ගෞතම බුදුරජාණන් වහන්සේගේ 2600 වැනි උතුම් ශී‍්‍ර සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන්, උතුම් ශී‍්‍ර සම්බුද්ධාභිෂේකයට උපහාර දක්වනු වස් “ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය පතුරුවමු…!” යන පිව්තුරු අදහසින් යුතුව මහමෙව්නාව සදහම් ග‍්‍රන්ථ පරිත්‍යාග කිරීමේ වැඩපිලිවෙල ආරම්භ කෙරිණි. අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් ඇරඹි මෙම උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මය යටතේ සමස්ථ මහමෙව්නාව භාවනා අසපු සංචිතය මඟින් මේ වන විට දිවයින පුරා පිහිටි විහාරස්ථාන, දහම් පාසැල්, පාසැල්, විශ්ව විද්‍යාල, රාජ්‍ය ආයතන, පුස්තකාල, හමුදා කඳවුරු, ප‍්‍රජා ආයතන රැසකට සදහම් පොත් කට්ටල් 2500 කට අධික පමණයක් පරිත්‍යාග කොට ඇති බව දන්වන්නේ නිරාමිස සතුටිනි…

මෙසේ ලක් වැසි බොහෝ දනන්ගේ සිත් සතන් සුවපත් කරවමින් පැතිරෙනා ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය කෙරෙහි සුපහන් බොහෝ දෙන එයට මුලූ හදවතින්ම ආශිර්වාද කරන්නටත් ශක්ති පමණින් දායක වන්නටත් වූහ. එසේ අප වෙත එවන්නට යෙදුනු පුණ්‍යානුමෝදනාත්මක ලිපි රැසින් කිහිපයක් පින් කැමති ඔබ සැමට අනුමෝදන් වනු පිණිස මෙසේ අමුණන්නට අදහස් කළෙමු…

මෙම උතුම් ධර්මදානමය පුණ්‍ය කර්මයෙන් ජනිතවන්නට යෙදුනු සියලූ පුණ්‍යධර්මයන්, සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමට මුල්‍යමය දායකත්වය ලබාදුන් සැදැහැවතුනට ද, පින් කැමති සියලූ දෙව් මිනිසුනට ද උතුම් වූ දහම් ඇස උපදවා ගැනීම පිණිසම හේතු වාසනා වේවා…!

ගෞරවණීය ස්වාමීන් වහන්ස,

ඔබ වහන්සේ විසින් ශ්‍රීලංකා රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයට හා පීඨ පුස්තකාල වෙත සදහම් ග්‍රන්ථ එකතුවක් පරිත්‍යාග කිරීම පිළිබඳව ස්තූතිවන්ත වන අතර එය උතුම් ධර්ම දානයක් ලෙස ඉත සිතින් පිළිගනිමි….

මෙවැනි සද් කාර්යයන් ඉටු කරලීම සඳහා ඔබ වහන්සේට ශක්තිය හා ධෛර්යය නොඅඩුව ලැබේවා…!

පුස්තකාලයාධිකාරී, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය
ගෞරවණීය ස්වාමීන් වහන්ස,

සිංහල බෞද්ධයන් ඉතා විරල ප්‍රදේශයක අධ්‍යාපණය හැදෑරීම සඳහා පැමිණ සිටින අපට ඔබවහන්සේලා විසින් සිදුකළ මෙම පරිත්‍යාගය මහාර්ඝ උපකාරයක් බව මුලින්ම සඳහන් කරනු කැමැත්තෙමි. තවද අප විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ හෝ මේ අවට පිහිටා ඇති කිසිදු පුස්තකාලයක එකඳු බෞද්ධ ධර්ම ග්‍රන්ථයක් හෝ පරිශීලනයට නොමැති හෙයින් එම සදහම් ග්‍රන්ථයන් අපගේ ධර්ම ඥාණය වර්ධනය කරගැනීමට ඇති එකම මාර්ගය වී ඇත……

එනිසා එම ග්‍රන්ථ දානයෙන් සිදුකරගත්තා වූ පුණ්‍ය බලය හේතුවෙන් ඔබ වහන්සේටත්.., එම ග්‍රන්ථ පරිත්‍යාග කළාවූ සියලූම ගිහි පින්වතුන්ටත්, නන් අයුරින් උපකාර කළ සැමටත් මේ ගෞතම බුද්ධ ශාසනය තුළ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අවබෝධ කරගැනීමටත්.. හැකියාව ලැබේවා..!
සාදූ! සාදූ!! සාදූ!!!

2014/08/01

බෞද්ධ සංගමය, සෞඛ්‍ය ආරක්ෂණ විද්‍ය පීඨය, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලය
පින්වත් ස්වාමීන් වහන්ස,

ශ්‍රීලංනානෞ බුවනෙක ආයතනයේ ඉල්ලීමකට අනුව අප නාවික කඳවුරේ පුස්තකාලය සඳහා ලබාදුන් සදහම් ග්‍රන්ථ කට්ටලය ලද බවත් එම නිලධාරීන්ගේ හා නාවිකයින්ගේ දහම් දැනුම වර්ධනය කරගැනීම සඳහා මහඟු පිටුවහලක් වේ යැයි අපේක්ෂා කරමු.
මෙම සදහම් ධර්ම දානය පුණ්‍යකර්මය තවදුරටත් ඉදිරයට පවත්වාගෙන යාමටත් තවතවත් සදහම් ග්‍රන්ථ රචනා කිරීමටත් පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට තිසරණේ ආශිර්වාදයත් මේ ධර්ම පුස්ථක අප වෙත ලබාදීමට නන් අයුරින් උදව් උපකාර කළ සියළු දෙනාටම මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා….

නමෝ බුද්ධාය

කපිතාන්