අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් පන්සාළිස් වසරක් මුළුල්ලේ දෙව් මිනිස් ලෝසතුන් කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මය සූත්‍ර, විනය හා අභිධර්මය වශයෙන් පිටක තුනක් ලෙස බෙදා දැක්විය හැකිය. එම ත්‍රිපිටක ධර්මය උතුම් සංගායනා තුනකින් සුරක්ෂිතව, නිකෙලෙස් මහරහතන් වහන්සේලා විසින් ශිෂ්‍යානුශිෂ්‍ය භාණක පරම්පරාවෙන් රැගෙනවිත් පරම පූජනීය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගෙන් අපට දායාද විය. සිංහල මහරහතන් වහන්සේලා විසින් දිවි දෙවැනි කොට ආරක්ෂා කරමින් එසේ කටපාඩමින් දරාගෙන ආ ත්‍රිපිටක ධර්මය වළගම්බා රජ සමයේදී ග්‍රන්ථාරූඪ කරන ලදී.
එකී ත්‍රිපිටකයෙන්, සූත්‍ර පිටකය – දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය වශයෙන් කොටස් පහකින් යුක්ත වේ. දීඝ නිකායෙහි ඇතුලත් වන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දීර්ඝ දේශනා ය. සීලක්ඛන්ධ වර්ගය, මහා වර්ගය, පාථික වර්ගය ලෙස වෙන් කොට ඇති දීඝ නිකායට අයත් සූත්‍ර ගණන 34 කි. මජ්ඣිම නිකායෙහි ඇතුලත් වන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මධ්‍යම ප්‍රමාණයේ දේශනා ය. මූල පණ්ණාසකය, මජ්ඣිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය ලෙස වෙන් කොට ඇති මජ්ඣිම නිකායට අයත් සූත්‍ර ගණන 152 කි.
සගාථ වර්ගය, නිදාන වර්ගය, ඛන්ධක වර්ගය, සළායතන වර්ගය, මහා වර්ගය යනුවෙන් කොටස් පහකින් යුක්ත වූ සංයුත්ත නිකායෙහි ඇතුලත් වන සූත්‍ර ගණන 7762 කි. සංයුත්ත නිකායෙහි විශේෂ මාතෘකාවන්ට අයත් දේශනා එකට එකතු කොට දක්වා තිබේ. උදාහරණයක් ලෙස පංච උපාදානස්කන්ධය ගැන භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අවස්ථාවල වදාළ දේශනා සියල්ල ඛන්ධ සංයුත්තයෙහිත්, පටිච්ච සමුප්පාදය ගැන වදාළ දේශනා අභිසමය සංයුත්තයෙහිත්, දීර්ඝ සසර ගැන වදාළ දේශනා අනමතග්ග සංයුත්තයෙහිත්, චතුරාර්ය සත්‍යය ගැන වදාළ දේශනා සච්ච සංයුත්තයෙහිත් ආදී වශයෙන් සංග්‍රහ වී තිබේ.
අංගුත්තර නිකායෙහි ඇතුලත් වන්නේ භාග්‍යවතුන් වහන්සේ විසින් අංක වශයෙන් වදාළ දෙසුම්වල එකතුවයි. එනම්, කරුණු එක බැගින් වදාළ දේශනා එකතුව ඒකක නිපාතය ලෙසත්, කරුණු දෙක බැගින් වදාළ දේශනා එකතුව දුක නිපාතය ලෙසත්, කරුණු තුන බැගින් වදාළ දේශනා එකතුව තික නිපාතය ලෙසත් ආදී වශයෙන් ඒකාදසක (එකොළොස්වෙනි) නිපාතය දක්වා සංග්‍රහ වී ඇති අංගුත්තර නිකායෙහි සම්පූර්ණ සූත්‍ර ගණන 9557 කි.
භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද කුඩා දෙසුම් ඇතුලත් වන්නේ ඛුද්දක නිකායෙහි ය. ඛුද්දක පාඨ, ධම්මපද, උදාන පාළි, ඉතිවුත්තක, සුත්ත නිපාතය, විමානවත්ථු, පේතවත්ථු, ථේරගාථා, ථේරීගාථා, ජාතක පාළි, නිද්දේස පාළි, පටිසම්භිදාමග්ගප්පකරණ, අපදාන පාළි, බුද්ධවංස, චරියාපිටක, නෙත්තිප්පකරණ සහ පේටකෝපදේස යන ග්රන්ථයන්ගෙන් ඛුද්දක නිකාය සමන්විත වේ.
අපගේ මෙම වෙබ් අඩවියෙහි පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලට පරිවර්තනය කරන ලද සූත්‍ර පිටකයට අයත් දෙසුම් ඇතුලත් වේ. එම දෙසුම් පරම පිරිසිදු බුද්ධ භාෂිතය වන පාළි දෙසුම් ද සමග මෙහි ඇතුලත් කොට තිබෙන අතර තවමත් පාළි කොටස් ඇතුලත් කොට නොමැති දේශනාවලට ඉදිරියේදී පාළි කොටස් ඇතුලත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
මෙහි ඇතුලත් දේශනාවන්හි සඳහන් වන සියලු පාළි කොටස් ඡට්ඨ සංගායනා පාළි ත්‍රිපිටක වෙබ් අඩවියෙන් උපුටාගෙන බුද්ධ ජයන්ති පාළි ත්‍රිපිටකය (2019 ජනවාරි 05 දින ශ්‍රී ලංකා රජය මගින් ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලද) මුල් කරගෙන පළකොට තිබේ.
ඛුද්දක නිකායට අයත් දෙසුම්වලින් මෙහි ඇතුලත් කොට ඇත්තේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් මේ වන විට පරිවර්තනය කොට ඇති දේශනා පමණි.
මෙම වෙබ් අඩවිය අප විසින් නිර්මාණය කරන ලද්දේ ලොව පුරා සිටින උගත් – නූගත්, දුප්පත් – පොහොසත්, බෞද්ධ – අබෞද්ධ සියලු දෙනා වෙත ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද, ලෝසතුන් සතර අපා දුකින් මුදවන, සුගති රැකවරණය සලසන, සසර කතරින් එතෙර කරවන, අමා නිවනට පමුණුවන පරම පිරිසිදු නිර්මල ශ්‍රී සද්ධර්මය බෙදා දීම පිණිසත් ඒ තුළින් ඔවුන් තුළ තිසරණය කෙරෙහි ශ්‍රද්ධාව ජනිත කොට ගෞතම බුදු සසුනෙහි පිළිසරණ සලසා දෙනු පිණිසත් ය.
අප විසින් මෙහි සියලු දේශනාවන් පිරිසිදු බුද්ධ භාෂිතය වන පාළි දෙසුම් ද සමග ඇතුලත් කොට ඇති නිසා පාළි භාෂාව පිළිබඳ දැනුම ඇති, එමෙන්ම මනුෂ්‍ය වර්ගයා කෙරෙහි අනුකම්පා ඇති, ඊර්ෂ්‍යාවෙන් තොර සිත් ඇති ඕනෑම කෙනෙකුට මෙම පරිවර්තනයන්හි කිසිදු විකෘතියක් නොමැති බව වටහාගත හැකිවනු ඇත.
පින්වත් ස්වාමීන් වහන්ස, පින්වත් මෑණියන් වහන්ස, සැදැහැවත් උපාසක උපාසිකාවනි,
භාග්‍යවතුන් වහන්සේ විසින් මහාකරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙන ගනු රිසියෙන් මෙම වෙබ් අඩවියට පිවිසි ඔබට ක්‍රම තුනකින් සූත්‍ර දේශනා තෝරාගත හැකියි.
මෙහි වම්පසින් ඇති මෙනුවේ ඊහිස් (Arrows) මත Click කිරීමෙන් හෝ ඔබ මෙම වෙබ් අඩවියට පිවිස සිටින්නේ ජංගම දුරකථනයකින් නම් ඉහත මෙනු අයිකන් එක මත Click කිරීමෙන් ඔබට අවශ්‍ය සූත්‍ර දේශනාව තෝරාගත හැකියි.
එසේ නොමැති නම් ඉහත දකුණු කෙළවරේ ඇති Search Box එකෙහි හෝ ජංගම දුරකථනයෙහි නම් මෙනු අයිකන් එක මත Click කිරීමෙන් ලැබෙන Search Box එකෙහි හෝ මෙම පිටුවේ මැද ඇති Search Box එකෙහි හෝ සිංහලෙන් ටයිප් කොට ඔබට අවශ්‍ය දේශනාව සොයාගත හැකියි.
ඔබට සිංහල ටයිප් කිරීමට නොහැකි නම්;
එහිදී ඔබ යම් වචනයක් ටයිප් කරන විට එම වචනය මාතෘකාව ලෙසින් ඇති සූත්‍ර දේශනා පළමුවත්, දෙවනුව එම වචනය අන්තර්ගත වන දේශනාත් පිළිවෙළින්, සෙවීම් ප්‍රතිඵල (Search Results) ලෙස ඔබට ලැබෙනු ඇත.
තුන්වන විකල්පය ලෙස ඔබට මෙහි දැක්වෙන විවිධ මාතෘකා සඳහන් ටැග් මත ක්ලික් කිරීමෙන් එම මාතෘකාවන්ට අදාළ සූත්‍ර දේශනා ලබාගෙන කියවිය හැකියි.
මෙම වෙබ් අඩවිය තවමත් යාවත්කාලීන වෙමින් පවතී.
එමෙන්ම සූත්‍ර දේශනාවන් විස්තර කරමින් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාවන්ගේ වීඩියෝ සහ ඕඩියෝ ද අප විසින් ඒ ඒ සූත්‍ර දේශනාවන්හි අවසානයට එක්කොට තිබේ.
මෙහි ඇතුලත් දේශනාවක් හෝ දේශනාවකින් කොටසක් හෝ උපුටාගෙන වෙනත් වෙබ් අඩවියක හෝ ෆේස්බුක් ආදී සමාජ ජාලවල හෝ පළකිරීමේදී එම දේශනාව සඳහන්වන වෙබ් පිටුවෙහි URL එක ද අදාළ වෙබ් අඩවියෙහි හෝ සමාජ ජාලයන්හි සඳහන් කිරීම අනිවාර්ය වේ. එමෙන්ම යම් දේශනාවක් ධර්මදානයක් ලෙස මුද්‍රණය කොට නොමිලේ බෙදාදීමේදී ද උපුටා ගැනීම – www.mahamevnawa.lk වෙබ් අඩවියෙනි යනුවෙන් සඳහන් කළයුතු වේ.
ඔබට අපගෙන් යම් විමසීමක් කිරීමට අවශ්‍ය නම් හෝ මෙම වෙබ් අඩවියෙහි ඇති යම් යම් දෝෂ වාර්තා කිරීමට අවශ්‍ය නම් මෙම විමසීම් පිටුව හරහා හෝ admin@mahamevnawa.lk යන ඊමේල් ලිපිනය ඔස්සේ අදාළ විමසීම් හා වාර්තා කිරීම් සිදුකළ හැකිය.