පින්වත් ගාමිණී මහතාණෙනි,

අද (2015 ඔක්තෝම්බර් 11) දහවල් මා හමුවී ඉතා ප‍්‍රීතියෙන් කතාබස් කොට, ඉතා සතුටින් සම්බුද්ධරාජ මාළිගාව වන්දනා කොට පිටත් ව ගියේ ය. තම නිවසට යන්නට පළමු මනුලොව ඔබට තිබූ ආයුෂ අවසන් වූ වග කිසිවෙක් නොදත්තේ ය. හදිසියේ ම හටගත් හෘදයාබාධයකින් ඔබ සැණෙකින් මනුලොව අත්හැර දෙවියන් අතරට ගියේ ය.

පෙර සසරේ ආ බැඳීමකින්දෝ
මා හමුවන්නට ඔබ ආ දා සිට
ඔබ මගේ සැදැහැවත් ම දායකයා විය
මගේ හිතාදරම කැපකරුවා විය
මගේ ළබැඳි ම මිතුරා විය

චතුරාර්ය සත්‍ය ධර්මයට අසීමිත ලෙස ආශා කළේ ඔබ
අප භගවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
මිහිරි ධර්මය ඔබ සමඟ මා කියද්දී
කුඩා දරුවෙකු සෙයින්,
අහිංසක මුවෙකු සෙයින්,
ඔබ මට සවන් දී සිටියේ ය.
ඒ දහම අසා ප‍්‍රීතියෙන් කුල්මත් ව ගියේය.
සතුටින් ඉපිල ගියේ ය.
තුනුරුවනට දිවි පුදා දහමෙහි හැසිරුණේ ය.
නිර්මල බුදු දහම පතුරුවන්නට මහත් සේ ආශා කළේය.
භාග්‍යවතුන් වහන්සේගේ සාම සංදේශය රැගෙන
මා නන්නාඳුනන රටවලට යද්දී ඒ හැම වතාවේම
ඔබ මට සුවය සැදූ සෙනෙහෙබර සෙවණැල්ල විය

වරක් ඔබ මට මෙසේ කිව්වේ ය.

“ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ ඇතැම් අවස්ථාවලදී මට ‘ගාමිණී’ නමින් පමණක් අමතද්දී ‘ගාමිණී මහත්තයා’ කියනවාට වඩා එය මට ගොඩාක් සමීපයි.”

ඔබේ හදවතේ උතුරා දෝර ගලා පිටාර ගිය ආදරයට, කරුණාවට, දයාවට, මිනිස්කමට ජාති, කුල, ආගම් කිසිවක් බාධාවක් නොවීය. සුවඳ හමනා මලක් සෙයින් මිනිසත් බවෙහි සුවඳ ඔබෙන් හමා ගිය බව සත්තයි.
මනුලොව ඉටු දෙවියෙකු සේ මා ළඟ සිටි,
මගේ අදරැති ගාමිණී……
දැන් ඔබ දෙවියන් අතර ඇතුවාට මා හට සැක නැත. මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස ඇති තරම් පින් නෙළා ගන්නට ඔබ ලද මිනිස් දිවිය ප‍්‍රමාණවත් විය ඔබ හට….

එනිසා…
ඔබට මේ ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා!

– ඔබේ ලොකු ස්වාමීන් වහන්සේ