නමෝ බුද්ධාය!

2017 ක් වූ සැප්තැම්බර් මස 02 වන, සුන්දර සෙනසුරාදා දින දිවුලපිටිය, හුණුමුල්ල, මහමෙව්නාව භාවනා අසපුවේ දී …..

සියක් නමක් වූ මහා සඟරුවන මහත් හරසරින් අප අසපුව වෙත වඩම්මවා, ප්‍රණීත අයුරින් දිවා දානයත්, පිරිකරත් පූජා කොට මහා දන් පවත්වා මහා පින් රැස් කරගත් අපි,

ශ්‍රීමත් සුගත තථාගත ගෞතම අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශාරීරික ධාතූන් වහන්සේලා තැන්පත් අලංකාර ධාතු කරඬුන් වහන්සේ හේවිසි නද මැද මහත් පෙරහරින් වඩම්වා සුවසේ තැන්පත් කොට, අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට සුවසේ වැඩ සිටීමට ඉතා මනරම් අයුරින් නිමවන ලද අසිරිමත් සුගන්ධ කුටිය භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු සිරිපා කමල් අබියස වැඳ වැටී පූජා කලෙමු. ගිලන්පස, මල්, පහන්, සුවඳ දුම් ද පූජා කලෙමු. මහා පින් රැස්කලෙමු.

ඉන් අනතුරුව, අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර වූ සාරිපුත්ත, මහා මොග්ගල්ලාන, මහා කස්සප, ආනන්ද මහ රහතන් වහන්සේ ආදී උත්තම මහ රහතන් වහන්සේලාගේ පරපුරෙන් පැවතෙන, සිව්දිගින් වඩින මහා සංඝරත්නය උදෙසා අලංකාර කුටි සෙනසුන් සයකුත්, සුන්දර උද්‍යානයකුත් පූජා කොට තවත් පින් රැස් කෙරුවෙමු.

ජීවමාන බුදු රජුන් වැනි වූ පරම පූජනීය ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේට සුවසේ වැඩ සිටීමට තනවා පුදන ලද සිරි ගෞතම බෝධි මණ්ඩපයට අලුතින් එකතු වූ, මනරම් සිංහ කුළුණින්, රන් වැටින්, පැන් පොකුණින්, ධජ පතාකයන්ගෙන් විසිතුරු වූ සිරි ගෞතම බෝධි ද්වාරය, අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සුරතින් ගෞතම බුදු සසුනට පූජා කොට, ගුරු දෙවිඳුන්ගේ මිහිරි ස්වරයෙන් උතුම් සඳහම් දෙසුමක් අසා සිරි ගෞතම බෝධි වන්දනාව සිදු කොට මහත් පින් රැස් කෙරුවෙමු.

අවසාන වශයෙන් එදින රාත්‍රියේ පටන් සැප්තැම්බර් මස 05 වැනිදා, එනම් බිනර පුන් පොහෝ දා මධ්‍යම රාත්‍රීය දක්වා දහස් ගණිනින් සැදැහැති දනන් හට සුගන්ධ කුටියේ සුවසේ වැඩ සිටින අපගේ භාග්‍යවතුන් වහන්සේව දැක බලා සිත් සේ වන්දනා කොට උතුම් පින් රැස් කර ගන්නට මඟ හසර පාදා තවත් පින් රැස් කෙරුවෙමු.

අහෝ ! මෙය නම්, අපහට අසිරිමත් පුණ්‍ය මංගල්‍යයක්මය ..!
අප සැමගේ ජීවිත වලට අසිරිමත් පුණ්‍ය මංගල්‍යයක්ම ය ..!

මේ අසිරිමත් පුණ්‍ය මංගල්‍යයෙන් රැස් වූ සියළු පින් සියල්ලෝම
සාධුකාර පවත්වමින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා ..!

මේ ගෞතම බුදු සසුනේ දීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන
සසර දුකින් නිදහස් වෙන්නට රැස් කරගත් මේ සියළු පින් හේතු වාසනා වෙත්වා.

තෙරුවන් සරණයි!

දිවුලපිටිය,හුණුමුල්ල, මහමෙව්නාව භාවනා අසපුවේ
උපස්ථාන කමිටුව,
තාවතිංස යාත්‍රා සංවිධානය.