පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සංයුත්ත නිකායේ තුන්වෙනි කොටසට අයත් අත්තදීප සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

ද අප ඉගෙන ගන්නේ සංයුත්ත නිකායේ එන දේශනාවක්. මේ දේශනාවේ නම ‘අත්තදීප සූත‍්‍රය’ අත්තදීප යන වචනයේ තේරුම තමන්ව දූපතක් කර ගැනීමයි. තමන්ව දූපතක් කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ. ‘දීප’ කියන වචනය භාවිතා වන්නේ දූපත යන තේරුමටයි. නමුත් පස්සෙ කාලෙ පහන යන අර්ථයටත් පාවිච්චි වෙලා තියෙනවා. බුද්ධ කාලෙ පහනට පාවිච්චි කළේ ‘පදීපං’ කියලයි. එ් කියන්නේ ප්‍රදීපය කියන එක. ධම්මපදයේ විස්තර වෙන්නේ ‘පදීපං න ගවෙස්සථ…’ ඔබ පහනක් නොසොයව්ද? කියලයි. එ් වගේම රතන සූත්‍රයේ අර ‘ඛීණං පුරාණං…’ යන ගාථාවේ සඳහන් වෙනවා ‘යථායං පදීපෝ…’ කියලා. මේ පහන යම් බඳු ද, ආදී වශයෙනුයි. එනිසා මේ ‘දීප’ යන වචනය ආලෝක යන්නට පටලවා ගත යුතු නෑ. මෙහි සඳහන් වෙන්නේ සසර සයුරට යටනොවන තැන, එතෙරව පිහිටි භූමිය, ස්ථිරව පිහිටා සිටින තැන යන අරුත් දෙන ‘දීප’ යන්නයි.

බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකම්ම තමන්ට තමන් පිළිසරණ වෙන්නේ කොහොමද කියලා කියා දෙන්න කෙනෙක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා තමයි තමන්ගේ ජීවිතය තමන් විසින්ම ආරක්ෂාකාරීව අරගෙන යන්න ඕන ආකාරය කියලා දෙන්නේ. මේ ලෝකයේ වෙන කිසිම කෙනෙක් තමන්ට ඒ ආරක්ෂාව ලබාගන්න හැටි කියා දුන්නෙ නැහැ. බුදුරජාණන් වහන්සේ කියා දුන්නා තමන්ව දූපතක් කරගෙන, ඒ ආකාරයට බලමින් තමන් විසින්ම තමන්ට ආරක්ෂාව සලසා ගන්නා හැටි. සසර සාගරයේ වැටෙන්න තියෙද්දී, එයින් බේරෙන්න… කියන අර්ථයයි බුදුරජාණන් වහන්සේලා කියා දුන්නේ.

“මහණෙනි, බාහිර පුද්ගලයෙක්ව සරණ කරගන්න එපා! තමන්ව සරණ කරගන්න. තමන්ගේ ආරක්ෂකයා බවට තමන්ම පත්වෙන්නට ඕන…” කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. උන්වහන්සේ දෙන්න ඕන කරන දේ දීලා තියෙනවා. ඒක තේරුම් ගන්නයි අමාරු වෙන්නේ. අපට ප්‍රශ්නයක් ඇතිවුණු වෙලාවට අපි කාගෙන් හරි ඉල්ලිය යුතුමයි. එහෙම කාගෙන් හරි ඉල්ලුවොත් ඒ ඉල්ලීම නිසා ලැබෙනවයි කියලා අපි හිතාගෙන ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ ඊට වෙනස් දෙයක්.

● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »