පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දීඝ නිකා‍යේ මහා ගෝවින්ද සූත්‍රය ඇසුරෙන් 2016 ඔක්තෝම්බර් මස 16 වෙනි දින දකුණු කොරියාවේ දී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනය

අද අපි ඔබට කියාදෙන්නේ දිව්‍ය ලෝකේ වෙච්ච සිද්ධියක්. මේක සදහන් වෙන්නේ දීඝ නිකායේ මහා ගෝවින්ද සූත්‍රයේ. මේ සිදුවීම බුදුරජාණන් වහන්සේට ඇවිදින් කියන්නේ පඤ්චසිඛ කියන දිව්‍ය පුත්‍රයා. කලින් එයා මනුස්ස ලෝකේ හිටපු උපාසක කෙනෙක් එයා පංඤ්චසිඛ දිව්‍ය පුත්‍රයා වෙලා උපන්නා. තවතිව්සා දිව්‍ය ලෝකේ පෝය දවසක රැස්වීමක් තිබුණා. මේ රැස්වීම තිබුණේ සුධර්මා කියන දිව්‍ය සභාවේ. ඒ රැස්වීමේ සතර දිශාවේ ආරක්ෂක දිව්‍ය රාජවරු සතර දෙනෙක් හිටියා. දිශා හතර තමයි නැගෙනහිර, දකුණ, බටහිර, උතුර. මේ ධතරාෂ්ට, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවන කියන දෙවිවරුන්ට කියනවා සතර වරම් දෙවිවරු කියලා. අමනුෂ්‍යය ලෝකය සතරගොල්ලක් පාලනය කරනවා. සමහරු මැරිලා ගිහින් උපදිනවා ගාන්ධර්ව දෙවියන් අතර. ගාන්ධර්වයන් පාලනය කරන්නේ ධතරාෂ්ට දෙවියන්.

සමහරු මැරිලා ගිහින් උපදිනවා කුම්භාණ්ඩයන් අතර. කුම්භාණ්ඩ කියන්නේ චණ්ඩ පරුෂ භූත කොට්ඨාසයක්. ඒ ගොල්ලන්ව පාලනය කරනවා විරූඪ කියන දෙව්මහ රජු. බටහිර දිශාවේ සමහරු මැරිලා ගිහිල්ලා උපදිනවා භූත නාගයෝ වෙලා. ඒ ගොල්ලෝ පාලනය කරනවා විරූපාක්ෂ දිව්‍ය රාජයා. සමහරු ගිහින් උපදිනවා යක්ෂයෝ වෙලා. ඒ ගොල්ලො පාලනය කරනවා වෛශ්‍රවණ කියන දිව්‍ය රාජයා. තව්තිසාවේ දිව්‍ය සභාව හැම පෝයටම රුස් වෙනවා. රැස්වෙන්නේ බුද්ධ ශාසනේ වැඩ ගැන කතා කරන්න. රැස් වෙලා ඉස්සර නම් මනුස්ස ලෝකෙ ගැනත් කතා කළා. මොකද මනුස්ස ලෝකේ තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුනේ. එතකොට මාස්පතා දිව්‍ය සභාවේ දෙවිවරු කියනවා, මෙහෙම මෙහෙම මනුස්ස ලෝකේ ඉදන් මේ පිරිස එනවා, මනුස්ස ලෝකේ ඉදන් හරීයට සෙනග මැරෙන මැරෙන අය දෙවිවරු වෙලා උපදිනවා තව්තිසාවේ කියලා. දැන් නම් එක මනුස්සයෙක් යන්නේ නෑ ඒ පැත්තේ. ඔක්කොම අපායේ යන්නේ.

එතකොට අපි මේ මහන්සි ගන්නේ තව්තිසාවේ දොරටුව අරින්නයි. අපා දොරටු වහන්නයි. එතකොට එදා බුදුරජාණන් වහන්සේට පඤ්චසිඛ දිව්‍යපුත්‍රයා ඇවිත් කියනවා, ස්වාමීණි මේ දිව්‍ය සභාව රැස් වුනා. රැස්වෙලා ඒ දෙවිවරු ප්‍රීතී ඝෝෂා නගන්ට ගත්තා. මොකක්ද ප්‍රීති ඝෝසාව සතුටු වෙයල්ලා මනුස්ස ලෝකේ අය හෝගාලා දෙවියන් අතරට එනවා. බලන්න තථාගතයන් වහන්සේගේ ධර්මයේ ඇති ආශ්චර්යය. දැන් බලන්න ඒ දෙවිවරුන්ගේ ස්වභාවය. කලින් ඉන්න දෙවිවරුන්ට වඩා අලුතින් පහලවුන දෙවිවරු ලස්සනයි කියනවා. එතකොට දෙවිවරු කියනවා බලන්න මේ අලුතින් පහලවන දෙවිවරු හරි ලස්සනයි නේ. සුගතයන් වහන්සේගේ ශාසනේ බඹසර හැසිරිලා…