පගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඖරස පුත‍්‍ර වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, වළාගැබින් මිදුනු සඳක් වැනිව ලොව එළිය කළ අපගේ ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයෙන් හලාවත, බිංගිරිය – බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහා විහාරයේ ඉදිකරන ලද ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ගේ ශ්‍රීමත් අංගුලිමාල අරහන්ත ධාතු නිධානය බුද්ධ වර්ෂ 2564 ක් වූ ඇසළ මස 04 දින පුන් පෝදා අසිරිමත් අයුරින් සිදුවිය.

තව්තිසා දෙව්ලොව දෙවියන් විසින් වන්දනා කරන ලද අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා අතරින් දහසක් ධාතූන් වහන්සේලා අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ලැබී තිබිණි. අපගේ පරම පූජනීය ගුරු දෙවිඳුන් කළ පිරිසිදු සත්පුරුෂ දහම් සේවාවට ලැබුණු ත්‍යාගයකි එය. එය මිහි මඬලට ම ලැබුණු මහා ආශිර්වාදයකි. ඒ උතුම් ධාතූන් වහන්සේලා එදින රැස්ව සිටි 700කට අධික සඟ පිරිසට දකින්නට අවස්ථාව ලැබිණි. මහසඟ රුවනේ සාදුකාරය මැද ඇසළ පුන් පෝදා රාත‍්‍රියේ උතුම් ධාතූන් වහන්සේලා සෑ ගැබෙහි වඩාහිඳවූ සේක. මේ වනවිට එම උතුම් ධාතූන් වහන්සේලාත්, සතරැස් කොටුවේ වැඩසිටින සර්වඥ ධාතූන් වහන්සේලා අට නමත් සමඟ අංගුලිමාල සෑයෙහි ධාතූන් වහන්සේලා එක්දහස් අට(1008) නමක් වැඩ සිටිති.

කෙදිනකවත් සෑයක් නිර්මාණය නොකළ අත්වලින් නිර්මාණය වූ අංගුලිමාල සෑ රජුන් දෙස බලන්න.
කිසිදා තෙලි තුඩින් සිතුවම් නොකළ අත්වලින් පිළිම වහන්සේලා ජීවමාන වී ඇති අයුරු බලන්න.
සැබෑ අයුරින් දිස්වන වන පියස, පැන් පොකුණු, කඳු හෙල් ඒ වටා සිතුවම් වී ඇති අයුරු බලන්න.
කිසිදා නොසිතූ අයුරින් මහා තෙද, මහා බල ආශිර්වාදය පැතිරුණ අංගුලිමාල සෑ රජුන් දෙස බලන්න.
ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් වනාහි අපගේ ගුරු දෙවිඳුන් ගෞතම බුද්ධ ශාසනය තුළ මනුෂ්‍ය වර්ගයාට ලබාදුන් මහානීය දායාදයකි.
එසේම ශ‍්‍රද්ධාවේ අපූරු ප‍්‍රාතිහාර්යකි.
මේ උතුම් කටයුත්තට මුල් වී මෙහෙ කළේ මහ සඟරුවන වීම විශේෂයකි.
මෙලෙස උතුම් ධාතූන් වහන්සේලා වඩාහිඳුවීමෙන් ප‍්‍රාණජීවය ලත්
අංගුලිමාල මහා සෑ රජුන් කෙරෙහි පින්වත් ඔබත් පහන් සිත් ඇති කරගනිත්වා!

මේ සියලු පුණ්‍ය ධර්මයන්, මේ සඳහා නන් අයුරින් උපකාර කළ ඔබ සියලු දෙනාට අනුමෝදන් වේවා! පිනෙහි කොටස්කරුවන් වීම ගැන අපමණ සතුටට පත්වෙත්වා! ඒ අපගේ අංගුලිමාල මහ රහතන් වහන්සේ යම් ධර්මයක් අවබෝධ කොට පරම සැපයට පත් වූ සේක් ද, ඔබටත් ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදාවේවා!

උතුම් සෑ රජුන්ගේ මළු පෙත් මං හා අවට පූජා විහාර ඉදිවන බැවින් ඉදිරි කටයුතු අවසන් කිරීමට දායක වී ඔබටත් මේ උතුම් පුණ්‍ය නිධානයේ කොටස්කරුවන් වියහැක.

විමසීම් –
076 8255 698 / 076 8255 721

සියලු කටයුතු අවසන්ව
දෙනෝ දහසක් සැදැහැවතුන්ට එක්ව
උතුම් ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන් වන්දනා කිරීමේ භාග්‍යය
ඉතා ඉක්මනින් උදා වේවා!