ක්ඛිණාපථයෙහි අස්සක රජුගේත්, අලක රජුගේත් සීමාවට එම පෙදෙස අයත් විය. රමණීය ගෝධාවරී නදී තෙර එක්තරා සොඳුරු අසපුවක් විය. මල් තුරු ලතායෙන් සුසැදි එහි කුටීන්හි සිල්වත් බ‍්‍රාහ්මණවරු බවුන් වැඩූහ. එහි සිටි ප‍්‍රධාන බ‍්‍රාහ්මණයා එකසිය විසි හැවිරිදි වයෝවෘද්ධ ගුණවතෙකි. සුදුවන් කෙස් රැවුල් ඇති, ශ්වේත වස්ත‍්‍රධාරී හේ නිතර බවුන් වඩයි.

දිනක් තම සිසු ගණ අමතා මෙසේ පැවසීය.

“භවත් සිසු දරුවෙනි, සැදැහැවතුන් පුදන ලද බොහෝ සහල්, ගිතෙල්, මී පැණි, උක් සකුරු, තල, මුං ආදිය අප කෝෂ්ඨාගාරයෙහි ඇත. මා සිතෙහි ඇති ආශාව නම් දහසක් බ‍්‍රාහ්මණයන් කැඳවා මහා යාගයක් කිරීමටයි.”

“භවත් ආචාර්යපාදයෙනි, දන් දීම ඉතා යහපති! එසේය, දහසක් බ‍්‍රාහ්මණයන් කැඳවා මේ සියලු දෑ දාන විෂයෙහි පූජා කරමු.”

වයෝවෘද්ධ බ‍්‍රාහ්මණ තෙමේ සතුටින් ඉල්ප ගියේය. ඔහු සිත් පරිදි යාගය සිදුවිය. එ් මහා යාගය දා හේ කඩිසරව එහෙ මෙහෙ ඇවිදිමින් දන් බෙදූ අයුරු හැමට සතුට ගෙන දුන්නේය. තමා සතු සියලු දෑ හේ දන් දුන්නේය. කොටින්ම තමාගේ ශ්වේත වස්ත‍්‍ර පවා දන් දුන්නේය.

අසපු භූමියේ සුවිශාල නුග රුකකි. මෙම තවුස් බ‍්‍රාහ්මණයන් බවුන් වඩන්නේ එම නුග රුක් සෙවණේය. පහතට නෙරී ගිය මුල්වලින් සුසැදි නුග රුකෙහි අතු පතර විහිද ඇත්තේ පුළුල්ව විදහා ගත් හරිත වර්ණ ඡත‍්‍රයක් ලෙසිනි. මහළු බමුණු තෙමේ නුග රුක් සෙවණට පැමිණ පද්මාසනයෙන් වාඩි විය. සැණෙකින් චිත්ත සමාධිය ඇති කරගත්තේය. ඔහුගේ යොවුන් සිසු දරුවෝ තම ගුරුදේවයන් වටා පද්මාසනයෙන් වාඩි වූහ. සිත් දැහැන් ගත කරගත්හ. ලා සුළඟ හමාවිත් නුග රුකෙහි පත් සොළවමින් සිසිලස දුන්නේය.

පසුදින වයෝවෘද්ධ බ‍්‍රාහ්මණයා මහත් උද්යෝගයකින් යුතුව සක්මන් කරමින් තම අසපුව දෙස බැලීය. කලින් දා දහසක් බමුණන් විෂයෙහි දන් පිදූ අයුරු සිතුවම් පටක් සේ දිස්විය. රම්‍ය වූ අසපුව දැන් සියල්ලෙන් ශූන්‍ය වී ඇත. ධන ධාන්‍ය, හිරණ්‍යස්වර්ණ ආදියෙන් ශූන්‍ය වී ඇත. ආශ‍්‍රම පදයෙහි ඇති එම හිස් බව තුළ ඔහු අපූර්ව සුන්දරත්වයක් විඳින්නට විය. ඉතා සන්සුන් පියොවින් ගෝධාවරියෙහි ජලය ගලනා අයුරු බලා සිටි විට නිම්හිම් නැති ප‍්‍රීතියකින් බමුණහුගේ සිත පහන් වී ගියේය. කිසියම් අලෞකික සුන්දරත්වයකින් සිත වෙලී යනු ඔහුට දැනිණ.

එවේලෙහි තම අසපුව දෙසට කිසියම් වයෝවෘද්ධ තාපසයෙකුගේ ආගමනයක් ඈතින් දිස්විය.

‘ම්…. කවුද අර අසපුව දෙසට පැමිණෙන්නේ…..? ඕ…. හෝ…. ඉතාමත් රූක්ෂ ව‍්‍රතධාරී සන්‍යාසියෙකු වගෙයි…. ඉතා හොඳයි…. ඊයේ මා පිදූ අසිරිමත් යාගය ගැන අසා මා හට ආසිරි පැතීමට පැමිණෙන ඍෂිවරයෙකු වගෙයි….’

“තොපට ස්වාගතයෙක් වේවා…! භවතාණෙනි. මෙම අසපුවට සුවසේ ආගමනය කළ මැනැව. සිල්වතුන්, ගුණවතුන් උදෙසා මෙහි සියලු ද්වාරයෝ විවර වී ඇත්තාහ. භවතාණෙනි, මෙහි වැඩිය මැනැව. අර අතනින් පැන් ගෙන පා දෝවනය කළ මැනැව. මෙම තණ ඇතියෙහි අසුන් ගත මැනැව…. පින්වත් දරුව, එන්න… මෙම ආගන්තුක ඍෂිවරයා හට පැන් බඳුනක් පිළිගන්වන්න…”

නිහඬව පැමිණි මෙම සන්‍යාසියා මද සිනායෙකින් යුතුව උගුරෙහි රැල්බුරුල් හරිමින් තණ ඇතිරියෙහි අසුන් ගෙන දෙපා හකුළා පද්මාසනයෙන් වාඩි විය. දෑස් විදහා වටපිට බැලීය. තම දික් වූ නියපොතු ඇති ඇඟිලි වලින් දිගට වැඞී ගිය යටි රැවුල පහතට පිරිමැද්දේය. වයෝවෘද්ධ බ‍්‍රාහ්මණයා මහත් බැතියෙන් යුතුව ඔහු දෙස බලා සිටියේය.

“ප‍්‍රිය භවත් සන්‍යාසියෙනි, තොප කවර දිශාවෙකින් පැමිණියෙහිද? කිසියම් විශේෂ කරුණක් අරභයා පැමිණියෙහිද?”

“එම්බා භවත, මම් වනාහී පුරාණ ඍෂීන්ගේ ජාත භූමිය වූ දණ්ඩකාරණ්‍යයෙහි සිංහ ව්‍යාඝ‍්‍රාදීන්ගෙන් ගහණ වූ ඝෝර වන මැද ගල් ලෙනක වසන්නෙක්මි. එසේය… භවත, මා පැමිණියේ විශේෂ කරුණක් අරභයා ය. රන් කහවණු පන්සියයක් මට ඇවැසිය. යාග විෂයෙහිලා දන් දීම පිළිබඳ චිරප‍්‍රසිද්ධ වූ තොප සොයා ආයේ එනිසා ය.”

මහළු බමුණු තෙමේ මහත් කම්පාවට පත් විය. මේ මොහොත වන විට තමා සතුව තිබෙන්නේ යන්තම් පොරොවා ගත හැකි වස්ත‍්‍රයක් පමණි. සියල්ල දන් දී හමාරය.

“අහෝ! මා ප‍්‍රිය තපස්වීන් වහන්ස, කමා කළ මැනැව. රන් කහවණු පන්සියයක් මේ මොහොතේ සොයා ගැනීම අතිශයින්ම දුෂ්කර ය. ප‍්‍රිය ඍෂිවරයාණෙනි, කමා කළ මැනැව. දහසක් බ‍්‍රාහ්මණයන් විෂයෙහි ඊයේ දිනයෙහි සියල්ල පුදන ලද්දේ ය. එය අනුමෝදන් වනු මැනැව.”

සැණෙකින් සන්‍යාසියාගේ ස්වරූපය වෙනස්ව ගියේය. හේ බැම හකුලා ගත්තේය. පැන් කෙණ්ඩිය ඔසොවා යළි බිම තැබුවේය. හිස ජටාව යළි බැඳගත්තේය. දෑස් විදහා රෞද්‍ර විලාශයෙන් බලා සිටියේය. බුලත් සැපීමෙන් කාලවර්ණ වී ගිය දත් විදහා සිනහ නැගුවේය. යළි නිරනුකම්පික ස්වරයෙන් තියුණු ලෙස පවසන්නට විය.

“හහ්! …. එම්බා බ‍්‍රාහ්මණය, තොප ද බ‍්‍රාහ්මණයෙකි එ්? මහා දානපතියෙක්ලු එ්? යාග විෂයෙහිලා චිරප‍්‍රසිද්ධිය ඇත්තෙක්ලු එ්? එහෙත් දණ්ඩකාරණ්‍යයෙන් පැමිණි රූක්ෂ ව‍්‍රතධාරී බ‍්‍රාහ්මණයා කහවණු පන්සියයක් ඉල්ලන කල්හි උකටලී වෙයි එ්?”

කිසිවක් කතා කරගත නොහැකි අසරණ බ‍්‍රාහ්මණයා බලාගත්වනම බලාගෙන සිටියේය. සන්‍යාසියාගේ ආනුභාවයට යටත්ව සිටියේය. බියකරු විලාශයක් ගත් සන්‍යාසියා දකුණු අත ඔසොවා බ‍්‍රාහ්මණයා දෙසට තම අත්ල පහළට විදහා පෑවේය. එය ආශිර්වාද මුද්‍රාවක් බඳු විය.

“හහ්! එම්බා බ‍්‍රාහ්මණය, මෙය තොප අතින් සිදු වූ බරපතල ආපත්තියකි! වරද තොප ඉක්මවා ගියේය. මා හට කරන්නට දෙයක් නැත” කියමින් හේ තම දෑස අහස දෙසට හැරවූයේය. යළි රෞද්‍ර විලාශයෙන් බ‍්‍රාහ්මණයා දෙස බැලුවේය.

“එම්බා බ‍්‍රාහ්මණය, මම තොපට ශාප කරමි. මින් සත් දිනක් ගිය තැන තොපගේ මුදුන සත් කඩකට පැලී යනු ඇත!”

සන්‍යාසියා සැරයටියත්, පැන් කෙණ්ඩියත් ගෙන වේගයෙන් නැගිට්ටේය. සිටිවනම ස්වල්ප මොහොතක් බලා සිටියේය. කිසිවක් නොදොඩා ආපසු හැරී ගියේය.

මේ සිදුවන්නේ කුමක්දැයි බ‍්‍රාහ්මණතුමාට අදහාගත නොහැකි විය. ඔහුගේ දෑසින් කඳුළු ධාරාවෝ ගැලූහ. හෘදය වේගයෙන් ස්ඵන්දනය විය. එක්සිය විසි වියැති සිය සිරුර අවසඟව යනු ඔහුට දැනුණි. හේ එතැනම බිම වාඩිවිය. තමා මෙතෙක් විඳිමින් සිටි අලෞකික සතුට අතුරුදහන් වී ගොස් කිසියම් අනතුරක බියජනක සේයාවක් දිස්ව ගියේය. ඍෂිවරුන්ගෙන් ශාප ලත් දණ්ඩකාරණ්‍යයෙහි සිට පැමිණියෙකි මොහු. දහසක් බ‍්‍රාහ්මණයින්ට දන් දීමෙන් ලත් විපාකය ද මේ…? ජීවිතයේ අවසන් භාගයේදී මෙතෙක් පිරූ තපස් චර්යාවෙන් ඵල ලැබෙන අයුරු ද මේ…? මෙම ශාපයෙන් මිදෙන්නට මගක් නැත්තේ ද..?

අසීරුවෙන් නැගිට ගත් වයෝවෘද්ධ බ‍්‍රාහ්මණ තෙමේ සිය තණ ඇතිරිය කරා ගොස් වැතිර ගත්තේය. එ් මොහොතේ සිට ඔහුට අහර වැළඳීමෙහි රුචියක් නැත. තොළ කට වියැලී ගොස් ය. අග්නි පූජායෙහි සිත උකටලී විය. චිත්ත සමාධිය ලැබදුන් කසිණාලෝකය සිතෙන් බැහැර විය. මහත් විස්සෝපයකට පත්ව සුසුම් හෙළන්නට පටන් ගති. දැස් පියා ගත් සැණින් දිස්වන්නේ රෞද්‍ර ලෙස තමා දෙස බලා සිටින රතුවන් ඇස් ඇති සන්‍යාසියා ය. හේ මහත් බියට පත්විය.

රෑ බොහෝ වේලා ගත වන තුරු මොහුට නින්දක් නැත. සැණෙකින් තමා සිටි අඳුරු කුටිය එ්කාලෝක කරමින් කිසියම් ආලෝකයක් පහළ විය. බියට පත් බමුණු තෙමේ ඇස් පිය නොසොල්වා එ් දෙස බලා සිටියේය. එම එළිය මැදින් අතිශය ශෝභාසම්පන්න වූ දිව්‍යාංගනාවක් දිස් විය. ඕ මිහිරි බසින් බමුණා ඇමතුවාය.

“බ‍්‍රාහ්මණය, බිය නොවව. දුක් නොවව. තොපට ශාප කළ තැනැත්තා ඍෂිවරයෙක් නොවේ! සන්‍යාසියෙක් ද නොවේ. උග‍්‍ර ව‍්‍රතධාරී සිද්ධිලාභියෙක් ද නොවේ. හේ කුහකයෙකි. වංචකයෙකි. ධනයෙන් වැඩ ඇති රැවටිලිකාරයෙකි….. හේ නොදනී. එසේය බ‍්‍රාහ්මණය….. මුදුන ද, මුදුන පැළීම ද හේ නොදන්නේ ම ය…. හහ්! යම් හෙයකින් බ‍්‍රාහ්මණය, මුදුන හෝ මුදුන පැළීම ගැන දැනගත්තා නම් කිසිදා මෙවැනි වංචාවක් නොකරයි….”

දිව්‍යාංගනාවගේ බස ඇසූ බමුණහුගේ දීන මනස සැණෙකින් පහව ගියේය. හේ මහත් ප‍්‍රීතියෙන් යුතු නැගිට වාඩිවිය. දේවතාවියට ආචාර කොට මෙසේත් තෙපළේය.

“ප‍්‍රිය දේවතාවිය, තී මාගේ ඉෂ්ඨ දේවතාවියක් බඳු ය. තිට පින් සිදුවේවා! මසිත වෙලාගත් බිය පහව ගියේය. එහෙත් තී පැවසූ කිසියම් කරුණක් මා සිත්හි රැව් දේ. මුදුන යනු කුමක්ද…? මුදුන පැළීම යනු කුමක්ද…? එය තී දන්නී ද?”

“භවත, නොදනිමි මම්. එබඳු නුවණක් නොමැත මා හට. බ‍්‍රාහ්මණය, මුදුන හා මුදුන පැළීම යනු ආශ්චර්යවූත්, අද්භූත වූත් දහමෙකි. එය ලොව දිනූ මුනිවරුන්ගේ දහමයි.”

“අහෝ! පින්වත් දේවතාවිය, අසිරිමත් කියුමෙකි දැන් තී පැවසූයේ…. මේ පෘථුවි තලයෙහි එය දත් මුනිවරු ජීවමානව සිටිත් ද?”

“එසේය. බ‍්‍රාහ්මණය, එ් අසිරිමත් මුනිවරයා ලොව පහළ වී සිටී…! හේ ඔක්කාක රාජවංශයෙහි උපන්නේය. නව යොවුන් වියෙහිදී සියලු සැප හැරදා කිඹුල්වතෙන් නික්ම ගියේය. ලෝකය එ්කාලෝක කරන හේ අසිරිමත් ශාක්‍ය පුත‍්‍රයෙකි.

භවත, හේ සියලු සිද්ධිලාභී ඍෂිවරයෙකි. ලොව සියල්ල දැක්මෙහි විස්මිත නුවණින් හෙබියෙකි. සියලු දහම්හි පරතෙර දුටුවෙකි. විස්මිත නේත‍්‍ර දෘෂ්ටි ඇත්තෙකි. සියලු කර්ම අවසන් කළ කෙනෙකි. සියලු කෙලෙසුන් නැසූයෙකි. සියල්ලෙන් නිදහස් වූවෙකි. ඔහුට යම් කිසි නමක් ඇවැසි නම් විස්මිත නමක් ද ඇත්තේ ය. එනම් ‘සම්මා සම්බුද්ධ’ ය.

පින්වත් බ‍්‍රාහ්මණය, එ් භගවතාණෝ විස්මිත නුවණින් යුතුව මේ අද්භූත දහම දෙසති. තොප ඔහු කරා යව. ඔහුගෙන් මුදුනත හා මුදුන පැළීම ගැන අසව. නිසැකව ම ඇවැසි පිළිතුරු තොපට ලැබෙනු ඇත.”

“අනේ පින්වත් දේවතාවිය…. මේ…. මේ ….. මා සිරුරෙහි රෝමෝද්ගමනය වී ඇති අයුරු බලනු මැනැව. සැබැවින් ම සම්මා සම්බුද්ධ යන නාමය ඇසීම පවා ආශ්චර්ය අද්භූත කරුණෙකි. අනේ…. එ් මහෝත්තමයාණන් දැන් කොහි වැඩසිටිත් ද? කවර නගරයක සිටිත් ද? කවර ජනපදයක සිටිත් ද? දෙපා ඇත්තවුන් අතුරෙහි උත්තම වූ එ් සම්බුදු රජුන්ව දැක නමදින්නට මමත් කැමැත්තෙමි”

“භවත් බ‍්‍රාහ්මණය, කෝසල රාජ්‍යයෙහි ශ‍්‍රාවස්ථි නම් සමෘද්ධිමත් රම්‍ය නගරයක් ඇත. එහි නරෝත්තම වූ ශාක්‍ය පුත‍්‍රයාණෝ වැඩසිටිති. වහා උන්වහන්සේ දැකගනුව.”

සැණෙකින් දෙව්දුව අතුරුදන් වූවාය. අපමණ ප‍්‍රීති උද්වේගයෙන් යුතුව බ‍්‍රාහ්මණ තෙමේ පසුදින උදෑසනම ස්වකීය සිසු දරුවන් කැඳවීය. සන්‍යාසියාගෙන් ශාපලත් දුක්ඛිත පෙනුමෙන් යුතුව සිටි තම ආචාර්යවරයා වෙනුවට අතිශයින්ම පියකරු සිනහවක් නඟා ගත් මහළු බ‍්‍රාහ්මණයා දකින විට සිසු දරුවෝ ද සොම්නස් වූහ.

“මා ප‍්‍රිය දරුවෙනි, ලොවෙහි යමෙකුගේ උපත දුර්ලභ නම් එ් දුර්ලභ උපත සිදු වී ඇත. වහා යව්! දරුවෙනි. බැහැදකිව්! දරුවෙනි. හේ වනාහී තිලොව ජයගත් සම්බුදුරජහු ය. සැවැත් නුවර මේ නරෝත්තමයණෝ සිටිති.”

“භවත් ආචාර්යපාදයාණන් වහන්ස, සම්මා සම්බුදු කෙනෙක් අප හඳුනාගන්නේ කෙසේද?”

“දරුවෙනි, ලක්ෂණ ශාස්ත‍්‍රයෙහිලා එය තෙපි නොදනිව් ද? දෙතිස් මහා පුරුෂ ලක්ෂයෙන් හෙබි එ් මොහෝත්තමයාණන් දකිව්! තෙපි ගොස් උන්වහන්සේට වන්දනා කරව්. මාගේ ජාතිය ද, ගෝත‍්‍රය ද, මා සිරුරේ ඇති සළකුණු ද, වේදය ගැන මාගේ ඥානය ද, මාගේ සිසු පිරිස ගැන ද අසව්. මුදුනත්, මුදුන පැළීම ගැනත් අසව්. හැබැයි දරුවෙනි, එය ඇසිය යුත්තේ මුවින් නොවේ….! මනසින් ය. එ් සම්බුදු රජාණෝ මුවින් පිළිතුරු දෙනු ඇත.”

සුත්ත නිපාතයෙහි පාරායණ වර්ගයේ වත්ථු ගාථා ඇසුරෙනි.

රචනය – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ