දෙස් විදෙස් සැදැහැවතුන් බොහෝ දෙනෙකුගේ ආධාර උපකාර ඇතිව දඹදෙණිය, මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිකරන ලද අංග සම්පූර්ණ කුටි 26 කින් සමන්විත නව දෙමහල් කුටි සංකීර්ණය පසුගිය 2018 ජුනි මස 25 වන දින පූජා කරන්නට යෙදුනා. පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් මෙම කුටි සංකීර්ණයේ වැඩකටයුතු ආරම්භ කරන ලද්දේ 2017 වර්ෂයේ අගෝස්තු 11 වන දිනයි. මෙම නව කුටි 26 ට අමතරව ගිලන් කුටියක් සහ පුස්තකාලයක් ද දෙපසින් තනවා ඇත. කුටි 27 කින් සමන්විත පැරණි කුටි පද්ධතියට ම සම්බන්ධ කොට මෙම කුටි සංකීර්ණය ඉදිකොට ඇති අතර එම පැරණි කුටි ද අලුත්වැඩියා කොට නව පෙනුමක් ලබාදී ඇත.

අතීතයේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ සිටි භික්ෂුණී සංඝයා සිහිගන්වන, බුදුසසුනෙහි අනගාරිකව සසුන් පිළිවෙත් පුරන පින්වත් මෑණියන් වහන්සේලාගේ පහසු විහරණය උදෙසා කරන ලද මෙම සෙනසුන් පූජාව සඳහා කාලයෙන්, ධනයෙන්, ශ්‍රමයෙන් ආධාර උපකාර කළ සියලු දෙනාට කරදර බාධක හිරිහැරවලින් තොරව සුවසේ ධර්මයේ හැසිරීම පිණිසත් මේ ගෞතම බුදු සසුනේදී ම සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් මේ සියලු පින් හේතු වාසනා වේවා!

සියල්ලෝ ම මේ උතුම් පුණ්‍ය කර්මය දැකබලා සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!