පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-06-19 වෙනි පොසොන් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී මජ්ඣිම නිකායේ චූළ හත්ථිපදෝපම සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

ද පොසොන් පුන් පොහෝ දවස. අද වගේ දවසකයි මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාද්වීපයට වැඩම කළේ. අද වගේ දවසකයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මේ ලංකාද්වීපවාසීන්ට මනාකොට අහන්ට ලැබිලා උතුම් සරණ යන්ට ලැබුණේ. ඉතින් ඒ මිහිඳු මහරහතන් වහන්සේට ගෞරව උපහාර පිණිස උන්වහන්සේ මේ ලංකාද්වීපවාසීන්ට දේශනා කොට වදාළ පළමුවෙනි වන චූළ හත්ථිපදෝපම සූත්‍ර දේශනාවයි දැන් අපි අහන්නේ.

මිහිඳු මහරහතන් වහන්සේ අද වගේ පුන් පොහෝ දවසක ලංකාවට වැඩම කරද්දී මේ ලංකාවේ ඒ වෙද්දී රජ්ජුරුවෝ හැටියට හිටියේ දේවානම්පියතිස්ස රජතුමා. ඉතින් පොසොන් පොහොය දවසේ නැකැත් කෙළියකට දඩයමේ යන සිරිතක් තිබ්බා ඒ කාලේ. ඉතින් මිස්සක පව්ව තියෙන මිහින්තලේ ප්‍රදේශයේ වනාන්තරයක යද්දී එක්තරා දේවතාවෙක් මුවෙකුගේ වෙස් අරගෙන රජ්ජුරුවන්ට පෙනි පෙනී දුවන්න පටන් ගත්තා. දුවන්න ඉස්සරවෙලා ඒ මුවා තණකොළ කන ආකාරයක් පෙන්නුම් කරමින් හිටියා. එතකොට රජ්ජුරුවෝ කල්පනා කළා මේ සතා කෑම කකා ඉන්නේ. මේ සතාට මේ වෙලාවේ විදින්ට හොඳ නෑ කියලා දුනුදිය පෙළුවා. ඒ කියන්නේ දුන්න සද්ද කළා. එතකොට ඒ මුවා රජ්ජුරුවන්ට පෙනි පෙනී දුවන්න පටන් ගත්තා. එතකොට මුවාගේ පස්සෙන් රජ්ජුරුවෝ දුවද්දී අර පිරිසෙන් වෙන්වුනා. රජ්ජුරුවෝ ලොකු පිරිසක් එක්ක ගියේ.

ඒ වෙනකොට මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සමබල, භද්දසාල, සුමන කියන රහතන් වහන්සේලාත් සමඟ භණ්ඩුක අනාගාමී උපාසකත් සමඟ ඉර්ධි බලයෙන් මිස්සක පව්වට, මිහින්තලයට වැඩලා.

● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »