නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 30

ඔබත් තිසරණයේ මහා බලය අත්හැර අසුර බලයට අසුවූ කෙනෙක්ද…?

ස්වාමීන් වහන්ස, සුර සහ අසුර බලවේග හඳුනා ගැනීමට නොහැකිව අපේ සමාජය අතරමං වී සිටින බව පෙනෙනවා. අසුර වන්දනාවට සමහර දෙනා ඇබ්බැහි වී සිටින බවත් පෙනෙනවා. මේ අසුර බලය යනු කුමක්දැයි ඔබ වහන්සේ අපට පැහැදිලි කර දෙනවාද…?

භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය අතුරුදන් වූ විට ලෝකය පුරා පවතින්නේ අසුර බලය විතරයි. අසුර බලය කුමක්දැයි තේරුම් ගැනීම සඳහා සරල විදිහක් මම කියන්නම්. ත්‍රිවිධ රත්නය, මාර්ග ඵලලාභී දේවතා සමූහයා සහ ත්‍රිවිධ රත්නය අනුගමනය කරන දෙව් පිරිස හැරුණු කොට ඉතිරි බලය අසුර බලය ලෙස හඳුන්වන්න පුළුවන්.

අපි එදිනෙදා කාර්යයන් සඳහා විවිධාකාර දේව සමූහයාගෙන් ආශීර්වාද ලබා ගන්නවා. ඔබ වහන්සේගේ දේශනාව අනුව එයින් සමහරක් අසුර බලවේග. එසේනම් සුර බලවේග ලෙස අපට ආශිර්වාද ලබා ගත හැක්කේ කොයි දෙවි දේවතාවුන්ගෙන්ද…?

අපිට දෙවිවරුන්ගේ පිහිට ආශිර්වාදය ලබාගන්න පුළුවන්. අපේ දරුවන් දෙවිවරුන්ට භාර කරන්න පුළුවන්. ශ්‍රී සුමන සමන් දෙවියන්, දැඩිමුණ්ඩ දෙවියන්, කතරගම දෙවියන්, මේ බෞද්ධ දෙවිවරු… විෂ්ණු දෙවියන් මධ්‍යස්ථයි. ශක්‍ර දේවතාවුන් වහන්සේ මාර්ගඵලලාභී… වෛශ්‍රවණ දෙවියන් මාර්ග ඵලලාභී… සතර වරම් දෙවිවරුන් ම මාර්ග ඵලලාභී… බෞද්ධයන්ට වැරදුණේ, මෙතරම් මාර්ග ඵලලාභී දේවතා සමූහයක් සිටියදී, අසුර පක්ෂයට යෑමයි. අසුර පක්ෂයට යාමේ ගැටලුව තමයි, ඔවුන් පෘථග්ජන වීම. පෘථග්ජන පිරිස වාසය කරන්නේ අරටුවක් ඇතිව නොවෙයි. අරටුවක් රහිතවයි. අරටුව සහිත කෙනා තමන්ගේ ඉලක්කය හදාගෙන ඉන්නේ, ලාහ සත්කාර, කීර්ති, ප්‍රශංසාවලින් එහා ගිය දෙයකට. අරටු නැතිකෙනාට ලාභ, සත්කාර. කීර්ති, ප්‍රශංසාවලට එහා දෙයක් නැහැ. අසුර බලවේග සියල්ල, තමන් සන්තෝෂයට පත්වන්නේ, තමන් පිනවාගන්නේ, ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසාවලින්. තමන්ගේ බැතිමතුන් ප්‍රමාණය දිහා බල බලා තමයි, ඒ අසුර බලවේග සතුටු වන්නේ. ඒ බැතිමතුන්ගෙන් තමන්ට ලැබෙන දේවල් බල බලා ඒ අය සතුටු වෙනවා. මේ අය දේශපාලනඥයන් වගේ. ඒ අය සතුටුවෙන්නේ තමන්ගේ ඡන්දදායකයන්ගේ ප්‍රමාණය බල බලා. එක ඡන්ද දායකයෙක්වත් තමන්ගෙන් අයින් වෙනවාට කැමති නැහැ. තමන්ගේ පැත්තට ඡන්දදායකයෝ එකතුවෙනවාට තමයි ඒ අය කැමැති. අසුරයෝත් ඒ වගේ තමයි.

අසුර බලවේගය ළඟට ගිහින් කවුරු හරි උදව්වක් ඉල්ලුවොතින්, ඒ උදව්ව කරන්න ඒ බලවේග මහන්සි ගන්නවා. ඒ උදව්ව කරපු ගමන් ඒ උදව් ලබපු කෙනා අර අසුර බලවේගයේ ග්‍රහණයට ලක්වෙනවා. මෙලොව පමණක් නොවෙයි, පරලොව ග්‍රහණයටත් ලක්වෙනවා. මම මේකට උදාහරණයක් කියන්නම්. නමට බෞද්ධ වෙලා ඉන්න සමහරු ඉන්නවා, කෝවිල්වලට යනවා උදව් ගන්න. මෙයා ඒ කෝවිලකට ගිහිල්ලා කාලිගෙන් උදව් ගන්නවා. අසුර බලවේගයෙන් උදව් ගත්තා. උදව් ගැනීම තුළ ලෝක ධර්මතාවය අනුව අසුර බලයට පුළුවන් එයා තමන්ගේ සේවාදායකයෙක් බවට පත් කරගන්න. ඒ අනුව එයාට බැල්ම හෙළන්න ඇසුර බලවේගයට ලෝක ධර්මතාවෙන් ඉඩක් ලැබෙනවා. මරණාසන්න වෙනකොට එයා ඒක කරනවා. තමන් මාර්ගයෙන් නම් නඩු දිනලා තියෙන්නේ, ලබා ගත්ත දේවල් ලබාගෙන තියෙන්නේ, තමන්ට ඒ සඳහා ඇති අයිතිය, අසුර බලවේග විසින් පාවිච්චියට ගන්නවා. ඊට පස්සේ, මරණාසන්න වෙනකොට එයා ළඟට අසුර බලවේගය එනවා. “උඹට මමයි උදව් කළේ…. මගේ ළඟට වරෙන්…” කියලා තමන්ගේ වහලෙක් විදිහට එයාව තියා ගන්නවා. කඹුරනවා කියන්නේ මේකයි. ඒ වෙලාවට කිසිම ගැලවුමක් නැහැ. එකම ගැලවුම තිසරණය පමණයි. ඒත් එයා මුල ඉදන්ම තිසරණයෙන් අයින් වෙලා හිටපු නිසා ඒ පිහිටත් එයාට නැතිවෙනවා.

තිසරණය දුර්වල කෙනා මේකට ලක්වෙනවා. සමහරුන් මේ දෙකටම නැහැ. තිසරණයත් නැහැ. අසුරයන් පස්සේ ගිහිල්ලත් නැහැ. අනවින, කොඩිවින, හදි හූනියම්වලට මතුරන කොට අහුවෙන්නේ ඒ වගේ අය තමයි. ඒ අය ජීවත්වෙන්නේ හාමතේ. දානාදී පිංකම් කිසිවක් කරගෙන නැහැ. ඒ නිසා ඔවුන් ජීවත් වෙන්නේ අහේනිය මතයි. මේ වගේ අය, හූනියම් වගේ දේවල්වලට පහසුවෙන් හසුවෙනවා.

ස්වාමීන් වහන්ස, අසුරයන් කියන්නේ දේව තත්ත්වයක්ද…?

නැහැ… නමුත් ඔවුන්ගේ නායකයෝ දෙවිවරුන්. ඔවුන් බලසම්පන්නයි. මේ අය අල්පේශාක්‍යයි. ඔවුන්ට තව්තිසාව පේන්නවත් නැහැ. මෙච්චර මහේශාක්‍ය තිසරණ බලය තියාගෙන, සක්දෙවිඳු ප්‍රමුඛ, සතරවරම් දෙවිවරු ඇතුළත් සමූහයක් දෙව්වරු ඉඳිද්දී, පොඩි පොඩි දේවල්වලට අසුර බලය පස්සේ දුවලා. මේ ජීවිතයේදී විතරක් නෙමෙයි, සංසාරය පුරාවට සමහරු දුක් විඳින්න පටන් ගන්නවා.

භාග්‍යවතුන් වහන්සේ අසුරයන් ගැනත් දේශනා කළා. එහි සඳහන් වෙනවා, පින්වත් මහණෙනි, සුර අසුර යුද්ධයත් හටගත්තා. එහිදී දෙවියන් අමතා සක් දෙවිඳු කියනවා දැන් සුර අසුර යුද්ධයක් හටගන්නයි හදන්නේ. අසුරයන් පැරදුණොත් ඔවුන්ගේ නායකයා වූ වේපචිත්ති අසුරේන්ද්‍රයාව ජීවග්‍රහයෙන් අල්ලාගෙන අත්දෙකයි කකුල් දෙකයි හිසයි පස්තැන සිරකර සුදම් සභාවට රැගෙන එන්න කියනවා.

ඒ වගේ ම වේපචිත්ති අසුරේන්ද්‍රයාත් තමාගේ අසුර පිරිසට කියනවා දැන් සුර අසුර යුද්ධයක් හටගන්නයි යන්නේ. සුරයන් පරාජයට පත්වුණොත් ඔවුන්ගේ නායකයා වූ සක්දෙවිඳුන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන පස්තැන සිරකොට තමා ළඟට අරගෙන එන්න කියලා. මේ යුද්ධයේදී වේපචිත්ති අසුරයා පරාජයට පත්වෙලා ඔහු ජීවග්‍රහයෙන් අල්ලා ගන්නවා. පරාජිත වේපචිත්ති යම් විටක සිතනවා ද දෙවියෝ යහපත්. ධාර්මිකයි. අසුරයන් අයහපත් අධාර්මිකයි කියලා ඒ වෙලාවේදී ඔහුට දිව්‍ය සැප පහළවෙලා ඒ සැප භුක්ති විඳින්න පුළුවන්. දිව්‍ය සැප භුක්තිවිඳින විට ඔහු සිතුවොත් මම අසුර ලෝකයට යනවා. දෙවියෝ අධාර්මිකයි. අසුරයන් ධාර්මිකයි කියලා ඒ සමඟම ඔහුගේ ගෙල පස්වෙනි කොට දෑත දෙපය සිරවෙනවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා මහණෙනි, වේපචිත්ති බන්ධනය හරි භයානක දෙයක්, සිතුවිල්ලකින් බැඳෙනවා. සිතුවිල්ලකින් ලිහෙනවා. නමුත් මහණෙනි, මාරයාගේ බන්ධනය ඊටත් වඩා සියුම්. ඉතාමත් සියුම් ආකාරයට සත්ත්වයා එයට බැඳෙනවා කියලා. මේ හැම දෙයින් ම අපට පේනවා සුර අසුර කියා කොටස් දෙකක් තිබෙන බව.

මේ සුර අසුර කොටස් දෙකින් අප්‍රකට අප නොදන්නා කොටස තමයි අසුර කොට්ඨාසය. අසුරයන් ගැන විස්තරයක් තිබෙනවා සක්ක සංයුක්තයේ මායා සූත්‍රයේ. එහි සඳහන් වෙනවා වේපචිත්ති කියන අසුරයා අසනීපව සිටිය දී සක්දෙවිඳු අසුරේන්ද්‍රයාව බලන්න යනවා. එවිට සක්දෙවිඳුට වේපචිත්ති කියනවා “දේවේන්ද්‍රය, මම බොහෝ අසනීප තත්ත්වයෙන් ඉන්නේ. මට ප්‍රතිකාරයක් කරන්න” කියලා. සක්දෙවිඳු අසුරේන්ද්‍රයාට කියනවා “වේපචිත්ති, මම ඔබට ඖෂධ ලබා දෙන්නම්. මට සම්බරී මායාව උගන්වන්න” කියලා. වේපචිත්ති කියනවා “මට ඒක ඔබට කියා දෙන්න නම් මම අසුර පිරිසගෙන් අහන්න ඕන” කියලා. වේපචිත්ති අසුරයන් කැඳවලා ඒ පිළිබඳව අසා සිටිනවා. එවිට අසුර පිරිස කියනවා “එපා! ඔබ ඒ සම්බරි මායාව උගන්වන්න එපා!” කියලා. එය සමහරවිට අසුරයන් සතු මන්ත්‍ර විජ්ජාවක් විය හැකියි.

අප දන්නවා, භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වුණ විට බිම්බරක් සේනා සහිත මාරයා පරාජයට පත්වුණා. මේ මාර සේනාව පිළිබඳව දේශනා අධ්‍යයනය කිරීමේ දී අපට පැහැදිලි වන්නේ මාර සේනාව කියන්නේ අසුර බලයක් කියලා. මේ අසුර බලවේගය තමයි ලෝකයේ නිරන්තරයෙන් ම බලපවත්වන්නේ. දෙවිවරුන් මිනිසුන් සමඟ ළංවෙලා කටයුතු කරන්නේ බුද්ධ කාලයේ දී පමණයි. බුදුරජාණන් වහන්සේගේ යුගයේ දී රහතන් වහන්සේලාගේ යුගයේ දී දෙවි මිනිසුන් අතර බොහෝ සමීප සබඳතා තිබුණා. ස්වර්ණමාලි චෛත්‍යය හදන්න දුටුගැමුණු රජතුමා සිතූ මොහොතේ පටන් දෙවිවරු පූර්ණ සහයෝගය ලබා දුන්නා. ඒ වගේ ම ථූපාරාම ස්තූපය හදන්න පටන්ගත් මොහොතේ සක්දෙවිඳුන් පුද පූජා කරමින් වන්දනාමාන කළ අකු ධාතුව සුමන සාමණේරයන් වහන්සේට පූජා කළා.

මේ සියලු දෙයින් පැහැදිලි වන්නේ දෙවියන්ගේ නිරන්තර සහයෝගය ගෞතම බුදු සසුන බබළන අවදියේදී මිනිසුන්ට ලැබිලා තිබෙනවා. කාලයාගේ ඇවෑමෙන් මනුෂ්‍යයා සමඟ තිබෙන සුර සම්බන්ධය ක්‍රම ක්‍රමයෙන් අභාවයට පත්වෙලා අසුර සම්බන්ධය තමයි ඉදිරියට ඇවිත් තිබෙන්නේ. බොහෝ විට අසුර බලය තිබෙන්නේ මන්ත්‍ර බලයත් සමඟයි. ඒ තුළ ධාර්මික අධාර්මික බවක් නැහැ. ඔවුන්ගෙන් යමක් ඉල්ලනවා ද එය ඔවුන් කර දෙනවා.

එය මේ වගේ දෙයක්. කෙනෙක් තව පුද්ගලයෙකුට කියනවා ඔබට මම මෙතරම් මුදලක් දෙනවා. අර පුද්ගලයාට නිගාවෙන ආකාරයට අපහාස කරන්න. නැතිනම් ඔබට මම මත්පැන් බෝතලයක් දෙනවා අසවලාට තර්ජනය කර බැණ වදින්න කියලා. ඉතිං මත්පැන් බෝතලය ගත් නිසා අනිවාර්යයෙන් ම එය කරනවා. ඒ වගේ ම තමා තමාට පුද පූජා පවත්වලා නොයෙක් ආකාරයට බලිබිලි දීලා ලේ ගොටු දීලා මන්ත්‍ර ජප කරනවා. ඒ මන්ත්‍ර බලයට අසුරයන් බැඳෙනවා. බොහෝ විට මේක වෙන්නැති සම්බරී මායාව කියන්නේ. එහෙම බැඳුණාම එයාලට මොකුත් කරන්න බැහැ. ඒ අයට කියනවා ඔබ මේ පූජාව අරගෙන අසවලාට වින කරන්න. එයා ඒක කරනවා. මේක සම්පූර්ණයෙන් ම අසුර බලවේගයක්.

අසුරයන්ගේ ස්වභාවය තේරුම් ගන්න හොඳ උදාහරණයක් තිබෙනවා සක්ක සංයුක්තයේ ඉසයෝසමුද්දක සූත්‍රයේ. භාග්‍යවතුන් වහන්සේ වදාළා “මහණෙනි මෙය පෙර සිදු වූ දෙයක්. බොහෝ සීලවන්ත, කල්‍යාණ ධර්මයෙන් යුතු වූ ඍෂිවරු මුහුදු තීරයේ පංසල් තනාගෙන වාසය කළා. ඒ කාලයේ දී සුර අසුර යුද්ධයක් හට ගත්තා. ඍෂිවරු හිතුවා දෙවියන් ධාර්මිකයි. අසුරයන් අධාර්මිකයි. අසුරයන් දිනුවොත් අපට කරදර වේවි. ඒ නිසා අපි සම්බර කියන අසුරයා වෙත ගිහින් ඔහුගෙන් අභය දානය ඉල්ලිය යුතුයි කියලා.

ඊට පස්සේ ඍෂිවරු පිරිස එතැනින් නොපෙනී ගිහින් සම්බර කියන අසුරයා ඉදිරියේ පහළ වෙලා කියනවා. ‘අසුරේන්ද්‍රය, ඍෂිවරු ඔබ ඉදිරියේ මෙසේ ඔබෙන් අභයදානය ඉල්ලා සිටිනවා. ඔබට මනුෂ්‍යයාට භය දෙන්නත් පුළුවනි. අභය දෙන්නත් පුළුවනි. ඔබ කැමැති දෙයක් දෙන්න’ කියලා.

සම්බර අසුරයා පිළිතුරු දෙනවා ‘ඊශ්වරයා අපට විරුද්ධයි. ඔබ ඇසුරු කරන්නේ ඒ ශක්‍රයාවයි. ඒ නිසා අභය ඉල්ලන ඔබට මම බිය ම දෙමි’ කියලා.

එතකොට ඍෂිවරු කියනවා ‘අප අභය ඉල්ලද්දීත් ඔබ අපට බිය ම දෙනවා. අපට කරන්න දෙයක් නැහැ. ඔබේ බිය ද නැති නොවේවා’ කියා සම්බර අසුරයාට සාප කර යනවා.

දෙවිවරුන්ගේ බැල්ම වැටෙන්න පුළුවන් විදිහ අපිට හරියටම කියන්න බැහැ. අපේ සංසාරය කියන්නේ කෙළවරක් හොයාගන්න බැරි බන්ධන පිරිච්ච දෙයක්. මේකේ කොණක්, පොටක් හොයාගන්න බැහැ. අපි මනුෂ්‍යයෙක් විදිහට අද ඉපදිලා හිටියාට, එක එක ආත්මවල කර්මානුරූප සම්බන්ධකම්, කර්මානුරූප බලපෑම්, කර්මානුරූප විපාක ආදිය තුළ බැඳිච්ච චරිතයක් තමයි මේ ඉන්නේ. ඒ වගේ චරිතයක් තමයි මේ තිසරණයේ පිහිටා ඉන්නේ. තිසරණයෙන් සහ සම්‍යක් දෘෂ්ටික දෙවියන්ගෙන් උදව්වක් ගන්න ඒ කෙනාට පිනක් තියෙන්න ඕනේ.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර