පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-09-02 වන දින දිවුලපිටිය හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුවේදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිළිබඳ විස්තර කරමින් සිදුකළ කෙටි ධර්ම දේශනය සහ බෝධි වන්දනාව

සැදැහැවත් පින්වත්නි,
බෝධිය කියලා කියන්නේ මොකක්ද කියන එකයි අපි අද මේ වෙලාවේ පොඩ්ඩක් ඉගෙන ගන්නේ. පුංචි කාලේ ඉඳලා ගොඩක් අය බෝධිපූජා තියනවා. අපල කිව්වහමත් ඊට පස්සේ බෝධිපූජා තියාපං කියනවා. එතකොට අපි බෝධිපූජා තියනවා. කරදරයක් වුනහම අපිට බෝධිය මතක් වෙනවා. සතුටින් ඉන්න වෙලාවට මතක් වෙන්නේ නෑ. කමක් නෑ ඉතින් කරදයක් වෙච්ච වෙලාවටත් භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය සිහිවෙන එකත් උතුම් දෙයක් නේද? ඒක හරි විදිහට සිහිපත් කරගන්න එක ගැනයි අපි මේ කියන්ට හදන්නේ. “බෝධි වුච්චති චතුසු මග්ගේසු ඤාණං” බෝධිය කියලා කියන්නේ සෝවාන් මාර්ගඵල, සකදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, අරහත් මාර්ගඵල. කාගෙවත් උදව්වක් නැතුව අපේ ශාස්තෘන් වහන්සේ දඹදිව් තලයේ (ලංකාවේ නෙවෙයි) නේරංජරා කියන නදිය අසබඩ වජිරාසනය මත වැඩ හිඳලා තමන්ගේ ම උත්සාහයෙන් තමන්ගේ ම ධෛර්යයෙන් තමන් ම උපදවා ගත්තු ඤාණයෙන් සෝවාන් මාර්ගඵලයට පත්වුනා, සකදාගාමී මාර්ගඵලයට පත්වුනා, අනාගාමී මාර්ගඵලයට පත්වුනා, අරහත් මාර්ගඵලයට පත්වුනා. ඒකට කියන්නේ අපි ස්වයංභූ ඤාණයෙන් කියලා. ස්වයංභූ කියන්නේ තමන්ගේ ම ඤාණයෙන්. බාහිර කෙනෙකුගේ උදව් නැතුව ඒ බෝධිය වජිරාසනයේ දී සාක්ෂාත් කරන මොහොතේදී සෙවන සැලසු යම් වෘක්ෂයක් ඇත්ද, ඒ වෘක්ෂයටත් ඒ නම ලැබුණා…..