණොත් ඊසාන දෙවියන්ගේ ධජ අග්‍රය සිහි කරන්න කියලා ශක්‍ර දෙවියෝ කිව්වා. ඊට පස්සේ බුදු රජාණන්වහන්සේ වදාරනවා. “මහණෙනි, ශක්‍ර දෙවියෝ මෙහෙම කිව්වට, ශක්‍ර දෙවියන්ගේ ධජය වේවා, ප්‍රජාපතී දෙවියන්ගේ ධජය වේවා, ඊසාන දෙවියන්ගේ ධජ අග්‍රය වේවා, වරුණ දෙවියන්ගේ ධජ අග්‍රය වේවා, සිහි කළවිට බය පහවෙන්නත් පුළුවනි, නොවෙන්නත් පුළුවනි. ඊට හේතුව සක් දෙවිඳු රාග, ද්වේශ, මෝහ ප්‍රහානය නොකළ කෙනෙක්. බිය තැති ගැනීම් ඇති වුණාට පස්සේ පලායන කෙනෙක්.

“මහණෙනි, ආරණ්‍යයකට හෝ රුක් මුලකට හෝ හිස් තැනකට ගිය ඔබටත් බියක් තැති ගැනීමක් ආවොතින් තථාගතයන් වහන්සේව සිහි කරන්න, එවිට ඔබේ තැති ගැනීම් බිය සංසිඳී යයි” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තථාගතයන් වහන්සේ සිහිකරන්න බැරි වුණොත් ධර්මය සිහි කරන්න, එහෙමත් බැරි වුණොත් ශ්‍රාවක සංඝයා සිහි කරන්න කියලා උන් වහන්සේ දේශනා කරනවා. එතකොට ඔබේ බිය තැතිගැනීම් නැතිවෙයි කියලා.

මේ ධජග්ග සූත්‍රය සිහි කරලා දිනපතා ගෙදරක සජ්ඣායනා කරනවා නම්, ඒ බලගතු භාවයෙන් ප්‍රයෝජන ලැබේවි. ගෙදරදොර දොස් දුරුවෙයි. මේ වගේ වටිනා සූත්‍ර අපි භාවිතයට අරගෙන නැහැ. ආටානාටිය සූත්‍රය භාවිතයට අරගෙන නැහැ. ඉස්සර ආටානාටිය සූත්‍රය ගෙදර කිව්වේ නැහැ. දැන් බය නැතුව කියනවා.

ධජග්ග සූත්‍රයේ සිංහල තේරුම

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනී” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මහණෙනි, පෙර වූ දෙයක් කියමි. දෙවියන් හා අසුරයන් අතර මහත්වූ යුද්ධයක් විය. මහණෙනි, එවිට ශක්‍රදේවේන්ද්‍ර තෙම තව්තිසා වැසි දෙවියන්ට මෙසේ කථාකර කීවේය. ඉදින් පින්වතුනි, යුද්ධයට පැමිණි දෙවියන්ට බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ උපදින්නේ නම්, එකල මාගේ ම කොඩිය බලව්. මාගේ කොඩිය බලන්නා වූ තොපට වනාහි යම් බියක් හෝ තැතිගැන්මක් හෝ ලොමුදැහැගැන්මක් හෝ වන්නේ නම් එය නැති වන්නේය.

ඉදින් මාගේ කොඩිය නොබලව් නම්, ප්‍රජාපතී දේව රාජයාගේ කොඩිය බලව්. ප්‍රජාපතී දෙව් රජුගේ කොඩිය බලන්නා වූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැතිවන්නේය.

ඉදින් ප්‍රජාපතී දෙව් රජුගේ කොඩිය නොබලන්නාහු නම්, වරුණ දෙව් රජහුගේ කොඩිය බලව්. වරුණ දෙව් රජහුගේ කොඩිය බලන්නා වූ තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ නම් එය නැති වන්නේය.

ඉදින් වරුණ දෙව් රජහුගේ කොඩිය නොබලව් නම්, අනතුරුව ඊසාන දෙව් රජහුගේ කොඩිය බලව්. ඊසාන දෙව් රජහුගේ කොඩිය බලන තොපට වූකලී යම් බියක් හෝ තැතිගැනුමක් හෝ ලොමුදැහැගැනුමක් හෝ වන්නේ ද, එය නැතිවන්නේය.‘

මහණෙනි, ශක්‍ර දේවේන්ද්‍රයාගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ප්‍රජාපතී දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ වරුණ දෙව් රජහුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ ඊසාන දෙව් රජුගේ ඒ කොඩිය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේ ද, ඒ බිය ආදිය දුරුවන්නේ හෝ වෙයි, දුරු නොවන්නේ හෝ වෙයි. එයට කරුණු කිම? මහණෙනි, ශක්‍රදේවේන්ද්‍ර තෙම වනාහි පහ නොවූ රාග ඇත්තේය. පහ නොවූ ද්වේෂ ඇත්තේය, පහ නොවූ මෝහ ඇත්තේය. (හෙතෙම) බිය වන ස්වභාව ඇත්තෙකි. තැතිගන්නා ස්වභාව ඇත්තෙකි, පලායන දුවන ස්වභාව ඇත්තෙකි (එහෙයිනි.)

‘මහණෙනි, මම ද තොපට මෙසේ කියමි. මහණෙනි, ඉදින් වනයට ගියාවූ හෝ මිනිසුන් නොගැවසෙන තැනට ගියාවූ හෝ තොපට බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ උපදින්නේ නම් ඒ වේලායෙහි මා ම (මෙසේ) සිහිකරව්. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන් අරහත් වන සේක, සම්මා සම්බුද්ධ වන සේක, විජ්ජාචරණසම්පන්න වන සේක, සුගත වන සේක, ලෝකවිදූ වන සේක, අනුත්තර පුරිසධම්මසාරථි වන සේක, දෙවි මිනිසුන්ට ශාස්තෘ වන සේක, බුද්ධ වන සේක, භාග්‍යවත් වන සේක (කියායි.) මහණෙනි, (මෙසේ) මා සිහි කරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුදැහැගැනුමෙක් හෝ වන්නේ ද, එය නැතිවන්නේය.‘

ඉදින් තොපි මා සිහි නොකරන්නහු නම්, අනතුරුව ධර්මය (මෙසේ) සිහිකරව්. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය යහපත් කොට දේශනා කරන ලද්දේය. (ඒ ධර්මය) තමා විසින් ම දැක්ක යුත්තේය, කල් නොයවා විපාක දෙන්නේය, ‘එව බලව‘ යි කීමට සුදුසුය, (භාවනා වශයෙන්) තම සිත්හි පැමිණවීමට (දරා ගැනීමට) සුදුසුය, නුවණැත්තන් විසින් තම තමා කෙරෙහිලා දැක්ක යුතුය. (කියායි,) මහණෙනි ඉදින් ධර්මය සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැන්මෙක් හෝ ලොමුදැහැගැන්මෙක් හෝ වන්නේ ද, එය නැතිවන්නේය.‘

ඉදින් තෙපි ධර්මය සිහි නොකරව් නම්, සංඝයා (මෙසේ) සිහි කරව්. භගවත්හුගේ ශ්‍රාවක සංඝතෙම මනා පිළිවෙත්හි පිළිපන්නේය. භාග්‍යවත්හුගේ ශ්‍රාවක සංඝ තෙම ඍජු පිළිවෙත්හි පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම සත්‍ය මාර්ගයෙහි පිළිපන්නේය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ තෙම සුදුසු පිළිවෙතෙහි පිළිපන්නේය. යම් මේ සතර පුරිසයුගල කෙනෙක් ඇද්ද, පුරිස පුද්ගලයෝ අට දෙනෙක් ඇද්ද, භගවත්හුගේ මේ ශ්‍රාවක සංඝයා ආහුනෙය්‍ය ම ය (කැඳවා සිවුපසය දීමට සුදුසුය, පාහුනෙය්‍ය (අමුතු පඬුරු පිළිගැන්වීමට සුදුසුය), දක්ඛිණෙය්‍ය (පරලොව අදහා දන් දෙන්නට සුදුසුය), අඤ්ජලිකරණීය ය (දොහොත් මුදුන් දී නමස්කාරයට සුදුසුය), සියලු ලෝකයාගේ ඉතා උතුම් පින් කෙතය ය (කියාය.) මහණෙනි, (මෙසේ) සංඝයා සිහිකරන තොපට යම් බියෙක් හෝ තැතිගැනුමෙක් හෝ ලොමුඩැහැගැනුමෙක් හෝ වන්නේ ද, එය නැති වන්නේය.

එයට හේතු කුමක්ද? මහණෙනි, තථාගත වූ, අර්හත් වූ, සම්මා සම්බුද්ධයන් වහන්සේ පහවූ රාග ඇති සේක. පහවූ ද්වේෂ ඇති සේක. පහවූ මෝහ ඇති සේ. බිය නොවන ස්වභාව ඇති සේක. තැති නොගන්නා ස්වභාව ඇති සේක, පලායන ස්වභාව නැති සේක (එහෙයිනි.)”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මෙසේ වදාරා සුගත වූ ශාස්තෘන් වහන්සේ නැවත එය ම (මෙසේ) වදාළ සේක.

“මහණෙනි, වන සෙනසුනක හෝ වෘක්ෂමූල සෙනසුනක හෝ මිනිසුන් නොගැවසෙන තැනක හෝ සම්මා සම්බුදුන් සිහි කරව්. තොපට භයක් නොවන්නේය.

ඉදින්, ලෝකයට ජ්‍යෙෂ්ඨ වූ, නරශ්‍රේෂ්ඨ වූ බුදුන් සිහි නොකරන්නහු නම්, එවිට නිවනට පමුණුවන්නා වූ, යහපත් කොට දේශනා කරන ලද්දා වූ, සද්ධර්මය සිහි කරව්.

නිවනට පමුණුවන්නා වූ, හොඳින් දේශනා කරන ලද්දා වූ, ධර්මය ඉදින් සිහි නොකරන්නහු නම්, එවිට පින් කෙත වූ, ඉතා උතුම් වූ සංඝයා සිහි කරව්.

මහණෙනි, යම්සේ බුදුන් ද, ධර්මය ද, සංඝයා ද සිහි කරන්නා වූ තොපට භයෙක් හෝ තැතිගැනීමෙක් හෝ ලොමුදැහැගැනුමක් හෝ නොවන්නේය.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර