පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-05-10 වන දින (ශ්‍රී බුද්ධ වර්ෂ 2561 වෙසක් පුන් පොහෝ දින) පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී මහා පරිනිබ්බාන සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

බුදුරජාණන් වහන්සේ පහළ වුන යුගයේ සිටි අය බුද්ධ ශාසනයට කොච්චර ආසා කලාද කියන්නේ, ඒ කාලේ මිනිස්සු විතරක් නෙමෙයි අමනුස්සයොත් චතුරාර්ය සත්‍යය අවබෝධ කළා. සාතාගිරි, හේමවත වැනි අමනුෂ්‍යයෝ, ආලවක වැනි අමනුෂ්‍යයෝ චතුරාර්ය සත්‍යය අවබෝධ කළා. නාග ලෝකයේ සිට නයි වෙස්වලා ගෙන ආවා මනුස්ස වේශයෙන්. ඇවිල්ලා පැවිදි වුනා චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්න ආසාවෙන්. දෙවියන් හා බඹුන්, පුංචි බලු පැටවුන් ආදරය දක්වන මිනිස්සුන්ගේ පස්සේ වැටිලා යනවා වගේ බුදුරජාණන් වහන්සේගේ පස්සේ වැටිලා ගියා. ඒ රහතන් වහන්සේලාගේ පස්සේ වැටිලා ගියා. ඒ අලංකාර යුගය සිහිනයක් බොඳවෙලා ගියා වගේ මේ මනුස්සයන්ට නැති වෙලා ගියා. දැන් අපි ඒක නොයෙක් ක්‍රම වලට ගන්න හදනවා.

ඉතින් ඒ සිහිනයක් වගේ නැතිවෙලා ගිය ලෝකයේ බොහොම සුලු කාලයක් තුල සුලු පිරිසක් එතෙර වුනා. අන් සියලු දෙනාම කර්මය දායාද කරගෙන තණ්හා පොදි බැඳගෙන මේ දුක්ඛිත සසරේ භව ගමනේ යන්න ලෑස්ති පිට චාරිකාවේ පිටත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සැරිසරායාම නවත්වලා මේ දුකෙන් එතෙර වුනා. අනේ අපේ බුදුරජාණන් වහන්සේටත් මේ දහම් කතාව සැනසිල්ලේ කරගෙන යන්න අවස්ථාව ලැබුනේ නෑ. දේවදත්ත පැවිදි වෙලා කරන්න තියෙන හැම හතුරු කමක් ම කළා. මාගන්ධියා වගේ අය එහෙන් කරදර කළා. ශාස්තෘවරු කියලා කියා ගත්ත මිසදිටුවෝ හත් දෙනෙක් උන්දැලාගේ දායක පිරිසක් එකතු කරගෙන හොදට පද ගගහ ගියා.

කාලායාගේ ඇවෑමෙන් බුදුරජාණන් වහන්සේත් ටිකෙන් ටික වයසට ගියා. ඒ වෙද්දි බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්න ළං වෙනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේත් පිරිනිවන් පාලා. මහාමොග්ගල්ලානයන් වහන්සේත් පිරිනිවන් පාලා. රාහුලයන් වහන්සේ තව්තිසාවට ගිහිල්ලා පිරිනිවන් පෑවා. බොහෝ ශ්‍රාවකයෝ නිවෙනවා වගේ නිවී ගියා. පහන් නිවෙනවා වගේ නිවී ගියා. ලෝකයට පායා ආ හිරු මඬල බොහොම වේලාසනින් බැස යන්ට පටන් අරන්. අන්ධකාරය ආවට පස්සේ ආයේ ඉරක් ලේසියෙන් පායන්නේ නෑ. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයේ. අජාසත් ඒ වෙද්දි තමන්ගේ පියාවත් මරලා රජ වෙලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න අවුරුදු අටකට කලින් තමයි බිමිබිසාර රජතුමා මරණයට පත් වුනේ. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්න අවුරුදු හතකට කලින් දේවදත්ත නිරයේ ගියේ. එතකම්ම දේවදත්ත බුදුරජාණන් වහන්සේව පන්නලා. ඒ ගොඩෙත් ඉඳගෙන, ත්‍රිවිධ රත්නයට ගරහාගෙන ලොකු පිරිසකට සතර අපායට යන්න සිද්ධ වුනා.