පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2010 මැයි මස 25 වෙනි දින මාතර මහමෙව්නාව මහා විහාරයේදී පවත්වන්නට යෙදුණු ධර්ම දේශනාවකි.

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

මීට වසර දෙදහස් හයසිය ගණනකට කලින් මේ ලෝකයේ මහා පුදුම සහගත දෙයක් සිද්ධ වුනා. ඒ තමයි ජම්බුද්වීපය කියන රටේ හිමාල පර්වතය පාමුළ, කපිලවස්තු කියන පුංචි රාජධානියක, සල්මල් පිපුණු ලස්සන උද්‍යානයක, පොහෝ දවසේ දවල් එකොළහට විතර සිඟිති දරුවෙක් උපන්නා. මේ පුංචි සිඟිත්තා උපදින වේලෙහි ලෝකය පුරාවට මහා අද්භූත දේ සිදුවුනා. ආනන්තරික නිරය පවා ආලෝක වුනා.

මේ සිඟිති දරුවා උපන් වේලෙහි ඒ මෑණියන් වහන්සේට, මහාමායා බිසොවුන් වහන්සේටත් දකින්න ලැබුනා බ්‍රහ්ම ලෝකයෙන් බඹුන් ඇවිදින් මේ සිඟිති දරුවා දෝතට අරගෙන කිව්වා ‘‘මෑණියනි සතුටු වෙන්න මහා පින් ඇති දරුවෙකු ඉපිද සිටිනවා“ කියලා. මේ දරුවා ඒ මොහොතේ උතුරු දිශාව බලා සත් පියවරක් සිඟිති පියවර තබා ඇවිද්දා. මේ දරුවා ඒ මොහොතේ තමන්ගේ දකුණු අත උඩට ඔසොවා අතේ දබර ඇඟිල්ල අහසට දිගු කොට මිහිරි සරින් ගාථාවක් කිව්වා.

අග්ගෝ හමස්මි ලෝකස්ස (මම මේ ලෝකයට අග්‍ර වෙමි) ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස (මම මේ ලෝකයට වැඩිමහල් වෙමි) සෙට්ඨෝ හමස්මි ලෝකස්ස (මම මේ ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි.) අයමන්තිමා ජාති (මේ මගේ අන්තිම ඉපදීමයි) නත්ථිදානි පුනබ්භවෝ (නැවත පුනර්භවයක් නැත) කියලා.

මේ අසිරිමත් සිඟිත්තාගේ ඉපදීමත් සමඟ ඒ රාජමාළිගාවේ කටයුතු සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගියා. රජ්ජුරුවන්ගේ සිත මහා සතුටකින් පිරුණා. ඒ රජ්ජුරුවෝ එකසිය අටක් බ්‍රාහ්මණයෝ කැඳවලා ඇහුවා, මහා පින්වත් දරුවෙක් අපට ලැබී සිටිනවා. මේ දරුවාගේ අනාගතය මොකක්ද? කියලා

● ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න »