මහමෙව්නාව අසපු සංචිතයේ නිර්මාතෘවරයාණෝ

හමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවරයාණන් වහන්සේ වනාහී අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ය. ව්‍යවහාර වර්ෂ 1961 ජූලි මස පළමුවැනිදින ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ වයස අවුරුදු 17 දී සේරුවිල මංගල රාජමහා විහාරයේදී එවකට ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක හා සේරුවිල මංගල රාජමහා විහාරයේ විහාරාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයෙකු ලෙස පැවිදි බිමට පත් විය. සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනයෙන් අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලත් වී සිංහල ගෞරව උපාධිය හදාරමින් සිටියදී අහඹු ලෙස ත්‍රිපිටක ග්‍රන්ථ ඇසුරින් බුද්ධ දේශනා කියවන්නට ලැබීම නිසා දිවි පුදා දහමේ හැසිරීමේ බලවත් ආසාවෙන් පන්සල් ජීවිතය අත්හැර අරණ්‍යවාසීව වැඩ වාසය කරන්නට පටන් ගත්තේය.

අනතුරුව දස අවුරුද්දක් පුරා තවදුරටත් ත්‍රිපිටක ධර්මය හදාරමින් තියුණු ධර්මඤාණයක් ඇතිකරගත් උන්වහන්සේ ඉන්දියාවේ හිමාල අඩවියේ ද සිරිපා හිමයේ ද කල්ගත කරමින් අනේක වූ අත්දැකීම් තම ජීවිතයට එකතු කරගත් සේක. අවුරුදු ගණනාවක් පැවිදි ජීවිතයේ ලද අත්දැකීම් පාදක කොටගෙන මහමෙව්නාව භාවනා අසපුව ආරම්භ කළ උන්වහන්සේ දිවයිනේ නොයෙක් ප්‍රදේශවලට වැඩම කොට ධර්ම දේශනා පවත්වමින් දහම් වැඩසටහන් සිදුකරමින් මහත් ශාසනික ප්‍රබෝධයක් ඇති කළ සේක. ත්‍රිපිටකය ඇසුරින් බුද්ධ වචනය ඉස්මතු කොට දක්වමින් උන්වහන්සේ විසින් ලියා පළකොට ඇති ග්‍රන්ථ සංඛ්‍යාව මෙතෙකැයි කිව නොහැක. එම දහම් ග්‍රන්ථ සහ උන්වහන්සේගේ බුද්ධ දේශනා සරල බසින් විග්‍රහ කරන සුමධුර ධර්ම දේශනා හා වන්දනා කවි ඇතුලත් සංයුත්ත තැටි ද ජනතාව අතර මහත් ප්‍රසාදයට පත්ව තිබේ. සමාජයේ ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයෙකුට කියවා තේරුම් ගත හැකි ආකාරයෙන් සරල සිංහලයට ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තනය කිරීම ද මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් උන්වහන්සේ අතින් සිදුවූ මහානීය ශාසනික සේවාවකි. පුද්ගලික මතිමතාන්තරවලින් තොරව නිර්මල පිරිසිදු බුද්ධ වචනය ම ඉස්මතු කරමින් ධර්මය දේශනා කිරීම පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙළේ ඇති සුවිශේෂත්වය යි.