මහා ඇලෙක්සැන්ඩර් නමැති මැසිඩෝනියානු ග්‍රීක පාලකයෙක් ක්‍රිස්තු පූර්ව හතරවන සියවසේදී ලෝක ආක්‍රමණයෙහි යෙදෙමින් පර්සියානු මහා අධිරාජ්‍යය පළමුව ආක්‍රමණය කළේය. අනතුරුව ඉන්දියාවට කඩා වැදී එය ද තමාට නතු කරගත්තේය. මොහුගේ දිග්විජය පිළිබඳ තොරතුරු ප්ලීනි ආදී ග්‍රීක ඉතිහාසඥයන් විසින් වාර්තා කරන ලදුව කාලාන්තරයක් පුරා බටහිර වැසියෝ තම ඉතිහාසය එයින් දැනගත්හ.

මෙකී ඇලෙක්සැන්ඩර්ගේ ඉන්දීය ආක්‍රමණය ගැන තොරතුරු සොයන්නට බටහිර ඉතිහාසඥයන් වඩ වඩාත් පෙළඹුණේ එංගලන්තය විසින් ඉන්දියාව යටත් කරගැනීමෙන් පසු ය. ඉන්දීය ඉතිහාසය ගැන කියවෙන බ්‍රාහ්මණ සම්ප්‍රදායට අයත් නොයෙක් ඉතිහාස ග්‍රන්ථයන් ඇත්තේය. ඇලෙක්සැන්ඩර් පිළිබඳව එහි සටහන් වී ඇත්දැයි බටහිර පඬිවරු විසින් සොයා බැලූ නමුත් ඔවුන්ට ඒ පිළිබඳ කිසිදු තොරතුරක් සොයාගත නොහැකි විය. බටහිර ඉතිහාසයෙහි තිබෙන ඇලෙක්සැන්ඩර්ගේ ඉන්දීය ආක්‍රමණය සත්‍ය වශයෙන් වූවක් ද නොවූවක් ද යන්න සොයාබැලීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වී ගියේය.

මේ පඬිවරුන් අතර සිටි විලියම් ජෝන්ස් නමැති පඬිවරයා 1784 දී ඉන්දියාවේ කල්කටා නුවර ‘බෙංගාල ආසියාතික සමිතිය’ නමින් සමිතියක් පිහිටවූයේය. එසේ පිහිටුවා ඉතිහාස තොරතුරු සොයන අතරේ ග්‍රීක වාර්තාවල සටහන්ව තිබෙන ‘සන්දොකොත්තුස්’ නමින් ඉන්දියාවේ එකල සිටියේ ‘චන්ද්‍රගුප්ත’ බවට 1793 දී සොයාගන්නා ලදී. මේ සොයාගැනීමත් සමග ඉතිහාසය හාරා අවුස්සා බැලීමේ කුතුහලය බටහිර පඬිවරුන් තුළ යළිත් මතුවී ආයේය.

තවදුරටත් සොයාබැලීමේදී ඇලෙක්සැන්ඩර්ගේ ඉන්දීය ආක්‍රමණය මිථ්‍යාවක් නොව සත්‍යයක් බවට කරුණු තහවුරු වෙන්ට පටන් ගත්තේය. එමෙන්ම මයුර අධිරාජ්‍යය වැටී ගිය පසු ඉන්දියාවේ වයඹ දිග ප්‍රදේශ ග්‍රීකයන්ගේ පාලනයට නතු වූ බවත් ඒ ග්‍රීක පාලකයෝ ඇලෙක්සැන්ඩර්ගේ සෙන්පතියන්ගේ පරපුරෙන් පැවත එන්නෝ බවත් හඟවන කාසි සොයාගන්ට පුළුවන් විය.

ඒ කාසිවල එක් පැත්තක සිය ග්‍රීක රජවරුන්ගේ පින්තූර මෙන්ම ග්‍රීක අකුරුත් තිබුණු අතර තවත් පැත්තක තමන්ට කියවාගත නොහැකි කිසියම් අක්ෂරයන් සටහන්ව තිබුණි. ඒ අකුරුවල ද තිබෙන්නේ ග්‍රීක භාෂාවෙන් සඳහන් දේ ම වෙන්ට ඇත කියා ඔවුහු අනුමාන කළහ. මෙකී අනුමානය මත පිහිටා ‘ජේම්ස් ප්‍රින්සෙස්’ නමැති පුරාවිද්‍යාඥයා 1834 දී ‘ඛරෝෂ්ඨි’ නමැති අක්ෂර මාලාව හඳුනාගෙන කියවන්නට සමත් විය. මේ අක්ෂර මාලාව කියවිය යුත්තේ දකුණු පැත්තේ සිට වම් පැත්තට ය. එම අකුරින් ලියවුණු ලිපි ඉන්දියාවේ වයඹ දිග හා ඒ අවට ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති බවට සලකුණු තිබුණි.

මෙයට අමතරව මුළු මහත් ඉන්දියාව පුරාත් ලක්දිව පුරාත් අතීතයේ ප්‍රචලිතව පැවති වෙනත් අක්ෂර මාලාවක් තිබුණේය. එය හැඳින්වූයේ ‘බ්‍රාහ්මී අක්ෂර’ නමිනි. ඛරෝෂ්ඨි අක්ෂර මාලාව මෙන්ම මේ බ්‍රාහ්මී අක්ෂර ද සියවස් ගණනාවක් මුළුල්ලෙහි මනුෂ්‍ය මතකයෙන් බැහැර වී ගොස් ඇත්තේය. නමුත් මෙකී බ්‍රාහ්මී අක්ෂරවලින් ලියැවී තිබෙන සෙල්ලිපි සිය ගණනකි.

ඒ වන විට බ්‍රාහ්මී අකුරුවලින් ලියවී ඇති සෙල්ලිපි කියවන්ට දන්නා කිසිවෙක් ලෝකයෙහි නොසිටියේය. ජේම්ස් ප්‍රින්සෙස් පඬිවරයා ඛරෝෂ්ඨි අක්ෂර මාලාව කියවා ලත් උනන්දුව නිසා බ්‍රාහ්මී අක්ෂර මාලාව ද කියවීමට සිය කුතුහලය යොමු වූයේය. මොහු පළමු කොට ඉන්දියාවෙහි මධ්‍ය ප්‍රදේශයේ පිහිටි සාංචි ස්ථූපයෙහි ගල්වැටෙහි කොටා ඇති කෙටි සෙල්ලිපි විසිතුනක් පිටපත් කරගත්තේය. ඉන් පසු ඒවා පිළිවෙළකට තබා බැලුවේය. එවිට ඔහුට පෙනී ගියේ ඒ හැම ලිපියක් ම එකම රටාවේ කිසියම් අකුරු දෙකකින් අවසන් වන බවයි. ඔහු තවදුරටත් පරීක්ෂා කළේය. එවිට එම අකුරු දෙකට මුලින් එක සමාන හැඩයක් ගත් තවත් අකුරක් තිබෙන ලිපි සතක් ඇති බව පෙනුනේය. ඊළඟට ඔහු කළේ සිය අපූර්ව වූ උපකල්පන ශක්තිය මෙහෙයවා බැලීම යි. ඒ අනුව ඔහු සිතුවේ ඒ ලිපිවල තිබෙන හඳුනාගත නොහැකි අන්තිම අකුරු දෙක ‘දා’ ‘නං’ කියා ය. ඊළඟ ඔහු සිතුවේ අනිත් අකුර සම්බන්ධ විභක්තියේ ඒක වචන ‘ස’ යන්න විය යුතුයි කියා ය. එසේ උපකල්පනය කොට ඒ අකුරු සසඳා කියවීමට මහන්සි ගත්තේය. විස්මයකි..! ඔහුගේ උපකල්පනය සැබෑ විය.

ඛරෝෂ්ඨි අකුරු කියවීමෙන් ඔහු ලත් අත්දැකීම් ද පාදක කොට ඔහුට මේ විස්මිත සොයාගැනීම කරන්නට හැකි විය. මිනිත්තු කිහිපයකින් මුළු බ්‍රාහ්මී අක්ෂර මාලාව ම තමන් සතු වූ බවට ඔහු උදාන මුඛයෙන් පවසා තිබේ. මෙසේ බ්‍රාහ්මී අක්ෂර මාලාව කියවන අයුරු සොයාගත් ප්‍රින්සෙස් පඬිවරයා මුළු මහත් විද්වත් ලෝකය මවිත කරවන්ට සමත් විය. මොහු පළමුව කළේ ඉන්දියාවේ දිල්ලියේ තිබෙන ටැම් ලිපියක් කියවා එය ඉංග්‍රීසියට පරිවර්තනය කොට ආසියාතික සමිතියේ උගතුන්ගේ සභාව ඉදිරියේ තැබීම යි. ඒ 1837 දී ය.

මොහුගේ ඊළඟ කාර්යය වූයේ ඉන්දියාව පුරා විසිරී තිබෙන බ්‍රාහ්මී සෙල්ලිපි එකින් එක කියවීම ය. එසේ කියවාගෙන යෑමේදී මොහුට දකින්ට ලැබුණේ මුළු මහත් ඉන්දියාව පුරා විසිරී ඇති සෙල්ලිපි රාශියක ‘දේවානම්පිය පියදසි’ , ‘දේවානම්පියදසි’ , ‘දේවානම්පිය’ යන නමින් හැඳින්වෙන කෙනෙකු විසින් ඒ ලිපි පිහිටුවා ඇති බවයි. චන්ද්‍රගුප්ත මයුර රජුට ‘ප්‍රියදර්ශන්’ යන ගරු නාමයක් තිබුණු බවට ප්‍රවාද කථාවක් මොහු අසා තිබූ නමුත් ‘දේවානම්පිය’ යනු කවුරුන්දැයි දැනගැනීමට උදව් වෙන කිසිදු පිටුවහලක් ඉන්දියාවේ ඉතිහාස ග්‍රන්ථවලින් නොලැබුණේය. බ්‍රාහ්මණයන් ඔහුට පවසා සිටියේ දේවානම්පිය යනුවෙන් ඉන්දියාවේ රජකළ කෙනෙකු ගැන නොදන්නා බවයි. මෙය මිථ්‍යා නමක් බවත් ය. දේවානම්පිය යනු අශෝක අධිරාජයාට කියන නමක් බවට හඳුනාගැනීමට කිසිදු සාක්ෂියක් ඉන්දියාවෙන් නොලැබුණේය. ප්‍රින්සෙස් පඬිවරයා හට මෙය විසඳාගත නොහැකි උභතෝකෝටික ප්‍රහේලිකාවක් විය.

දවසක් මොහුට කල්කටාවෙහි වාසය කළ රතනපාල නමැති උගත් ලාංකික සිංහලයෙකුව අහම්බෙන් මුණගැසිනි. ඔහු පවසා සිටියේ දේවානම්පිය යනු ලංකාවේ රජකළ තිස්ස රජුට කියන නමක් බවත් ලංකාවේ දේවානම්පියතිස්ස රජු ඉන්දියාවේ අශෝක අධිරාජයාගේ සමකාලිකයෙකු බවත් ය. එවිට ප්‍රින්සෙස් පඬිවරයා එවකට ලංකාවේ සිටි ජෝරජ් ටර්නර් පඬිවරයාගෙන් මේ ගැන විමසා එව්වේය. ටර්නර් පඬිවරයා කියා සිටියේ ලංකාවේ දේවානම්පියතිස්ස නමින් රජෙකු සිටි වග සත්‍යයක් බවයි. එවිට ප්‍රින්සෙස් සිතාගත්තේ එසේ නම් ඉන්දියාවේ සෙල්ලිපිවල සඳහන් වන්නේ ලංකාවේ රජකළ දේවානම්පියතිස්ස රජු ගැන කියා ය.

ඔය අතරේ ප්‍රින්සෙස්ට ඉන්දියාවේ ගයාවේ තවත් සෙල්ලිපියක් හමුවූයේය. එහි සඳහන් වන්නේ මෞර්ය වංශික දශරථ නම් රජෙකු ගැන ය. ඒ දශරථ රජු තමන්ට දේවානම්පිය නමින් මුත්තණු රජ කෙනෙකු සිටි බවට ඒ ලිපියෙහි සඳහන් කොට තිබුණි. එසේ නම් ඉන්දියාවේ සෙල්ලිපිවල සඳහන් දේවානම්පිය යනු ලංකාවේ දේවානම්පියතිස්ස රජු නොව ඉන්දියාවේ ම රජ කළ රජෙක් විය යුතු බවට ප්‍රින්සෙස්ට අවබෝධ වූයේය.

ලංකාවේ ඉතිහාසය ගැන ලියැවී තිබෙන දීපවංශය, මහාවංශය ආදී වංශකථාවන් කියවූ ජෝර්ජ් ටර්නර් පඬිවරයා මෙම ගැටලුව විසඳාගන්ට සමත් වූයේය. එනම් ලංකාවේ වංශකථාවල පියදස්සී, පියදස්සන, දේවානම්පිය යන නම් අශෝක අධිරාජයා හැඳින්වීමට යොදාගෙන ඇති බවයි. අශෝක අධිරාජයා සමග තිබූ දැඩි මිත්‍රත්වය හේතුවෙන් ලංකාවෙහි තිස්ස රජු ද දේවානම්පිය යන ගරු නාමය සහිතව දේවානම්පිය තිස්ස යන නාමය භාවිත කොට ඇති බවට තොරතුරු හෙළිකරගත්තේය.

මෙසේ දේවානම්පිය යනු මිථ්‍යා නමක් බවට එවකට ඉන්දීය බ්‍රාහ්මණ පඬිවරයන් කියා සිටිද්දී බොහෝ යුරෝපීය පඬිවරුන්ට ද මෙකරුණ සොයාගත නොහැකිව සිටිද්දී මෙම ගැටලුව විසඳාගන්නට හැකි වූයේ දීපවංශයට හා මහාවංශයට පින් සිදු වන්නට ය. එනිසා එකල සිටි මධ්‍යස්ථ උගත් පඬිවරු ලංකාවේ වංශකථාවලට මහත් සේ ගෞරව කරන්නට වූහ.

පොත පත ඇසුරිනි
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ