පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2017-08-20 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී පරිවීමංසන සූත්‍රය ඇසුරෙන් සිදුකරන ලද ධර්ම දේශනා

සැදැහැවත් පින්වත්නි,

අපි හැමෝම මේ සංසාරේ සැරිසරා යන අතරවාරයේ කලාතුරකින් ලැබෙන මනුස්ස ආත්මයක් ලබාගෙන ඉන්න අය. මනුස්ස ජීවිතයක් ලැබුණට ඒකෙන් අපිට ලොකූ වාසියක් ලැබෙන්නේ නෑ අපි මේ ධර්මය හරියට තේරුම් ගත්තේ නැත්නම්. මේ ජීවිතයේත් මනුස්සයෙක් වෙලා, ඊළඟ ආත්මෙත් ආයෙ මනුස්ස ලෝකෙට ඇවිල්ලා, ඊළඟ ආත්මෙත් මනුස්ස ලෝකෙට ඇවිල්ලා, එහෙම නැත්නම් දිව්‍යලෝකේ ගිහිල්ලා, සතර අපායේ නොවැටී යන ගමනක් නම් අපට තියෙන්නේ අපි ඔහේ වගක් නැතුව උන්නට කමක් නෑ. මේ සසරේ මාර්ගඵල ලබලා නැති අය හැටියටනේ අපි තාම යන්නේ. ඒ නිසා අපට කියන්නේ අනියත ගති ඇති සත්වයෝ කියලා. අනියත කියලා කියන්නේ, ඒකාන්ත ගති නෙවෙයි අපට තියෙන්නේ.

ඒ කියන්නේ අපි මැරුණට පස්සේ ඊළඟ ආත්මේ මනුස්සයෙක් වෙයිද දන්නෙත් නෑ. ඊළඟ ආත්මේ පෙර සංසාරේ කුමක් හෝ කර්මයක් මතුවෙලා හරි, එක්කෝ මේ ආත්මේ කරපු කර්මයක් මතු වෙලා නිරයේ යයිද දන්නේ නෑ. එහෙම නැත්නම් අපි තිරිසන් අපායේ උපදියි ද දන්නේ නෑ. ප්‍රේත ලෝකේ උපදියි ද දන්නේ නෑ. ඒ විදිහට ඊළඟ ආත්මේ කොහේ උපදියි ද කියලා ස්ථීරව ම කියන්න බැරි නම් ඒ අයට කියනවා අනියත ගති ඇති සත්වයෝ කියලා.