පින්වතුනේ, පින්වත් දරුවනේ,

එ් කාලෙ සැවැත් නුවර නන්ද කියල විශාල ගව පට්ටියක ප‍්‍රධානියෙක් හිටියා. මෙම නන්ද ගොපල්ලාට භාරව තිබෙන ගව පට්ටියේ හිමිකාරයා වුණේ අනේපිඬු සිටුතුමායි. මේ නන්ද ගොපල්ලා ඉතාමත් උත්සාහවන්තයි. එනිසාම අතිවිශාල ගවපට්ටියක් බවට තම ගොවිපල පත්වුණා. එ් තුළින් මොහු මහා ධනවතෙකුත් වුණා. කොපමණ ධනය ලැබුණත් මොහු ඉතාමත්ම නිහතමානියි. එනිසා අනේපිඬු සිටුතුමා යටතේම දිගටම සේවය කළා. නන්ද ගොපල්ලාගේ 

මෙම ගුණවත් චරිතය ගැන අනේපිඬු සිටුතුමා ගොඩක් පැහැදුණා. මොහු අවංක සේවකයෙක් විතරක් නෙවෙයි, සැදැහැවත් ශ‍්‍රාවකයෙක්. මොහු තෙරුවන් කෙරෙහි මහත් පැහැදීමකින් හිටියා. නිතර නිතර දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේව බැහැදැක බණ අසනවා.

දවසක් නන්ද ගොපල්ලා බුදුන් ප‍්‍රමුඛ සංඝරත්නයට තම නිවසේ දානයක් පිළියෙල කළා. එදා පාර දෙපස ලස්සනට සැරසුවා. පාරේ සුදු වැලි ඇතිරුවා. මහත් ආදර භක්තියෙන් යුතුව බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට තම නිවසට වැඩැම්මුවා. ඉතාම ප‍්‍රණීත වූ දන් පැන් පූජා කළා. සත් දවසක් පුරාවට මහ දන් දුන්නා. සත්වන දිනයේදී බුදුරජාණන් වහන්සේ විසින් වදාරණ ලද චතුරාර්ය සත්‍යය දේශනාව අසා සෝවාන් ඵලයට පත් වුණා.

බුදුරජාණන් වහන්සේ ආපසු විහාරයට වඩිද්දී නන්ද ගොපල්ලා ගෞරව භක්තියෙන් යුක්තව උන්වහන්සේ පසුපසින් ගියා. ”පින්වත් නන්ද, ඔය ඇති. දැන් ඔබ ආපසු යන්න” කියල බුදුරජාණන් වහන්සේ වදාළා. උන්වහන්සේට මහත් ආදරයෙන්ම වන්දනා කළ නන්ද ගොපල්ලා ආපසු නිවස කරා එන්නට පිටත් වුණා. අතරමගදී එක්තරා වැද්දෙක් විෂ පෙවූ හෙල්ලකින් නන්ද ගොපල්ලාට පහර දුන්නා. ඔහු මියගියා.

මේ ගැන භික්ෂූන් වහන්සේලා බුදුරජුන්ගෙන් ඇසූ වේලෙහි උන්වහන්සේ වදාළේ සසරේ කරන ලද කර්ම විපාකයක් නිසා නන්ද ගොපල්ලා මිය ගිය බවයි. ඔහුට එම අවස්ථාවෙන් බේරී සිටීමට හැකියාවක් නොතිබුණු බවත් පෙන්වා දුන්නා. නමුත් නන්ද ගොපල්ලා එ්කාන්තයෙන්ම නිවන් අවබෝධ කරන සෝවාන් ශ‍්‍රාවකයෙක් බවට පත්ව සිටි නිසා දැන් සුගතියෙහි ඉපිද සිටින බවත් පෙන්වා වදාළා. මෙම ගාථාවත් දේශනා කොට වදාළා.

දිසෝ දිසං යං තං කයිරා – වේරී වා පන වේරිනං
මිච්ඡාපණිහිතං චිත්තං – පාපියෝ නං තතෝ කරේ

සොරෙක් තව සොරෙකුට – අනතුරු කරන විලසට
වෛර කරනා කෙනෙකුට – වෛරයෙන් පහර දෙන ලෙස
නොමගටම යොදවා සිත – පිහිටුවා ගත් මේ සිත
එ් පවිටු සිත මුල් වී – පවිටෙකු බවට පත් කරන්නේ

පින්වතුනේ, පින්වත් දරුවනේ, සිත ගැන අපි දන්නවාට වඩා නොදන්නා දේවල්මයි ගොඩක් තියෙන්නෙ. සිත තුළ පින් රැස්වෙනවා. එ් වගේම මේ සිත ඉතාම ශ්‍රේෂ්ඨත්වයට පත්කරවන්නට පුළුවනි. එහෙම පුළුවන් වෙන්නෙ ධර්මය තුළ සිත හැසිරෙව්වොත් විතරයි.

සමහර කෙනෙක් තමන්ගේ සිත ගැන කිසිම සැලකිල්ලක් නැහැ. සිත කිලුටු වෙනවා. ගණන් ගන්නෙ නැහැ. සිත කිලුටු වීමේ අනතුර ගැන නුවණින් කල්පනා කරන්නෙ නැහැ. එ් කිලුටු සිත නිසා තමන්ගේ කය, වචනය තුළිනුත් අකුසල් රැස්වෙන බවත් කල්පනා කරන්නෙ නැහැ. මෙනිසාම සිත කිලුටු වෙද්දි කිලුටු වෙද්දි තවදුරටත් එ් කිලුට වැඩිවෙන විදිහටම හිතනවා. එතකොට ඒ කිලුටු වෙච්ච සිත අකුසල් නිසා විකෘති වෙනවා. නපුරු වෙනවා. දරුණු වෙනවා. අකීකරු වෙනවා. භයානක වෙනවා. එ් භයානකකම ගැන මෙම ගාථාවෙන් ඉතා කදිම උපමාවලින් කියා දෙනවා.

හොරෙක් හොරෙකුට දරුණු දෙයක් කරනවා නම්, එ් දේ කරන්නේ කිසිම අනුකම්පාවකින් තොරවයි. හොරෙක් හොරෙකුව විනාශ කිරීමේදී පොඩි බුරුලක්වත් දෙන්නෙ නැහැ. නැත්තටම නැති කරනවා. ඊටත් වඩා භයානකයි නොමග ගිය හිත. එතන කිසිම පාලනයක් නැහැ. හොඳ නරක විමසීමක් නැහැ. යහපත අයහපත ගැන සැළකීමක් නැහැ. හරි වැරදි ගැන මොහොතක් වත් සිතන්නෙ නැහැ. එ් නොමග ගිය සිත විසින් හොරෙක් හොරෙකුට අනතුරක් කරනවාටත් වඩා මහත් විනාශයක් තමාට කරනවා.

වෛරක්කාරයෙක් ඉන්නවා. මේ පුද්ගලයාට තව කෙනෙකුත් එ් විදිහටම වෛර කරනවා. එතකොට එ් වෛරක්කාරයා තමාට වෛර කරන පුද්ගලයාට කිසිම අනුකම්පාවක් දක්වන්නේ නැහැ. කිසිම දයාවක් දක්වන්නේ නැහැ. දැඩි වෛරයෙන්ම විනාශ කරනවා. නොමග ගිය සිත, අකුසලයෙහි පිහිටුවන ලද සිත, මිථ්‍යාවෙහි පිහිටුවන ලද සිත, නපුරු ලෙස යොදවන ලද සිත විසින් ඊටත් වඩා භයානක විපතක් තමාට කරනවා.

වෛරක්කාරයෙක් වේවා, හොරෙක් වේවා බොහෝ විට කරන්නේ කෙනෙකුගේ ධන ධාන්‍යවලට, ජීවිතවලට, දේපලට වස්තුවට හානි කිරීමයි. නමුත් නොමඟ ගිය හිත විසින් තමාව පවිටු දුෂ්ටයෙකු බවට පත්කළ විට නිරයේ ඉපදිලා කල්ප ගණනක් දුක්විඳින්න වෙනවා. තිරිසන් ලෝකයේ ඉපදිලා දුක් විඳින්න වෙනවා. පේ‍්‍රත ලෝකයේ ඉපදිලා දුක් විඳින්න වෙනවා. අහෝ! සතුරෙකුටවත් නපුරු පවිටු සිතක් ඇති නොවෙන එකමයි හොඳ.

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ