
ගෞතම බුදු රජුන්ගේ සාම සංදේශය පැතිරවීම පිණිස පිහිටුවාලූ මහමෙව්නාව අසපු සංචිතයේ තවත් එක් ප්‍රධාන ශාඛාවක් වන මාතර උඩ අපරැක්කේ පිහිටි මහමෙව්නාව මහා විහාරය දකුනු සිරිලක සැදැහැවතුනගේ දම් පවස නිවාලමින් මහත් ධර්මප්‍රචාරයක් සිදු කරන සොඳුරු පින්බිමකි. මෙම පින්බිමෙහි පින්වත් ස්වාමීන් වහන්සේලා අසූ නමක් පමණ වැඩසිටිති.
ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ අනුරුවක් ලෙස නිමවා ඇති, සෑ රජාණන් වහන්සේ නමක් මෙම පුණ්‍ය භූමිය තුළ වැඩසිටිති. ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේගේ අසිරිමත් ධාතු ගර්භය සිහිගන්වමින් අලංකාර මූර්ති, කැටයම් හා බිතු සිතුවමින් සමන්විතව එම සෑ රජාණන් වහන්සේගේ ගර්භය නිමවා ඇත. සැදැහැවත් පින්වතුන් හට දැකබලා වන්දනා කරගැනීම පිණිස මෙම සෑ රජුන්ගේ ධාතුගර්භයේ අනුරුවක් ලෙස සැකසූ ධාතු ගර්භ විහාර මන්දිරයක් ද මෙම පුණ්‍ය භූමිය තුළ නිමවා ඇත. සෑ රජුන් වැඳපුදා ගැනීමට පැමිණෙන පින්වතුන්ගේ සුවපහසුව පිණිස ඉතා අලංකාර කැටයමින් සුසැදි චෛත්‍ය අංගනයක්ද පසෙකින් පිහිටා ඇත.
සුන්දර බෝධි මණ්ඩපයක් තුළ වැඩසිටින ආනන්ද බෝධින් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේලා සතර නමක් පිරිවරා වැඩසිටින, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා බෝධීන් වහන්සේ නමක් වන, සිරි ගෞතම බෝධීන් වහන්සේගෙන් මෙම පුණ්‍ය භූමියේ පූජනීයත්වය තව තවත් වැඩිවී ඇත.
අක්කර 19ක පමණ සොඳුරු රුක්ගොමුවලින් සුසැදි සුවිශාල වන අරණක් පුරා පැතිර ඇති මෙම අසපුවේ, සුන්දර කඳු මුදුන් දෙකක පිහිටි ප්‍රධාන සංඝාරාම දෙකකින් ද හුදෙකලාවේ බවුන් වඩන භික්ෂූන් උදෙසා වන අරණ තුළ පිහිටි හුදෙකළා කුටි සෙනසුන් වලින් ද සමන්විත කුටි සෙනසුන් අසූ පහක් පමණ ඉදිකර ඇත. භික්ෂූන් ගේ පහසු විහරණය පිණිස සැකසූ සියක් නමකට පමණ පහසුවෙන් දන් වැළඳිය හැකි සුවිශාල දාන ශාලාවක් ද මෙම අසපුව තුළ ගොඩනංවා ඇත.
සැදැහැවත් උවසු උවැසියන් පන්දහසකට පමණ සුවසේ ධර්මශ්‍රවණය කිරීමට හැකි වන පරිද්දෙන් සියලු පහසුකම් සහිතව නිමවා ඇති සුවිශාල ධර්මශාලාවෙහි, ධර්මාසනයෙහි වැඩසිටිනා දිවමන් දම්රජාණන් වහන්සේ සහිගන්වමින් මනරම් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩසිටිති.
මෙම සියලු විහාරාංගයන්ගෙන් සමන්විත මහමේව්නාව මහා විහාර පුණ්‍ය භූමිය පින්වත් තිස්ස ජිනසේන මැතිතුමන් විසින් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මහත් ශ්‍රද්ධාවෙන් යුතුව නිමවා ගෞතම බුදු සසුනට පූජා කරන ලදි.
මාතර මහමෙව්නාව මහා විහාරයේ වැඩසටහන් පැවැත්වෙන දිනයන්
මාතර මහමෙව්නාව මහා විහාරය මගින් පවත්වනු ලබන බාහිර වැඩසටහන්
අසපුවට පැමිණෙන ආකාරය
මහමෙව්නාව මහා විහාරය, උඩ අපරැක්ක, අපරැක්ක, මාතර. (81032) |
|
041 4926909 | 041 4927915 | 041 2245025 | |
mahaviharaya@gmail.com |