පොළොන්නරුව මහමෙව්නාව ‍භාවනා අසපුවේ තාවතිංස යාත්‍රා සංවිධානය මගින් ගැබිණි මව්වරුන් වෙනුවෙන් සංවිධානය කරන ලද දහම් වැඩසටහන සහ ආශීර්වාද පූජාව 500 කට අධික ගර්භනී මව්වරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 13 වන දින පොළොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී මහා සංඝරත්නයේ වැඩම වීමෙන් පැවැත්වුණි. මෙහිදී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් ධර්මදේශනා, භාවනා, පිරිත් සජ්ඣායනා සිදුකරමින් එම ගර්භනී මාතාවන්ටත් කුස තුළ සිටිනා දරුවන්ටත් සෙත් පතන ලදහ. අනතුරුව එම මව්වරුන්ට ධර්ම ග්‍රන්ථ, මහාමේඝ පුවත් සඟරාව මෙන්ම පිරිත් කරනලද පැන් සහ පිරිත් නූල් ද ලබාදෙන ලදී. මේ අයුරින්ඉතාමත් සාර්ථක ලෙස මෙම පින්කම සිදුකරගන්නට අප සියළු දෙනාට හැකියාව ලැබුණි.

විශේෂයෙන් මෙම පින්කම සාර්ථක කරගැනීමේ දී අපට බෙහෙවින් උදව් උපකාර ලබා දුන්නේ පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයයි. එම සියළු වෛද්‍ය නිළධාරීන්, හෙද හෙදියන් ඇතුළු කාර්යමණ්ඩලයේ සියළු දෙනාට රැස්වුන පින් අනුමෝදන් වෙත්වා! පොළොන්නරුව මහමෙව්නාව ‍භාවනා අසපුවේ තාවතිංස යාත්‍රා සංවිධානයේ සාමාජිකයින්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා!  නන් අයුරින් උදව් උපකාර කළ සියළු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා! සියලු දෙනාට සෙත ශාන්තිය යහපත සැනසිල්ල උදාවේවා!

තෙරුවන් සරණයි!