ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

ළඟ සිල්පදය “කාමේසු මිච්ඡාචාරා වේරමණී.” එතකොට ඒකේ දුෂ්චරිතය තමයි, කාමේසු මිච්ඡාචාරා. ‘කාමේසු මිච්ඡාචාරී’ කියලා කියන්නේ කාමයන්හි වරදවා හැසිරීම. සමහරු මේ සිල්පදයත් අර පාණාතිපාතා වැරදි විදිහට තෝරනවා වගේ වැරදි විදිහට තෝරනවා. සමහරු “බැරි වෙලාවත් කරවල කෑල්ලක් හැපුණොත් මේ සිල්පදය කැඩෙනවා” කියලා කියනවා. ඒවා සම්පූර්ණ අසත්‍යය.

ධර්මයේ කාමේසු මිච්ඡාචාරා කියන සිල් පදය තෝරන්නේ මෙහෙමයි: (යා තා මාතු රක්ඛිතා) මව් විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (පිතු රක්ඛිතා) පියා විසින් රකින්නා වූ යම් ස්ත්‍රියක් සිටීද, (මාතුපිතු රක්ඛිතා) මව්පියන් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භාතු රක්ඛිතා) සහෝදරයා විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (භගිනි රක්ඛිතා) සහෝදරිය විසින් ආරක්ෂා කරන ස්ත්‍රියක් සිටීද, (ඤාති රක්ඛිතා) නෑදෑයින් විසින් රකින්නා වූ ස්ත්‍රියක් සිටීද, (ගොත්ත රක්ඛිතා) කුල පරම්පරාවෙන් ආරක්ෂා කරන්නා වූ ස්ත්‍රියක් සිටීද, (ධම්ම රක්ඛිතා) සීලාදී ගුණධර්ම රකිමින් ඉන්නා වූ ස්ත්‍රියක් සිටීද, (සස්සාමිකා සපරිදණ්ඩා) විවාහක ස්ත්‍රියක් සිටීද, (අන්තමසෝ මාලාගුල පරික්ඛිතාති) විවාහ වෙන්න කියලා වෙන්කරපු ස්ත්‍රියක් සිටීද, (තථා රූපාසු) එබඳු වූ ස්ත්‍රීන් සමඟ (චාරිත්තං ආපජ්ජිතා හෝති) නොමනා හැසිරීමේ හැසිරුණාද, එබඳු ස්ත්‍රීන් සමඟ කාම සේවනය කළාද, ඒ තමයි “කාමේසු මිච්ඡාචාරා.” බලන්න තෝරපු හැටි.

එහෙම බලද්දී මේකට ලෝකයේ හැම ස්ත්‍රියක්ම අයිති වෙනවා. බේරුණ කෙනෙක් හොයාගන්න නෑ. එතකොට (ඒවරූපං කායසමාචාරං සේවතෝ) මෙබඳු වූ කාය සමාචාරයෙන්, වැරදි කාම සේවනයෙන්, දුෂ්චරිතයෙන් වාසය කළොත්, (අකුසලා ධම්මා අභිවඩ්ඪන්ති) අකුසල් තමයි හටගන්නේ. (කුසලා ධම්මා පරිහායන්ති) කුසල් දහම් පිරිහෙනවා. මේකෙදී සැහැසිව කියලා කතාවක් නෑ. බලහත්කාරයෙන් කියන කතාවක් නෙවෙයි තියෙන්නේ. යාළුවෙලා මේ විදිහේ වැරදීමෙහි යෙදුණත්, ඒත් වැරදි කාම සේවනයට අයිති වෙනවා. මේ වැරදි කාම සේවනය හරි භයානක එකක්. බය වෛර හටගන්නා එකක්. මේ නිසා පවුල් කඩාකප්පල් වෙලා සී සී කඩ යනවා.

බොහෝ අවස්ථාවලදී අපි ළඟට තරුණ අයගේ ගැටලූ අරගෙන එනවා. විවාහක අයගේ ප්‍රශ්න ගත්තොත් බොහෝ විට තියෙන්නේ මේ ප්‍රශ්නය. බොහෝ විට අපට කියන ප්‍රශ්නවලදී දෙන්නම සිල්වන්තයි. නමුත් එක්කෙනාට එක්කෙනා සැකයි. ඒ කියන්නේ ස්වාමියා මොකක් හරි කටයුත්තකට ගිහිල්ලා රෑ ප්‍රමාද වෙලා ආවොත් බිරිඳ හිතනවා කාමයේ වරදවා හැසිරෙන්න ගියා කියලා. බිරිඳ ගමනක් ගිහිල්ලා මොනවා හරි වෙලා ප්‍රමාද වෙලා ආවොත්, ඔන්න කාමයේ වරදවා හැසිරෙන්න ගියා කියලා හිතනවා. බැරි වෙලාවත් කවුරුහරි කෙනෙක් පත්තරයක්වත් ගෙනල්ලා මේසෙ උඩ තියලා ගියොත් හිතන්නේ වෙන මිනිහෙක්වත් ඇවිල්ලා මේ පත්තරේ තියලා ගිහිල්ලා කියලයි. මේ විදිහට පුදුම විදිහේ අර්බුදයක් තියෙනවා. සැකෙන් වාසය කරනවා. ඒ සැකය තුළම අසමඟියෙන්, අසතුටෙන් එකිනෙකාට අඬ බැන ගනිමින්, එකිනෙකාට නින්දා අපහාස කර ගනිමින් ඉන්න පවුල් අනන්තයි.

ඒකට හේතුව, මේ පංච දුෂ්චරිතය ගැන අවබෝධයක් නැතිකමත්, සුචරිතය ගැන අවබෝධයක් නැතිකමත්. ඉතින් මං ඒ වගේ අයට මේ සිල්පද ටික තෝරලා සිල් සමාදන් කරවලා යවනවා. “ඔබ, මෙයා සිල්වන්තයි කියලා පිළිගන්නවද?” කියලා අහනවා. “පිළිගන්නවා” කියනවා. “ඔබ පිළිගන්නවාද මෙයා සිල්වන්තයි කියලා?” “පිළිගන්නවා” කියනවා. “එහෙනම් කාටවත් කවුරුහරි කේලමක් කිව්වොත් මොකද කරන්නේ?” කියලා අහනවා.

සාමාන්‍යයෙන් අඹු සැමියන් සිල්වන්තව සමඟියෙන්, සමාදානයෙන් ඉන්නවා දැක්කහම කොටවන අයත් ඉන්නවානේ. කේලාම් කියලා කඩාකප්පල් කරන අය ඉන්නවා. “අන්න අසවලත් එක්ක කතා කර කර හිටියා. ඕවා දැන්මම නවත්වා ගත්තොත් හොඳයි” කියලා කියනවා. ටෙලිෆෝන් කරලා “අන්න මනුස්සයා නොමඟ යනවා” කියලා කියනවා. එතකොට සිල්පද රකින්නේ නැත්නම් සිහිය පිහිටන්නේ නෑ. එක පාරටම සැකයට වැටෙනවා. එතකොට හිතන්නේම ‘එහෙම නම් මෙහෙම එකක් ඇති’ කියලයි. ඊළඟට ‘ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ’ කියලා පටන් ගන්නවා. ඊට පස්සේ සැකයටම භාජනය වන දෙයක් තමයි කල්පනා කරන්නේ. මේක තමයි බය වෛර හටගන්නා තුන්වෙනි කරුණ. එතකොට මේ බය වෛර හටගන්නා තුන්වෙනි කරුණෙහි යෙදීම හේතුවෙන්, කාමයෙහි වරදවා හැසිරීමේ හේතුවෙන් මරණින් මත්තේ නිරයේ උපදිනවා.

වැරදි කාම සේවනයේ ආදීනව දක්වන හොඳ සිදුවීමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ‘ඉසිදාසි’ කියලා තැනැත්තියක් හිටියා. ‘ඉසිදාසි’ හරි ලස්සන රූපයක් තිබුණු ගැහැණු ළමයෙක්. මෙයාව බොහෝම වැදගත් පවුලක මහත්තයෙකුට, ලොකු දෑවැද්දක් එක්ක විවාහ කරලා දුන්නා. දැන් මේ ඉසිදාසි අලූත් ගෙදරට ගිහිල්ලා, ඒ නැන්දට මාමට වැඳගෙන, ස්වාමියාට ගරු සරු දක්වාගෙන දාසියක් වගේ ඉන්නවා. ටික කාලයයි ගියේ හේතුවක් නෑ, පවුල් අවුල්.

ඊට පස්සේ අර ස්වාමියා තමන්ගේ අම්මට කියනවා, “අම්මේ මට මේ ගෑණිත් එක්ක පවුල් කන්න බෑ. මෙයාව වහාම ආපහු ගෙදරට ඇරලවන්න.”

“පුතේ, මේ අපේ ගෙදරට ආපු ශ‍්‍රියා කාන්තාව. බලාපන් ඔබට කොච්චර ආදරේද? මේ ගෙදර ඔක්කෝටම කොච්චර හිතවත්ද? හොයලා බලලා කටයුතු කරනවා. මොකක්ද වැරැද්ද?”

“කතා කරන්න එපා මාත් එක්ක. අම්මේ, මට මෙයාව අප්පිරියයි, එක්කගෙන යන්න.”

බලන්න මේ වෙන්නේ අපට පේන්නේ නැති පැත්තක්. ඔන්න ඉතින් “අනේ ගෙදරට ආපු ශ‍්‍රියා කාන්තාව, අපේ ළමයා එළවගත්තා ” කියලා ආපහු ගිහිල්ලා ගෙදරට ඇරලූවා. ඔන්න දැන් පවුල කැඩුණා.

මේ ගෙදර කට්ටියට ඉන්න එකම ළමයා. ඉතින් ඊට වඩා භාගයකට දෑවැද්ද හරි ගස්සාගෙන දෙවැනි විවාහයක් කරදුන්නා. ටික කාලයක් ගියා. එතැන වුණෙත් ඒකමයි. “මට මේ ගෑණිත් එක්ක පවුල් කන්න බෑ” කියලා ආපහු එක්කන් ඇවිදින් ගෙදරට භාරදුන්නා.

“අනේ තාත්තේ, මට නම් ආයේ ඔය කසාද මතක් කරන්න එපා! මං මෙහෙම ඉන්නම්.” ඉතින් දෙමව්පියෝ දහඅතේ කල්පනා කළා, ‘මෙහෙම ඉඳලත් බෑනේ…. අපි නැතිවුණාට පස්සේ මෙයාට මොනවා වෙයිද කියලා කවුද දන්නේ. ආරක්ෂාවට කවුරු හරි පිරිමියෙක් ඕනනේ.’

එක තරුණයෙක් හිටියා, එයා හිඟන්නෙක්. මේ හිඟන්නා පොල් කට්ටක් අරගෙන, කඩමලු ඇඳගෙන පාරේ ගියා.

“ළමයා මෙහෙ එනවා… උඹ කැමතිද හොඳට කාලා බීලා, මේ වතුපිටි බලාගෙන පවුලක් වෙලා ඉන්න?”

“කැමතියි.”

“එහෙනම් අපේ ගෙදර නැවතියන්. මේ වතුපිටි ඔක්කෝම උඹට භාරයි. අපේ දුවක් ඉන්නවා. බලා හදාගෙන හිටපන්.”

ඉතින් මේ හිඟන තරුණයා එක පයින්ම කැමති වුණා. එයත් ටික කාලයක් ගිහිල්ලා මාමට ඇවිල්ලා කියනවා, “මාමණ්ඩියේ, කෝ අර පොල්කට්ට? අර කඩමලු ටික කෝ? මට ඒ හිඟාකෑම හොඳයි.” එහෙම කියලා යන්න ගියා.

ඉසිදාසි දිවි නසා ගන්න හැදුවා. ගෙදර කට්ටිය බේරගත්තා. දවසක් රහත් භික්ෂුණීන් වහන්සේ නමක් ඔය නිවසට දානෙට වැඩියා. ඒ වෙලාවේ ඉසිදාසියටත් පැවිදි වෙන්න හිත නැමුණා. “අම්මේ, මට නම් මේක කරන්න බෑ. මගේ පාපය මම ම දිරව ගන්නම්. මේක වෙන කවුරුවත් දිරවන එකක් නෙවෙයි, මම ම මේක විඳවා ගන්නම්” කියලා පැවිදි වුණා. පැවිදි වෙලා, ටික කාලයකින් රහත් භික්ෂුණියක් බවට පත්වුණා.

පස්සේ දවසක අර රහත් භික්ෂුණිය අහනවා, “ඉසිදාසි, ඔබ හැබෑම රූප සුන්දරත්වයක් තියෙන කෙනෙක්. පුදුම විදිහට ඔබේ පවුල් ජීවිතය කඩාකප්පල් වුණා. ඒකට හේතුව මොකක්ද?” “පින්වත් භික්ෂුණීය, මං මේක බැලූවා. (දැන් එයාට ‘පුබ්බේනිවාසානුස්සති ඤාණය’ පෙර විසූ ජීවිත දකිනා නුවණ තියෙනවානේ) මම මීට ආත්ම හතකට කලින් පිරිමියෙක්. හොඳට ඇඟපත හයිය තිබුණු, සල්ලි බාගෙ තිබුණු පිරිමියෙක්. මම සල්ලි තිබුණ නිසා වල්කම් කළා.”

එහෙනම් මෙයා කරලා තියෙන්නේ (කාමේසු මිච්ඡාචාරා) වැරදි කාම සේවනයේ යෙදීම. අදත් එහෙම පිරිමි ඉන්නවනේ. රූපය ලස්සනට තියෙනවා නම්, සල්ලිත් තියෙනවා නම් පස්සෙන් එන අයත් ඕනතරම් ඉන්නවනේ. ඉතින් මේකට අහුවුණා. මේකෙදී වෙන්නේ අකුසල් වැඞීම, කුසල් පිරිහීම.

ඉතින් මෙයා ඒ පිරිමි ආත්මයෙන් චුතවෙලා කෙලින්ම නිරයේ ගියා. නිරයේ දුක් විඳලා.. දුක් විඳලා.. ඔන්න තිරිසන් අපායේ වඳුරු පැටියෙක් වෙලා ඉපදුණා. වඳුරු පැටියෙක් වෙලා ඉපදිලා ඉද්දී පොඩි කාලයේදීම මහ වඳුරෙක් ඇවිල්ලා ඒ වඳුරු පැටියගේ පුරුෂ නිමිත්ත ඇදලා කැඩුවා. ඉතින් ඒ තුවාලය වණ වෙලා, පණුවෝ ගහලා මැරුණා. ඊට පස්සේ හරක් පැටියෙක් වෙලා ඉපදුණා. අදටත් බර උහුලන්න පුළුවන් වෙන්න හරකගේ කෝෂ තලනවනේ. මං අහලා තියෙනවා, ඒ වෙලාවට හරකගේ අත් කකුල් බැඳලා, ඌ යටිගිරියෙන් කෑ ගහද්දි ලීවලින් තදකරලා.. තදකරලා… තදකරලා…. සම්පූර්ණයෙන් අර කෝෂ තලනවලූ. ඉතින් මෙයාගෙත් මෙහෙම තලද්දී තුවාල වුණා. ඔන්න ආයෙමත් එතැන කුණු වෙන්න පටන් ගත්තා. සැරව පිරෙන්න ගත්තා. පණුවෝ ගැහැව්වා. ඒ අසනීපයෙන්ම මළා. අදටත් සත්තු එහෙම මැරෙනවා.

ඒකෙන් චුතවෙලා, ඔන්න ඊට පස්සේ එළුවෙක් වෙලා උපන්නා. ඒ කාලේ එළුවන්ගෙත් කෝෂ තලනවා. ඒකම වුණා. බලන්න, වැරදි කාම සේවනයක් කරන්න ගිහිල්ලා, කොච්චර කාලයක් විඳවනවද? “කරන කලට පව් මිහිරිය මී සේ – විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ” කියන්නේ ඒකයි.

මෙයා එතැනිනුන් චුත වුණා. චුත වෙලා පරම්පරාගත දාසියකගේ කුසේ උපන්නා. සතර අපායේ වින්ඳ යුතු කර්ම විපාක ගෙවිලා දාසියකගේ කුසේ උපන්නට පස්සේ මේ පරම්පරා අයිතිකාරයෝ බලහත්කාරයෙන් මෙයාව අරගෙන ගිහිල්ලා බිරිඳ වශයෙන් තියාගත්තා. ඊට පස්සේ ඉතින් එතැන කරලා තියෙන්නෙත් ඉරිසියාව, පවුල් කඩාකප්පල් කිරීම ආදී දේවල් තමයි. ඒ කර්ම විපාක දෙකම එකතුවෙලයි මේ ජීවිතය අසාර්ථක වුණේ.

බුදුරජාණන් වහන්සේ නමක් පහළ වූ කාලයක, රහත් භික්ෂූණීන් වහන්සේලාව මුණ ගැහිලා, සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයේ ගමන් කළ නිසා ඉසිදාසි ගැලවුණා. ඉසිදාසිට ඒ අවස්ථාව නොලැබෙන්න තවමත් සංසාරේ විඳවනවා. සසර ගමන් කරන තාක් අපටත් මේ ප්‍රශ්නය තියෙනවා. අපි මේ ජීවිතයේ නම් හොඳට ඉඳියි. ධර්මය අවබෝධ නොකළොත් අපි ඊළඟ ජීවිතයේ කාමයෙහි වරදවා හැසිරෙයිද, නැද්ද කියලා අපට සහතිකයක් තියෙනවාද? මේ සංසාරයේ තියෙන භයානකකම ඒකයි.

අපි හොඳ බෞද්ධ පවුල්වල ඉපදුණ නිසා මේ ජීවිතයේ සතුන් මරන්නේ නෑ. නමුත් අපි ඊළඟ ජීවිතේ වෙනත් ආගමක ඉපදුණොත් සතුන් නෙවෙයි, ආගමේ නාමයෙන් මිනිස්සුත් මරයි. ඒ අය මරණින් මත්තේ නිරයේ. අපි මේ ජීවිතයේ හොරකම් කරන්නේ නෑ කියමු. නමුත් ලබන ජීවිතේ මොකක් වෙයිද කියලා කවුද දන්නේ? ඔන්න මේ ජීවිතයේ වැරදි කාම සේවනයෙහි යෙදෙන්නේ නෑ. නමුත් ලබන ජීවිතේ…? මේ අනතුරෙන් වළකින්න නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගන්න ඕන. එහෙම නැතුව ගැලවෙන්න බැහැ.

වැරදි කාම සේවනයෙන් වැළකීම නිසා ඒ හේතුවෙන් හටගන්නා වූ භය වෛර ප්‍රහාණය වෙනවා. වැරදි කාම සේවනයෙන් හටගන්නා වූ යම්තාක් අකුසල් ඇද්ද ඒ අකුසල් ප්‍රහාණය වෙනවා. කුසල් වැඩෙනවා.

අපි බටහිර සමාජය ගනිමු. බටහිර කියන්නේ වැරදි කාම සේවනය තදින්ම තියෙන සමාජයක්නේ. වැරදි කාම සේවනයත් තියෙනවා, විකෘති කාම සේවනයත් තියෙනවා. කොයිතරම් බරපතල විදිහට මිනිසුන්ගේ මනස විකෘති වෙලාද? මේවා කොහෙන් ඉවර වෙයිද? ඒ අය බොහෝ විට උපදින්නේ එක්කෝ නිරයේ, එහෙම නැත්නම් ඉතින් තිරිසන් ලෝකයේ.

බුදුරජාණන් වහන්සේ පැහැදිලිව පෙන්වා දෙනවා, ඒ දේවල් තුළ අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. එයින් වැළකීම තුළ කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයා මේවා දැනගෙන තමයි වීරියෙන් යුක්තව, සිහියෙන් යුක්තව, සම්මා දිට්ඨිය තුළ, එයින් වැළකී වාසය කරන්නේ. වීරියක් නැතුව මේක කරන්න බැහැ…

සාදු! සාදු!! සාදු!!!

→ මතු සම්බන්ධ යි…

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසිනි

උපුටාගැනීම – “ගෞතම සසුනේ පිහිට ලබන්නට..” පොතෙන්