තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන්

යම් කෙනෙක් කලාතුරකින් ලෝ තලයේ පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ ව සරණ ගියේ ද, ඒ බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය සරණ ගියේ ද, ඒ දහම් මගේ හික්මෙන ශ්‍රාවක මහා සංඝරත්නය සරණ ගියේ ද ඔහු තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ය. උපාසකයා කියන්නේ ගිහි ජීවිතයක් ගත කරමින් රැකී රක්‍ෂා ආදියෙහි නියැලෙමින්, අඹු දරුවනුත් පෝෂණය කරමින් තරමක් කාර්යබහුල ජීවිතයක් ගතකරන කෙනෙක්. ඒ කටයුතු අතරේ ම යි ඔහු තෙරුවන් සරණ කරගෙන ජීවිතය යහපත් කරගන්නට මහන්සි ගන්නේ.

වත්මන් සමාජය හරිම විෂමයි. කුසල්, අකුසල් ගැන, පින පව ගැන, යහපත අයහපත ගැන සමාජය තුළ සැලකිල්ලක් දක්වන්නේ ඉතා ම කලාතුරකින්. ඒ ගැන නො තකන නිසා ම අද බොහෝ තරුණ ජීවිත නිරපරාදේ විනාශවෙනවා. රූපවාහිනියෙන් කරන හැඟීම් ඇවිස්සවීම නිසා බොහෝ තරුණ පිරිස් වැරදි කාම සේවනයට යොමුවෙනවා. ඊළඟට ජීවිතයේ එන සුළු ගැටලුවටත් විසඳුම විදියට තරුණයන් යොමුවන්නේ බීමත්කමට යි. බීමත්කම, වැරදි කාම සේවනය ආදිය නිසා ම ඔහුගේ මිතුරන් වෙන්නේත් පාපී පුද්ගලයන්. මේ විදියට කොච්චර නම් තරුණ ජීවිත විනාශ වෙනවා ද?

ඇත්තෙන්ම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, ශ්‍රාවක සංඝයා ගැන අහද්දී සිත පැහැදුනා නම් ඔහු ඉතා ම වාසනාවන්තයෙක්. මොකද තෙරුවන් සරණ නිසා ම ඔහු සිල්වත් වෙනවා. පව් කිරීමට ලැජ්ජාවත්, භයත් ඇතිකරගන්නවා. මිනීමැරුම් පවා කරන මිනිසුන් අතරේ ඔහු ප්‍රාණඝාත නො කර සියලු සතුන්ට දයාවෙන් වාසය කරනවා. බලහත්කාරයෙන් අනුන්ගේ දේවල් කඩාවඩා ගන්නා මිනිසුන් අතරේ ඔහු අන් සතු කිසිවක් සොර සිතින් නො ගෙන ඉන්නවා. පරස්ත්‍රී සේවනයෙන් සතුටුවෙන ලෝකයක ඔහු සිය බිරිඳ ඉක්මවා නො ගොස් වැරදි කාම සේවනයෙන් වැළකී වාසය කරනවා. බොරුව ම රජ කරවන සමාජයක ඔහු සත්‍යයෙන් සත්‍යය ගළපා කතා කරන අවංක චරිතයක් වෙනවා. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයට ම ලොල් වූ මිනිසුන් අතරේ සියලු මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී වාසය කරනවා. ඉතිං නිති පන්සිල් සුරැකීමට මහන්සි වෙන මේ විදියේ ජීවිතයක් තෙරුවන් සරණ යාම නිසා ඔබට ලැබුණා නේ ද?

උපාසකයාගේ ජීවිතය පිරිහෙන්න පුළුවන්. ඒ පිරිහීමට හේතු වෙන කරුණු සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ දී අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දී වදාළා.

“මහණෙනි, උපාසකයාගේ පිරිහීම පිණිස මේ කරුණු සත හේතු වෙයි. ඒ කවර කරුණු සතක් ද යත්,

  1. භික්‍ෂූන් දකින්නට නො යයි.
  2. සද්ධර්ම ශ්‍රවණයට ප්‍රමාද වෙයි.
  3. උසස් සීලයන්හි නො හික්මෙයි.
  4. ස්ථවිර, මධ්‍යම, නවක භික්‍ෂූන් කෙරෙහි අප්‍රසාදය බහුල වෙයි.
  5. වැරදි සොයන අදහසින්, දොස් දකිනා සිතින් බණ අසයි.
  6. මේ සසුනෙන් බැහැරව පින් සලකා දන් දිය යුතු අය සොයයි, එහි ද වතාවත් කරයි.
  7. බැහැර තැනකට ගිය කල්හි ද කලින් කළ පරිදි ම කටයුතු කරයි.

මහණෙනි, උපාසක පිරිහීමට මේ කරුණු හත හේතු වෙයි”

(උපාසක අපරිහානීය සූත්‍රය – අං( 4)

ගිහි ජීවිතයක් ගත කරන තරුණයෙක් තරුණියක් විදියට ඔබ කාර්යබහුලයි. දිනපතා ම රැකියාව කළේ නැත්නම් හරියට පඩිය ලැබෙන්නේ නෑ. උදේ ගෙදරින් පිටත් වුණා ම සමහර විට රාත්‍රියේ තමයි ගෙදර එන්නේ. ජීවිතය ගතකරන්ට අවශ්‍ය ධනය උපයන්නට නම් මහන්සි වෙලා රස්සාව කරන්ට ම ඕන. ඒ රස්සාවෙන් හිතු මනාපෙට නිවාඩු ගන්ටත් බැහැ.

ඉතිං ස්වාමීන් වහන්සේලා මුණගැහෙන්ට අපි ආසයි. කෝ අපට වෙලාවක්? බණ අහන්ටත් ආසයි. බණ පොත් ටික කියවන්ටත් ආසයි. අට සිල්, දස සිල් සමාදන් වෙලා විවේකයෙන් බණ භාවනා කරගන්ටත් ආසයි. මේ මිහිරි ධර්මය සජ්ඣායනා කරන්ටත් ආසයි. ඒත් කෝ අපට වෙලාවක්?

ගොඩාක් තරුණ තරුණියන් අහන ප්‍රශ්නයක් තමයි මේ. ඒ නිසා ම තමයි ඒ තරුණ තරුණියන් සතියක විතර නිවාඩුවක් අරගෙන විවේකයෙන් බණ භාවනා කරගෙන ඉන්ට අවස්ථාවක් දෙන්ට පුළුවන් ද කියලා ගොඩාක් අසපුවලින් ඇවිල්ලා අහන්නේ.

සමහර අය සතියක විතර නිවාඩුවක් ලැබුණොත් විනෝද චාරිකා යනවා. අවසානයේ සල්ලිත් ඉවරයි. වෙහෙසක් විතරයි ඉතුරු වෙන්නේ. තවත් සමහරු නිවසේ සාද පවත්වනවා. සල්ලිත් වියදම් වෙලා කාලයත් ගෙවිලා සමහරවිට හිතවත්කමුත් පළුදු වෙලයි ඒක අවසන් වෙන්නේ.

ඇත්තෙන්ම සතියක විතර හොඳ නිවාඩුවක් ලැබුණොත්…

ඒ සතියේ නිවාඩුව ඔබට තවත් සිල්වත් උපාසක උපාසිකා පිරිසක් සමඟ ගත කරන්නට ලැබුණොත්, බ්‍රහ්මචාරී අධි සීලයක සමාදන් වෙන්නට ලැබුණොත්, සිල් ගුණ දම් පුරන පින්වත් ස්වාමීන් වහන්සේලාව, පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලාව ඇසුරු කරන්නට ලැබුණොත්, උන් වහන්සේලාත් සමඟ දහම් කථාවේ යෙදෙමින් ධර්ම ශ්‍රවණය කරන්ට ලැබුණොත්, විවේකයෙන් බණ පොත් කියවගන්ට ලැබුණොත්, මිහිරට ධර්මය සජ්ඣායනා කරන්නට ලැබුණොත්, සිත සන්සිඳුවන උතුම් භාවනාවන් පුරුදු වෙන්ට ලැබුණොත්… ඇත්තෙන් ම ඔබේ ඒ සතියේ නිවාඩුව කොයිතරම් අපූරු ද? ඒ සතිය කොයි තරම් ඵලදායී සතියක් ද? ඔබට මුළු ජීවිත කාලයට ම ඒ සතියේ තිබූ සුන්දරත්වය අමතක නො වේවි.

ඇත්තෙන්ම කාර්යබහුල ගිහි ජීවිතයේ ලැබෙන පුංචි නිවාඩුවෙන් විවේකීව භාවනා කරමින් ධර්මය ඉගෙන ගන්ට මහන්සි වෙන උපාසකයන් නිතර ඒ ඒ ප්‍රදේශවල තිබෙන අපේ මහමෙව්නාව භාවනා අසපුවලින් ඒ සඳහා අවස්ථාවක් ඉල්ලනවා. නමුත් හැම අසපුවක ම ඒ සඳහා පහසුකම් සහිත පරිසරයක් නැහැ. ඒ නිසා ම යි මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ වූ අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ කාරුණික සංකල්පයකට අනුව උපාසක ඔබ වෙනුවෙන් ම හොරණ මහමෙව්නාව භාවනා අසපුවේ නේවාසික සති භාවනා වැඩසටහන ආරම්භ කළේ.

ඒ වගේම පින්වත් උපාසිකාවන් සඳහාම වෙන්වූ සති භාවනා වැඩසටහන් මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුව කේන්ද්‍ර කරගනිමින්, අනගාරිකා අසපු 5කම පැවැත්වෙනවා.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක දරු දැරියන් වූ පින්වන්ත ඔබටත්, නිසංසල පරිසරයක සතියක් පුරාවට, සුවසේ ධර්මයේ හැසිරෙන්නට මේ සති භාවනා වැඩසටහන් තුළින් අවස්ථාව උදාකරගන්නට පුළුවනි.

තෙරුවන් සරණයි!


උපාසකයන් සඳහාම වෙන්වූ හොරණ මහමෙව්නාව භාවනා අසපුවේ සතිභාවනා වැඩසටහන

උපාසිකාවන් සඳහාම වෙන්වූ අනගාරිකා අසපුවේ සතිභාවනා වැඩසටහන