බොහෝ දුෂ්කරතා මධ්‍යයේ අනාගත ලෝකය ජයගන්නට වෙර දරන අපේ රටේ දූ දරුවන්ට අත්වැලක් වෙමින් දැනුමෙන් මෙන්ම යහපත් ගුණධර්මයන්ගෙන් ද පොහොසත් දරු පරපුරක් දැයට දායාද කරනු පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයේත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේත් නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයෙන් ඇරඹි ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතියේ දෙවැනි අදියර ආරම්භ විය.

දිවයිනේ නන් දෙසින් තෝරාගත් සිංහල සහ දෙමළ සිසු දරු දැරියන් 750 දෙනෙකු වෙනුවෙන් ප්‍රථම ශිෂ්‍යත්වය ලබා දීම සහ පසුගිය වසරේ අ.පො.ස (උ.පෙළ/සා.පෙළ) කඩයිම් විශිෂ්ට ලෙස සමත් වූ ශිෂ්‍යත්වලාභී දරුවන්ට පදක්කම් පිරිනැමීම වෙනුවෙන් පැවති උත්සවය අමරපුර මහා නිකායේ කල්‍යාණිවංශ පාර්ශ්වයේ මහා නායක ධුරන්ධර අතිපූජනීය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන් වහන්සේගේ සහ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පින්බර සහභාගීත්වයෙන් පසුගිය අගෝස්තු 21 වැනි දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සුනිල් එස්. සිරිසේන මහතා, ප්‍රවීණ සංගීතවේදිනී නන්දා මාලිනී මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද ශිෂ්‍යත්වලාභී දරුවන්ගේ දෙමව්පියන් සහ කැපකරු මව්පියන් ද සහභාගී වී සිටියහ.

දැයේ දූ දරුවන් වෙනුවෙන් සිදු කෙරෙන්නා වූ මේ මාහැඟි සත්කාරයෙන් රැස්වන්නා වූ සියලු පින් සියලු දෙනා සතුටින් අනුමෝදන් වෙත්වා!