පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-04-03 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ මාසික සදහම් වැඩසටහනේදී බීජ සූත්‍රය සහ උපාදාන පරිවත්ත සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනා

ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ අලුත් දහම් වැඩසටහනේදී මාස කීපයක් ම පටිච්ච සමුප්පාද ධර්මය ගැන විස්තර වශයෙන් ඉගෙන ගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ‘යෝ පටිච්චසමුප්පාදං පස්සති, සෝ ධම්මං පස්සති’ යම්කිසි කෙනෙක් පටිච්ච සමුප්පාද ධර්මය දකිනවා නම්, ඒ කෙනා ධර්මය දකිනවා. ‘යෝ ධම්මං පස්සති, සෝ මං පස්සති’ යම්කිසි කෙනෙක් ධර්මය දකිනවා නම් ඒ කෙනා බුදුරජාණන් වහන්සේව දකිනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපට ඉගෙන ගන්න තියෙන දේවල් අතර විශේෂ දෙයක් තමයි මේ පටිච්ච සමුප්පාදය ඉගෙන ගැනීම.

ඉතින් ඒ පටිච්ච සමුප්පාදය ඇසුරෙන් අපි උගන්වපු දේවල් ඔබට නැවත නැවත කියවීම පිණිස අපි පොඩි පොත් හැටියට සකස් කරලා තියෙනවා. ගිහි ජීවිතය ගත කරන අය හැටියට ඔබට ගෙවල් වල දහසක් කටයුතු තියෙනවා. නොයෙක් කරදර තියෙනවා. නොයෙක් වගකීම් තියෙනවා. ඒ ඔක්කොම මැද්දෙන් තමන්ට ලැබෙන පුංචි වෙලාවක තමයි මේ ධර්මය පුරුදු කරගන්නත් තියෙන්නේ. පැවිද්දන්ට වගේ සම්පූර්ණ නිදහසක් ගිහි අයට නෑ.