හමෙව්නාව භාවනා අසපු සංචිතයේ ආරම්භක භාවනා මධ්‍යස්ථානය සේ ම වත්මන් මූලස්ථානය ලෙසට ද ක්‍රියාත්මක වනුයේ පොල්ගහවෙල වඩුවාවේ පිහිටි, මහමෙව්නාව භාවනා අසපුව යි. සුන්දර කුඩා කඳු ගැටයක් ආශ්‍රිතව පිහිටා තිබෙන මෙම අසපුව, දහම් පිපාසිත සුවහසක් මිනිසුන් ගේ දහම් පිපාසාව සංසිඳවා ගැනීම පිණිස අමා දම් පිරි සොඳුරු විලක් වැනි ය.

පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 1999 අගෝස්තු මස 14 වැනි දින ආරම්භ කරන ලද මෙම මහමෙව්නාව භාවනා අසපුවෙහි විරාජමානව වැඩ සිටින සිරි ගෞතම දම්සක් මහා සෑය ත්, සිරි ගෞතම බෝධි මණ්ඩපය ත් සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවත් දෙව් මිනිසුන්හට මහත් ශ්‍රද්ධා භක්තිය ජනිත කරවන අතර වත්මන් බුදු සසුනට මහත් අලෝකයක් සපය යි.

මෙම සිරි ගෞතම දම්සක් මහාසෑය ඉදිකිරීම සඳහා සම්පූර්ණ මූල්‍යමය දායකත්වය සැපයුවේ පින්වත් හොරණ ඩී. කේ. සුභසිංහ මැතිතුමා විසිනි. සුරංජිත් මෝටර්ස් අධිපති රංජිත් කරුණාරත්න මැතිතුමා විසින් සිරි ගෞතම බෝධි මණ්ඩපය ඉදිකිරීම සඳහා සම්පූර්ණ මූල්‍යමය දායකත්වය සපයන ලදී. පින්වත් ස්වාමීන් වහන්සේලා 150 නමකට පමණ සුවසේ වැඩ සිටිය හැකි කුටි පහසුකම් ද අනෙකුත් සියලු විහාරාංගයන්ගෙන්ද මෙම පුණ්‍ය භූමිය සමන්විතය.

සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව සහිත ප්‍රදේශය ජනාකීර්ණ වුවත් පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩවසන කුටි පිහිටා තිබෙන්නේ නිහඬ නිසසල වනගත පරිසරයක් තුලය. එමෙන්ම දිනපතා බොහෝ සැදැහැවතුන් පිරිසක් සංඝයා උදෙසා දන්පැන් පිදීමෙන් හා සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව වන්දනා කිරීමෙන් අපමණ පින් රැස් කරගනිති.

පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ නිර්මල ධර්මය ලොව පුරා පැතිරවීම පිණිස කටයුතු කළ ආයතන අතර ප්‍රධානත්වය හිමි වන්නේ මෙම උතුම් පුණ්‍ය භූමියටයි.

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ වැඩසටහන් පැවැත්වෙන දිනයන්

  • පුන් පොහෝ දා සීල භාවනා වැඩසටහන:- සෑම පුන් පොහෝ දිනකම පෙ.ව. 6.00 පසුවදා පෙ.ව. 5.30 දක්වා.
  • මාසික සීල භාවනා වැඩසටහන:- සෑම මසකම පළමුවන සතියේ ඉරිදා දින පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා

  • ළමා දහම් වැඩසටහන:- සෑම මසකම පුන් පොහෝ දින පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වා
  • සිරි ගෞතම බෝධි වන්දනාව:- සෑම සෙනසුරාදාවකම ප.ව. 5.45 ට.
  • සිරි ගෞතම දම්සක් මහා සෑ වන්දනාව:- සෑම ඉරිදාවකම ප.ව. 5.45 ට.

අසපුවට පැමිණෙන ආකාරය

  • කුරුණෑගල සිට පැමිණෙන්නේ නම්…
    කුරුණෑගල සිට (19km) පොල්ගහවෙලට ගොස්, එතැන් සිට 3.5km ක් කොළඹ දෙසට යන විට යාංගල්මෝදර හන්දිය හමුවේ.. යාංගල්මෝදර හන්දියෙන් දකුණට හැරී නාරම්මල මාර්ගයේ 3.5km ඉදිරියට යන විට මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයට පැමිණිය හැකිය…

  • කොළඹ සිට පැමිණෙන්නේ නම්…

    කොළඹ සිට නුවර පාරේ ගොස්, අඹේපුස්ස හන්දියෙන් වමට හැරී කුරුණෑගල දෙසට ගමන් කරන විට යාංගල්මෝදර හන්දිය හමුවේ.. යාංගල්මෝදර හන්දියෙන් වමට හැරී නාරම්මල මාර්ගයේ 3.5km ඉදිරියට යන විට මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයට පැමිණිය හැකිය…

  • ඔබ බසයෙන් ‍හෝ දුම්රියෙන් පැමිණෙන්නේ නම්…

    පොල්ගහවෙල බස් නැවතුම්පොලට පැමිණ කොට්ටවත්ත හරහා නාරම්මල බස් රථයෙන් මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයට පැමිණිය හැකිය…

මහමෙව්නාව භාවනා අසපුව,
වඩුවාව, යටිගල්ඔළුව,
පොල්ගහවෙල.
(60314)
+94 37 2 244 602 / +94 37 4 942 746
+94 37 4 942 747 (සදහම් ප්‍රකාශන)
info@mahamevnawa.lk
www.mahamevnawa.lk
https://www.facebook.com/MBM.LK

ඡායාරූප එකතුව