අද මේ උදා වී තිබෙන නවම් පුන් පොහෝ දිනය වැනිම පින්බර දිනයක් මීට වසර ගණනාවකට පෙර උදාවිය. ඒ තුන් ලොව ජයගත් මහාවීර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ජීවමානව ලොව වැඩසිටි සමය යි.

බිම්බිසාර නරේන්ද්‍රයාණන් විසින් පූජා කළ දඹදිව රජගහනුවර වේළුවනාරාමයේ අපගේ තිලෝගුරු සම්බුදුරජාණන් වහන්සේ එදින උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ දහසක් භික්ෂූන් වේළුවනාරාමයේ වැඩ සිටිය හ. එමෙන්ම සාරිපුත්ත හා මොග්ගල්ලාන යන භික්ෂූන් ප්‍රමුඛ දෙසිය පනහක් භික්ෂූන් වහන්සේලා ද වැඩ සිටිය හ. ඒ මේ ගෞතම බුදු සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය යි.

ඒ එක්දහස් පන්සියයක් වූ මහා සඟ පිරිස මධ්‍යයට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දහම් කථාවෙන් ඒ සියළු දෙනාම සතුටු කොට වදාළ සේක. අනතුරුව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දකුණත් අග්‍රශ්‍රාවක පදවියත්, මහා මොග්ගල්ලාන රහතන් වහන්සේට වමත් අග්‍රශ්‍රාවක පදවියත් පිරිනැමූ සේක. එනමුත් එය ඇතැමුන්ගේ අප්‍රසාදයට හේතු විය. බුදු සසුනේ ඊට පෙර පැවිදි වූ භික්ෂූන් සිටිය දී මේ දෙනමට ම අග තනතුරු ලබා දුන්නේ ඇයි දැයි ඇතැමුන් විපිළිසර විය.

මෙකරුණ අරභයා ඒ මහා කාරුණිකයන් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අග්‍රශ්‍රාවකයින් වහන්සේලාගේ අතීත පුවත හෙළිදරව් කොට වදාළ සේක.

සර්වඥ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වූ මේ යුගය මහා භද්‍ර කල්පය යි. මේ යුගයට අසංඛෙය්‍ය කල්ප ලක්ෂයකට පෙර අතීතයේ අනෝමදස්සී නම් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළ වී වදාළ සේක. එකල බමුණු මහසල් කුලයේ ධනයෙන් ආඪ්‍ය පවුලක ‘සරද’ නම් කුමාරයෙක් උපත ලැබීය. කුඩා කළ පටන් මේ සරද මාණවකයාට හිතෛෂී මිත්‍රයා වූයේ ගෘහපති මහසල් කුලයේ ධනවත් පවුලක උපන් සිරිවඩ්ඪ මාණවකයා ය.

ප්‍රඥාවන්තයෙකු වූ සරද නම් මාණවකයා පියාගේ ඇවෑමෙන් පසු සියළු ධනයට හිමිකරුවා විය. එනමුත් ජරාව, ව්‍යාධිය, මරණය උරුමකරගත් මේ දිවිය ගැන විමසූ සරද මාණවකයා ඒ සියළු ධනය දුගී මගී යාචකාදීන්ට බෙදා දී මහා වනයේ තවුස්දම් පිරීමට තීරණය කළේය. ඔහුගේ පැවිද්ද අසා සූසැත්තෑදහසක පිරිසක් ද ඒ අනුව පැවිදි වූහ. බවුන් වඩමින් පඤ්ච අභිඥා උපදවා ගත් සරද තවුසා ඇතුළු පිරිවර තවුසෝ මහා වනයේ වැඩ විසූහ.

මහා කරුණා සමවතින් ලොව බලනා අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ මේ තවුසන් පිරිස දැක ඔවුන් වෙත එළඹුණු සේක. ලක්ඛණ ශාස්ත්‍රයේ දක්ෂ වූ සරද තවුසා මහා පුරිස් ලකුණු දැක ඒකාන්තයෙන් ම මේ සර්වඥයන් වූ බුදුරජාණන් වහන්සේම බව හඳුනාගත්තේය. අතිශයින්ම සතුටට පත් ඒ තවුසන් පිරිස අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට පුෂ්ප ආසනයක් පූජා කළේය. එමෙන්ම අග්‍ර ශ්‍රාවක වූ නිසභ හා අනෝම යන රහතන් වහන්සේලා ප්‍රමුඛ ලක්ෂයක් රහතුන් හට පුෂ්ප ආසන පිදූහ. නිරෝධ සමාපත්තියට සමවැදුණු අනෝමදස්සී සම්බුදුරජාණන් වහන්සේ සතියක් පුරාවට පුෂ්පයෙන් කළ ඡත්‍රයන් දරා සිටිමින් සරද තවුසාණෝ මහා පින් රැස් කළේය. ඒ රැස් කළ පින් සියල්ලෙන්ම ඔහුගේ පැතුම වූයේ මතු බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවක පදවියයි.

තම සමීපතම මිත්‍රයා වූ සිරිවඩ්ඪ හට ද සරද තවුසාණන් මේ මහා පින්කම ගැන දන්වා යැවීය. ඔහු ද අතිශයින් සතුටට පත් ව බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේලා උදෙසා තම නිවසේ සත් දවසක් මහා දන් පවත්වා මෙබඳු අධිෂ්ඨානයක් කළේය. මේ මහා පින්කම් වල ආනිශංසයෙන් මාගේ මිත්‍ර සරද තවුසා යම් බුදු සසුනක අග්‍ර ශ්‍රාවක වෙයි ද, මා හටත් ඒ බුදු සසුනේ ම දුතිය අග්‍ර ශ්‍රාවකයා වීමේ වාසනාව ලැබේවා යන්නයි.

අනෝමදස්සී සම්බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලද ඔවුහු අසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් ඇවෑමෙන් පහළ වූ මේ මහා භද්‍ර කල්පයේ මනුලොව ඉපදුණේය. සරද තවුසාණන් ව සිටි මහා පින්වන්තයා නාලා ග්‍රාමයේ සාරී බැමිණියගේ කුසින් උපතිස්ස ලෙස උපත ලැබීය. සිරිවඩ්ඪ තෙමේ මොග්ගලී නම් බැමිණියගේ කුසින් කෝලිත ලෙස උපත ලැබීය.

බුදුසසුන කෙරෙහි පහන් සිතින් සාරී බැමිණියගේ පුත් උපතිස්සයන්, සාරිපුත්ත නමින් පැවිදි විය. කෝලිතයන් මහා මොග්ගල්ලාන යන නමින් පැවිදි විය. උතුම් නවම් පුන් පොහෝ දිනයක සසරේ පෙරුම් පුරා පැමිණි ඒ මහා පින්වන්තයින් හට ගෞතම බුද්ධ රාජ්‍යයෙහි අග්‍රශ්‍රාවක බව ලැබිණි.

එමෙන්ම එදින රැස් වූ 1250 ක මහා සංඝයා හට බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම වරට ඕවාද ප්‍රාතිමෝක්ෂය උදෙසන ලදී. ඕවාද ප්‍රාතිමෝක්ෂය යනු ශික්ෂා පද නොපැණවූ දීර්ඝ ආයුෂ ඇති බුදුවරුන්ගේ ශාසනවල දී ශ්‍රාවකයන්ට කෙරෙන අවවාදයයි. අපගේ ගෞතම බුදුරජුන්ගේ ශාසනය ද විසි වසරක් පුරාම නොකැළැල්ව පැවැතිණි. එහෙයින් ශික්ෂා පැණවීමක් විසිවසරක් පුරා නොපැණවිණි. මුල්ම වරට ශ්‍රාවකයින් හට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කරනු ලැබුවේ ද උතුම් නවම් පොහෝ දිනයේ දී ය.

ඛන්තී පරමං තපෝ තිතික්ඛා
නිබ්බානං පරමං වදන්ති බුද්ධා
න හි පබ්බජිතෝ පරූපඝාතී
සමණෝ හෝති පරං විහේඨයන්තෝ 

ඉවසීම තමයි පරම තපස කියල කියන්නේ. ඒ අමා මහ නිවන සියල්ලට ම වඩා උතුම් බව, බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. අනුන් නසන කෙනා පැවිද්දෙක් වෙන්නෙ නෑ. අනුන් ව වෙහෙසන කෙනාත් පැවිද්දෙක් වෙන්නෙ නෑ.

සබ්බපාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්තපරියෝදපනං
ඒතං බුද්ධානසාසනං 

සියලු පව් නො කිරීමත්, කුසල් දහම් උපදවා ගැනීමත්, තමන් ගේ සිත පිරිසිදු කිරීමත්, යන මේවා බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය යි.

අනූපවාදෝ අනූපඝාතෝ
පාතිමොක්ඛේ ච සංවරෝ
මත්තඤ්ඤුතා ච භත්තස්මිං
පන්ත’ඤ්ච සයනාසනං
අධිචිත්තේ ච ආයෝගෝ
ඒතං බුද්ධානසාසනං 

අන් අයට නින්දා අපහාස නො කිරීමත්, අනුන්ට පීඩා නො කිරීමත්, ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් යුතු වීමත්, භෝජනයේ පමණ දැන ගෙන වැළඳීමත්, දුර ඈත සෙනසුන් සේවනය කිරීමත්, සමථ විදර්ශනා භාවනාවේ යෙදීමත් යන මේ කරුණු තමයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනය වන්නේ.

මේ ලෝකයට කළාතුරකින් පහළ වන තථාගත වූ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම් වූ එකම එක උත්තමයාණන් වහන්සේගේ පිරිනිවන් පෑම යනු බොහෝ දෙවි මිනිසුන් හට ශෝකය තැවීම උපදවන දෙයයි. ඒ වන විට ගෞතම බුදු සසුන පිහිටුවා පන්සාළිස් වසරක් ගෙවී ගොස් තිබිණි. ගෞතම බුදු රජුන්ගේ වයස අවුරුදු 80 ක් විය.

ආනන්ද ස්වාමීන් වහන්සේත් සමඟ රජගහ නුවරින් නික්මී භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යස්ථාන වෙත වැඩම කළ සේක. එහිදී බුදුරජාණන් වහන්සේ අවසන් වරට ආනන්ද ස්වාමීන් වහන්සේට ඕලාරික නිමිති පවසන ලද්දේ ය.

ආනන්දයෙනි, විශාලා මහනුවර මනහරය. උදේනි සෑය මනහරය. ගෝතමක සෑය මනහරය. උදේනි සෑය මනහරය. සත්තම්බක සෑය මනහරය. ගෝතමක සෑය මනහරය. බහුපුත්තක සෑය මනහරය. සාරන්දද සෑය මනහරය. චාපාල සෑය මනහරය. ආනන්දයෙනි, යම් කිසිවෙකු විසින් සතර ඉර්ධිපාදයන් දියුණු කොට, බහුලව ප්‍රගුණ කො, නැග යා හැකි වාහනයක් මෙන් කොට, සිටිය හැකි තැනක් මෙන් කොට, මැනැවින් පවත්වා, මැනැවින් දියුණු කොට, මැනැවින් අරඹන ලදුව ඇත්නම්, ඔහු කැමැති නම් ආනන්දයෙනි, කල්පයක් හෝ කල්පයකට වැඩියෙනුත් සිටින්නේ ය.

ආනන්දයෙනි, තථාගතයන් විසිනුත්, සතර ඉර්ධිපාදයන් දියුණු කොට, බහුලව ප්‍රගුණ කොට, නැඟ යා හැකි යානාවක් මෙන් කොට, සිටිය හැකි තැනක් මෙන් කොට, මැනැවින් පවත්වා, මැනැවින් දියුණුකොට. මැනැවින් අරඹන ලද හෙයින් ආනන්දයෙනි, තථාගතයෝ කැමැති නම් කල්පයක් හෝ කල්පයකට වැඩියෙනුත් සිටිය හැක්කේ ය.

මෙසේත් ගොරෝසු නිමිති පවසද්දී ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ හට කල්පයක් වැඩ සිටීමට ආරාධනා කිරීමට සිත් පහළ වූයේ නැත. මාරයා විසින් යටපත් කළ සිත් ඇත්තෙකු සේ නිහඬව සිටියේ ය.

තුන්වරක් මෙසේ පැවසූ බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්දව සිටි ආනන්ද ස්වාමීන් වහන්සේ අමතා ‘ආනන්දයෙනි, ඔබ දැන් යමකට කල් දන්නෙහි නම් යව’ යැයි කියා වදාළ සේක.

ටික වේලාවකින් තනිව වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණි මාරයා ශාස්තෘන් වහන්සේගෙන් තුන් වරක්ම කරුණු දක්වමින් මෙසේ ආයාචනා කළේය.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා ! සුගතයන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා ! ස්වාමීනී දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවීමට කාලය යි.

තුන් වරක් ආයාචනා කළ මාරයාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

මාරය, ඔබ අල්ප උත්සාහයෙන් සිටුව. තථාගතයන් පිරිනිවීම වැඩි කල් නොයා සිදු වන්නේය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගතයෝ පිරිනිවී යන්නා හ.

ඉක්බිති ඒ උතුම් වූ නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී මනා සිහියෙන් යුතුව, නුවණින් යුතුව කල්පයක් වැඩ සිටිය හැකි ආයු සංස්කාරය අත්හළ සේක. එකල්හී මේ මහත් පෘථිවිය චලනය වූයේ ය. බිහිසුණු වූ ලොමු දහගැනීමක් වූයේ ය. අහස ගුගුරා වැහි පොද වැටුණේ ය. එකල්හී ඒ සම්බුදු මුව මඬලින් උදානයක් පහළ කළ සේක.

තුලමතුලඤ්ච සම්භවං – භව සංඛාරමවස්සජී මුනි
අජ්ඣත්තරතෝ සමාහිතෝ – අභින්දි කවචමිවත්තසම්භවන්ති

”ආධ්‍යාත්මයෙහි වූ නිවනෙහි ඇලුණු සිත් ඇති, එකඟ වූ සිත් ඇති, ශාක්‍ය මුනීන්ද්‍රයාණෝ හටගත් තුල්‍ය වූ අතුල්‍ය වූ භව සංස්කාරයන් අත්හළ සේක. තමන් වහන්සේ තුළ පැවැති කල්පයක් වැඩ සිටීමෙහි ආයු සංස්කාරය යුධ ඇඳුමක් බිඳින පරිද්දෙන් බිඳහළ සේක.”

නිර්මල චන්ද්‍රයා අහස් ගැබ මෝදුවෙමින් මේ උදා වූයේ,
– ගෞතම බුදු සසුනේ ප්‍රථම මහා සංඝ සන්නිපාතය සිදුවීම
– ප්‍රථම වරට ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම.
– ගෞතම බුද්ධ රාජ්‍ය යේ අග්‍රශාවක තනතුරු ලබා දීම.
– මහා කාරුණික සම්බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරයන් අත්හැරීම වැනි, 

උතුම් ශාසනික සංසිද්ධීන් සිදු වූ නවම් පුන් පොහෝ දිනය යි. මේ උතුම් පොහෝ දිනයේ අපි සතුටු සිතින් පෙහෙවස් සමාදන් වෙමු. ධර්මයේ හැසිරෙන්නට මහන්සි වෙමු. ජීවිතයට පින් රැස් කර ගන්නට අප්‍රමාදී වෙමු.

ඒ සියළු පින් අපටත් ගෞතම බුද්ධ ශාසනයේ සනාතන රැකවරණය ලැබීමට උපකාර වේවා !