ශ්‍රීසම්බුද්ධ පරිනිර්වාණයෙන් එළැඹි 236 වැනි වසරේ, පොසොන් පුර සඳ නැගුණු පුණ්‍යවන්ත දිනයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සදහම් පණිවිඩය ද රැගෙන මිහිඳු මහ රහතන් වහන්සේ මේ පින්බිමට වැඩම කළ සේක. එදා පටන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ සදහම් සන්දේශය ලක්දිව පුරා පැතිරී ගියේ සුවහසක් හෙළ වැසියන්ට නිවන් මඟ රුවන් දොරටුව විවර කරමිනි. තුන් ලොවක් නිවා සනහා වදාළ ඒ මහා මුනීන්ද්‍රයන්ගේ ඕරස පුත්‍ර වූ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිව්තලයට ශාස්තෘ වෙමින් සැටවසක් පුරා මහත් සේ වෙහෙසෙමින් මෙ පින්බිම තුළ ගෞතම බුදු සසුන ස්ථාපනය කළ සේක. Mihindu Maharahathan Wahanse sri mihindu pura atawaka pohoya

අප මහා ශාස්තෘන් වහන්සේ වන් වූ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළේ වප් මස පුර අටවක පොහෝ දිනයක දී ය. ඒ බැව් මහාවංශයේ මේ අයුරින් සඳහන් වේ.

32. තස්‌ස උත්‌තියරාජස්‌ස – ජයවස්‌සම්‌හි අට්‌ඨමේ
අන්‌තෝවස්‌සං සට්‌ඨිවස්‌සෝ – චේතියපබ්‌බතේ වසං

උත්තිය රජ්ජුරුවෝ රාජ්‍යාභිෂේක කරලා ජයග්‍රාහී අටවෙනි වර්ෂයේ උපසම්පදාවෙන් සැට වසරක් ගත වුන අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩ වාසය කළා.

33. අස්‌සයුජස්‌ස මාසස්‌ස – සුක්‌කපක්‌ඛට්ඨමේ දිනේ
පරිනිබ්‌බායි තේනේතං – දිනං තන්‌නාමකං අහු

වප් මාසයේ පුර පක්ෂයේ අටවෙනි දවසේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළා. ඒ නිසා වප් මාසයේ පුර අටවක දවස උන්වහන්සේගේ නමින් හැඳින්වුනා.

34. නිබ්‌බුතස්‌ස මහින්‌දස්‌ස – අට්‌ඨමියං දිනේ පන
තේන තං දිවසං නාම – අට්‌ඨමියාති සම්‌මතං

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අටවක දා පිරිනිවන් පෑ සේක. එනිසා ඒ පුර අටවක දා ‘ශ්‍රී මිහිඳු පුර අටවක’යි සම්මත වුනා.

(මහාවංශය – 20 වෙනි පරිච්ඡේදය)

හෙළයේ අපහට ගෞතම බුදුසසුනේ සදාකාලික පිළිසරණ ලබා දුන් ශ්‍රී ලංකාද්වීපයට ශාස්තෘ වූ මහා මහින්ද මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට අපගේ නමස්කාරය වේවා…!

අප වෙනුවෙන් තමන් වහන්සේගේ මුළු ජීවිතය ම කැප කොට වදාළ අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳ සිහි කරමින් උපෝසථ සීලයෙහි පිහිටා නොයෙක් පුණ්‍ය කර්මයන් සිදුකරමින් මිහිඳු මහ රහතන් වහන්සේට නමස්කාර කරමින් වප් මස පුර අටවක දිනට යෙදෙනා ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය කෘතගුණ දන්නා ජාතියක් ලෙස යළි අර්ථාන්විතව සමරමු.

Oct 5, 2016