සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව
සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව
ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං මහාපඤ්ඤානං යදිදං සාරිපුත්තෝ, ඒතදග්ගං භික්ඛවේ මම සාවකානං ඉද්ධිමන්තානං යදිදං මහාමොග්ගල්ලානෝ.

පින්වත් මහණෙනි, මේ පින්වත් සාරිපුත්තයන් වනාහී මාගේ ශ්‍රාවක වූ මහා ප්‍රඥාවන්ත භික්ෂුන් අතරින් අග්‍ර භාවයට පත්වන්නේය, මේ මහා මොග්ගල්ලානයන් වනාහී මාගේ ශ්‍රාවක වූ ඉර්ධිමත් භික්ෂුන් අතරින් අග්‍ර භාවයට පත්වන්නේය.

ඒතදග්ග පාලි – අංගුත්තර නිකාය

“පින්වත් මහණෙනි, සාරිපුත්තයන් යහපත් කුසල් ගුණයෙන් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් මහා ප්‍රඥාවකින් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් ඉතා පළල් වූ ප්‍රඥාවකින් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් සතුට උපදවන ප්‍රඥාවකින් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් අතිශය වේගවත් ප්‍රඥාවකින් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් තීක්ෂණ ප්‍රඥාවකින් යුක්තයි. පින්වත් මහණෙනි, සාරිපුත්තයන් අවබෝධයක් තුළින් නොඇලෙන ප්‍රඥාවකින් යුක්තයි……….

පින්වත් මහණෙනි, ආර්ය වූ සීලස්කන්ධයෙහි බොහෝ කල් වශීභාවයට පත් කොට පාරමීභාවයට පත් කොට තිබෙයි කියා, ඒ වගේම ආර්ය වූ සමාධිස්කන්ධයෙහි බොහෝ කල් වශීභාවයට පත් කොට පාරමීභාවයට පත් කොට තිබෙයි කියා, ඒ වගේම ආර්ය වූ ප්‍රඥාස්කන්ධයෙහි බොහෝ කල් වශීභාවයට පත් කොට පාරමීභාවයට පත් කොට තිබෙයි කියා, ඒ වගේම ආර්ය වූ විමුක්තියෙහි බොහෝ කල් වශීභාවයට පත් කොට පාරමීභාවයට පත් කොට තිබෙයි කියා, යමෙක් ගැන මනා කොට කියන්නේ නම්, එසේ මනා කොට කියන්නේ සාරිපුත්තයන් ගැනමයි.

ඒ වගේම පින්වත් මහණෙනි, භාග්‍යවතුන් වහන්සේගේ අනුජාත පුත්‍රරත්නය, ලය මඬලෙහි උපන් පුත්‍ර රත්නය, මුවින් පහළ වූ පුත්‍රරත්නය, ධර්මයෙහි හටගත්, ධර්මයෙන් නිර්මිත වූ, ධර්ම දායාදය වූ, ආමිස දායාද නොවූ පුත්‍රරත්නය යැයි කියා යම් කෙනෙකුට කියයි නම් එය මනා කොට පවසන්නේ සාරිපුත්තයන් ගැනමයි. භාග්‍යවතුන් වහන්සේගේ ලය මඬලෙහි උපන්, මුවින් පහළ වූ, ධර්මයෙන් උපන්, ධර්මයෙන් නිර්මිත, ධර්ම දායාදය වූ, ආමිස දායාදය නොවූ පුත්‍රයා වනාහී සාරිපුත්තයන්මය.

පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් ප්‍රවර්තනය කරන අනුත්තර වූ ධර්ම චක්‍රය මනාකොට ඒ අනුවම ප්‍රවර්තනය කරන්නේ සාරිපුත්තයන්ය.

– අනුපද සූත්‍රය (ම.නි. 03)

මහා නුවණක් තියෙන, සමාධිමත් සිතක් තියෙන, බුදු සමිඳුන්ගේ ධර්ම චක්‍රය ඒ අයුරින්ම පවත්වන ඒ සැරියුත් තෙරුන් වහන්සේ මහා පොළොව වගේ, ජලය වගේ, ගින්නක් වගේ කිසි අරමුණකට ඇලෙන්නෙත් නෑ. ගැටෙන්නෙත් නෑ.

ප්‍රඥා පාරමිතාවට පත්වෙලා, මහා බුද්ධියකින් යුක්ත, මනා සිහිනුවණකින් යුක්ත, නිවී ගිය සිතක් ඒ භික්ෂුවට තියෙන්නේ. ඒ වුණත්, බුද්ධිහීන නැති ඒ භික්ෂුව හැමතිස්සෙම හැසිරෙන්නෙ කිසිවක් නොදන්න කෙනෙක් වගේ.

– සාරිපුත්ත ථේරගාථා

“මට නිමේෂයකින් කෝටි ලක්ෂයක් ආත්ම භාවයන් මවන්ට පුළුවනි. මට ඕන ඕන පිළිවෙලට ඉර්ධි බලය හසුරුවන්ට පුළුවනි. මා විසින් මේ ඉර්ධි බලය වශී කරගෙනයි තියෙන්නෙ.

ඒ භික්ෂුව සමාධියෙත් නුවණෙත් පරතෙරට ගිය තෘෂ්ණාවෙන් නිදහස් වූ මුනිඳුන්ගෙ සසුනෙ තමයි ඉන්නෙ. මොග්ගල්ලාන ගෝත්‍රයට අයිති ඒ නුවණැති භික්ෂුව එක`ග වූ සිිතින් කෙලෙස් කඩල බිඳල දැම්මෙ රසකිඳ වැලක් කඩාදාන හස්තිරාජයෙක් වගේ.

බුදු සමිඳුන් තමයි මට වදාළේ. ඊට පස්සෙ මං භික්ෂු සංඝයා බලා සිටිද්දීම මගේ මේ මහපට ඇ`ගිල්ලෙන් පූර්වාරාම විහාරය කම්පා කළා.

සක්දෙව් රජුගේ වෛජයන්ත ප්‍රාසාදයත් තමන්ගේ ඉර්ධි බලයෙන් මහපට ඇ`ගිල්ලෙන් කම්පා කරවල ඒ දෙව් පිරිසත් තැති ගැන්නුවා. ඒ වැඩේ කළ භික්ෂුවත් මමයි.

ධ්‍යාන විමෝක්ෂ බලයෙන් මහාමේරු පර්වත මුදුන ස්පර්ශ කළේත් භික්ෂුවක්. දඹදිව පූර්ව විදේහ කියන රටේ මිනිසුන් නිදන භූමිය ස්පර්ශ කළේත් භික්ෂුවක්. මම තමයි ඒ භික්ෂුව.

– මොග්ගල්ලාන ථේරගාථා

“පර්වතයේ බෑවුමට වෙන්ට, නිකෙලෙස් වූ, හැම දුකින් එතෙරට වැඩි, මුනිරජාණන් වැඩඉන්නවා. මාරයා පැරද වූ, ත්‍රිවිද්‍යාලාභී ශ්‍රාවකයන්ව තමයි උන්වහන්සේ ඇසුරු කරන්නෙ.

මහා ඉර්ධි ඇති මොග්ගල්ලානයන් වහන්සේ තම සිතින් ඒ ශ්‍රාවකයන්ගේ නිකෙලෙස් සිත, විමුක්ති සිත සොය සොයා ඔවුන්ගේ සිත් ලුහු බඳිනවා.

හැම දුකින් එතෙරට වැඩිය, සියලු ගුණයෙන් පිරිපුන් වූ නොයෙක් ආකාර වූ ගුණ මහිමයෙන් යුතු ගෞතම මුනිරාජාණන් වහන්සේවයි ඇසුරු කරන්නෙ.”

– මොග්ගල්ලාන සූත්‍රය (සං.නි. 01)

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ අභිනවයෙන් ඉදිවන අග්‍රශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා

රහතන් වහන්සේ යන නම පවා ඇසීම සුන්දර දෙයකි. රහතන් වහන්සේ නමක් දැකගන්නට ලැබීම පවා මහත් වාසනාවකි. මිනිස් ලොව මිනිසුන් අතර සිටිමින් මහපොළොව මත පා තබා ඇවිද ගිය ඒ රහතන් වහන්සේලා අයත් වන්නේ ආශ්චර්යයවත් මිනිසුන්ගේ ගණයටයි. එවැනි මහෝත්තමයන් වහන්සේලාගෙන් සෝභමාන වූ අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඒකාලෝක කරමින් සසුනඹරට සුපුන් සඳ වූයේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලාය.

දිවමන් මුනිරජුන් පිරිවරා වැඩසිටි, මහා ප්‍රඥා ඇති, මහා තේජස් ඇති ඒ මහෝත්තම අග්‍රශ්‍රාවකයන් වහන්සේලා සිහිගන්වමින්, සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ ප්‍රධාන ඝර්භයේ සම්බුද්ධරාජ ප්‍රතිමා වහන්සේ දෙපස අඩි පහක් වූ මනරම් ආසනයක් මත ඉදිවන අග්‍රශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා ගේ උස අඩි 12 කි.

මෙම මාහැඟි  පුණ්‍යකර්මය සඳහා ශක්ති පමණින් ආධාර කරමින් දායකත්වය ලබාදුන් සැදැහැවත් ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්යසත්‍ය අවබෝධ කරගැනීමේ දුර්ලබ භාග්‍ය උදාවේවා ! යි ඉත සිතන් සෙත් පතමු.

විමසීම්

මහමෙව්නාව භාවනා අසපුව,
වඩුවාව, යටිගල්ඔළුව,
පොල්ගහවෙල.

ඊමේල්: info@mahamevnawa.lk
දුරකතන: (0094) 71 05 07 281 /  (0094) 77 10 20 363