සතර පොහොය දින දර්ශනය – Sathara Pohoya Dina Darshanaya Calendar 20242024-01-31T17:33:51+05:30

සතර පොහොය දින දර්ශනය
ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ~ 2568
ව්‍යවහාර වර්ෂ 2024

(පෝය ලබන සහ ගෙවෙන වේලාවන් සහිතයි)

  • පුර අටවක – ජනවාරි 18 බ්‍රහස්පතින්දා
    (ජනවාරි 17 බදාදා අ.භා. 10:07 පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08:45 ගෙවේ.)
  • පුර පසළොස්වක – ජනවාරි 25 බ්‍රහස්පතින්දා
    (ජනවාරි 24 බදාදා අ.භා. 09:50 පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 11:23 ගෙවේ.)
  • අව අටවක – පෙබරවාරි 02 සිකුරාදා
    (පෙබරවාරි 02 සිකුරාදා අ.භා. 04:02 අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05:21 ගෙවේ.)

  • අමාවක – පෙබරවාරි 09 සිකුරාදා
    (පෙබරවාරි 09 සිකුරාදා පූ.භා. 08:02 අමාවක ලබා 10 සෙනසුරාදා පූ.භා. 04:29 ගෙවේ.)

පින්බර දුරුතු පුන් පොහෝ දින

  • ගෞතම බුදුරජුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් මාස අටක් ගතවූ තැන එළැඹි දුරුතු පුන්පොහෝ දින ය.
  • සුමන සමන් දෙව් රජුන්ගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු තැන්පත් කරවමින් මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුවේ ද එම දුරුතු පුන් පොහෝ දා ය. මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ පසු කලෙක සර්වඥ ග්‍රීවා ධාතූන් වහන්සේ ද තැන්පත් කරනු ලැබීය.

වැඩියා ගෞතම මුනි සැනසුම දෙන

පින්බර දුරුතු පොහෝ දිනයේ ප්‍රථම වරට ලක් දිවට වැඩම කළ අපගේ ශාස්තෘන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ! ප්‍රථම වරට ලක්දිව ඉදිවූ ඒ මියුගුණ මහා සෑ රජාණන්ටද අපගේ නමස්කාරය වේවා ! ඒ සෑ ගර්භයේ වැඩ සිටිනා අපගේ සම්බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා, ග්‍රීවා ධාතූන් වහන්සේ ඇතුළු සර්වඥ ධාතූන් වහන්සේලාටද අපගේ නමස්කාරය වේවා !

  • පුර අටවක – පෙබරවාරි 16 සිකුරාදා
    (පෙබරවාරි 16 සිකුරාදා පූ.භා. 08:55 පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08:16 ගෙවේ.)

  • පසළොස්වක – පෙබරවාරි 23 සිකුරාදා
    (පෙබරවාරි 23 සිකුරාදා අ.භා. 03:34 පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06:00 ගෙවේ.)
  • අව අටවක – මාර්තු 03 ඉරිදා
    (මාර්තු 03 ඉරිදා පූ.භා. 08:45 අව අටවක ලබා 04 සඳුදා පූ.භා. 08:49 ගෙවේ.)

  • අමාවක – මාර්තු 10 ඉරිදා
    (මාර්තු 09 සෙනසුරාදා අ.භා. 06:18 අමාවක ලබා 10 ඉරිදා අ.භා. 02:30 ගෙවේ.)

පින්බර නවම් පුන් පොහෝ දින

  • සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගෞතම සසුනෙහි අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝ දිනක ය.
  • ප්‍රථම ශ්‍රාවක සන්නිපාතය වූ 1250 ක් භික්ෂූන් වහන්සේලාගේ රැස් වීම සිදුවූයේ ද නවම් පුන් පොහෝ දිනක ය
  • බුදුරජාණන් වහන්සේ විසින් මහා සංඝරත්නයට ඕවාද ප්‍රාතිමෝක්ෂය ප්‍රථම වරට දේශනා කොට වදාළේ ද නවම් පුන් පොහෝ දිනක ය.
  • බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන්මසකට පෙරාතුව ආයු සංස්කාර අත්හළේ ද නවම් පුන් පොහෝ දිනකදී ය.

මගෙ බුදු සමි‍ඳු ආයුෂ අත්හළ සේක…!

නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී මනා සිහියෙන් යුතුව, නුවණින් යුතුව කල්පයක් වැඩ සිටිය හැකි ආයු සංස්කාරය අත්හළ සේක. එකල්හී මේ මහත් පෘථිවිය චලනය වූයේ ය. බිහිසුණු වූ ලොමු දහගැනීමක් වූයේ ය. අහස ගුගුරා වැහි පොද වැටුණේ ය. එකල්හී ඒ සම්බුදු මුව මඬලින් උදානයක් පහළ කළ සේක.
තුලමතුලඤ්ච සම්භවං – භව සංඛාරමවස්සජී මුනි
අජ්ඣත්තරතෝ සමාහිතෝ – අභින්දි කවචමිවත්තසම්භවන්ති

  • පුර අටවක – මාර්තු 17 ඉරිදා
    (මාර්තු 16 සෙනසුරාදා අ.භා. 09:38 පුර අටවක ලබා 17 ඉරිදා අ.භා. 09:53 ගෙවේ.)

  • පසළොස්වක – මාර්තු 24 ඉරිදා
    (මාර්තු 24 ඉරිදා පූ.භා. 09:55 පසළොස්වක ලබා 25 සඳුදා අ.භා. 12:30 ගෙවේ.)
  • අව අටවක – අප්‍රේල් 02 අඟහරුවාදා
    (අප්‍රේල් 01 සඳුදා අ.භා. 09:10 අව අටවක ලබා 02 අඟහරුවාදා අ.භා. 08:09 ගෙවේ.)

  • අමාවක – අප්‍රේල් 08 සඳුදා
    (අප්‍රේල් 08 සඳුදා පූ.භා. 03:21 අමාවක ලබා එදින ම අ.භා. 11:50 ගෙවේ.)

පින්බර මැදින් පුන් පොහෝ දින

  • බුදුරජාණන් වහන්සේ විසි දහසක් මහරහතන් වහන්සේලා සමඟින් රජගහ නුවරින් නික්ම කිඹුල්වත් නුවරට වැඩම කිරීම ආරම්භ කරන ලද්දේ මැදින් පුන් පොහෝ දිනක දී ය.

ශාක්‍ය වංශයේ සිංහරජාණෙනි වන්දේ

පින්වත් මුනිඳුනි, දැන් ගස්වල කොළ හැලිල තියෙන්නෙ. අලුතින් ගෙඩි හටගන්ට ළඟයි. අතු අග පිපිල තියෙන මල් දිලිසෙන ගිනි අඟුරු පාටයි. ඒ ගස් බබලනවා ගිනි සිළුව වගේ. මහා වීර මුනිඳාණෙනි, ශාක්‍යයන්ටත් පිහිට වෙන්න දැන් කල් පැමිණිලා! ඒ ගස්වල ලස්සන මල් පිපිලා හැම පැත්තටම සුවඳ හමනවා. දැන් ඒ ගස්, කොළ අත්හැරියා. ඔය සූදානමින් ඉන්නෙ ගෙඩි පිළිගන්ට. මහාවීර මුනිඳුනි, දැන් ඉතින් අපට පිටත්වෙන්න කල් පැමිණිලා!

  • පුර අටවක – අප්‍රේල් 15 සඳුදා
    (අප්‍රේල් 15 සඳුදා අ.භා. 12:12 පුර අටවක ලබා 16 අඟහරුවාදා අ.භා. 01:24 ගෙවේ.)

  • පසළොස්වක – අප්‍රේල් 23 අඟහරුවාදා
    (අප්‍රේල් 23 අඟහරුවාදා පූ.භා. 03:26 පසළොස්වක ලබා 24 බදාදා පූ.භා. 05:18 ගෙවේ.)
  • අව අටවක – මැයි 01 බදාදා
    (මැයි 01 බදාදා පූ.භා. 05:46 අව අටවක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 04:01 ගෙවේ.)

  • අමාවක – මැයි 07 අඟහරුවාදා
    (මැයි 07 අඟහරුවාදා පූ.භා. 11:41 අමාවක ලබා 08 බදාදා පූ.භා. 08:51 ගෙවේ.)

පින්බර බක් පුන් පොහෝ දින

  • බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලක්දිවට වැඩම කරන ලද්දේ සම්බුද්ධත්වයෙන් පස් වෙනි වර්ෂයෙහිදී බක් පුන් පොහෝ දින ය. චූලෝදර මහෝදර නා රජුන් දෙදෙනා අතර මිණි පළඟක් අරභයා ඇති වූ ගැටුම සංසිඳවීම පිණිස බුදුරජාණන් වහන්සේගේ වැඩමවීම සිදුවිය.

බක් පුන් පොහොය

මේ බක් පුන් පොහොය දිනය තෙරුවන් සරණ ලැබූ සැදැහැවත් කෙනෙකුට පින්බර වූ අනුස්මරණීය දිනයකි. ශාන්තිනායක වූ අපගේ ගෞතම බුදු සමිඳාණෝ උතුම් සම්බුද්ධත්වයට පැමිණ ඒ වන විට වසර පහක් ගෙවී ගොස් තිබුණි. එකල එළඹුණු බක් පුන් පොහෝ දිනයේ මහා කරුණා සමවතින් ලොව දෙස බලනා සම්බුදු රජාණෝ මේ ලක්දිව සිදුවීමක් දැක වදාළ සේක. ඒ නා රජවරු දෙදෙනෙකු යුධයකට සැරැසී සිටිනා අයුරුයි.

  • පුර අටවක – මැයි 15 බදාදා
    (මැයි 15 බදාදා පූ.භා. 04:19 පුර අටවක ලබා 16 බ්‍රහස්පතින්දා පූ.භා. 06:23 ගෙවේ.)

  • පසළොස්වක – මැයි 23 බ්‍රහස්පතින්දා
    (මැයි 22 බදාදා අ.භා. 06:48 පසළොස්වක ලබා 23 බ්‍රහස්පතින්දා අ.භා. 07:22 ගෙවේ.)
  • අව අටවක – මැයි 30 බ්‍රහස්පතින්දා
    (මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11:44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09:38 ගෙවේ.)

  • අමාවක – ජුනි 06 බ්‍රහස්පතින්දා
    (ජුනි 05 බදාදා අ.භා. 07:55 අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06:07 ගෙවේ.)

පින්බර වෙසක් පුන් පොහෝ දින

  • ගෞතම බුදු රජුන්ගේ ලොව පහළවීම, සම්බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන්පෑම යන උතුම් තෙමගුල සිදුවූයේ වෙසක් පුන් පොහෝ දිනයන්හීදී ය.
  • සම්බුද්ධත්වයෙන් වසර අටක් ගත වූ තැන බුදුරජාණන් වහන්සේ තුන්වන වරට ලංකාද්වීපයේ කැළණියට වැඩම කොට වදාළේ වෙසක් පුන් පොහෝ දිනකය.
  • බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්ව ප‍්‍රථම වරට කිඹුල්වත්පුරයට වැඩම කොට යමා මහ පෙළහර පා වදාළේ වෙසක් පුන් පොහෝ දිනකය.
  • ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ද වෙසක් පුන් පොහෝ දිනකය.

වෙසක් පුන් පොහොය

සුජාතාවගේ කිරිපිඬු දානය වළඳා, පාත‍්‍රය නේරංජාවේ උඩුගං බලා හසුරුවා ඇසතු රුක දෙසට පැමිණෙමින් සිටි අප මහා බෝසතාණන් හට සොත්ථිය බමුණා කුසතණ අට මිටක් පුද කළේය. එය ද රැගෙන නේරංජරා ගංතෙර බෝරුක් සෙවණේ වජ‍්‍රාසනය මත කුසතණ අතුරා සංඝාටිය මත වැඩ සිටි සේක. චතුරංග සමන්නාගත පුරුෂ වීර්යයෙන් වැඩසිටි අප මහා බෝසතාණන් වහන්සේ ඒ සොඳුරු වෙසක් පෝ දිනේ දස මර සෙන් පරදා, ති‍්‍රවිද්‍යාව ලබා ගෞතම නමින් උතුම් සම්බුද්ධත්වය ලැබූ සේක.

  • පුර අටවක – ජුනි 14 සිකුරාදා
    (ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09:33 පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00:04 ගෙවේ.)

  • පසළොස්වක – ජුනි 21 සිකුරාදා
    (ජුනි 21 සිකුරාදා පූ.භා. 07:32 පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06:37 ගෙවේ.)
  • අව අටවක – ජුනි 28 සිකුරාදා
    (ජුනි 28 සිකුරාදා අ.භා. 04:27 අව අටවක ලබා 29 සෙනසුරාදා අ.භා. 02:20 ගෙවේ.)

  • අමාවක – ජූලි 05 සිකුරාදා
    (ජූලි 05 සිකුරාදා පූ.භා. 04:58 අමාවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 04:27 ගෙවේ.)

පින්බර පොසොන් පුන් පොහෝ දින

  • අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ගෞතම බුදුරජුන්ගේ ධර්ම දායාදය රැගෙන ලක්දිවට වැඩම කොට වදාළේ පොසොන් පුන් පොහෝ දිනකය.

පොසොන් පුන් පොහොය

නිර්මල සම්බුද්ධ දේශනා මගින් ලක්වැසියන්ගේ සිත් තුළ ශ‍්‍රද්ධාව ජනිත කරවා, මාර්ගඵල ලාභීන් බිහිකරවා, ගෞතම බුදු සසුන මෙලක් දෙරණේ ස්ථාපිත කරවා අනුපමේය සේවයක් කරමින් තෙරුවන් සරණ මූලික කරගත් සොඳුරු සංස්කෘතියක් බිහිකරවූවෝ, දෙලොව යහපත පිණිස කටයුතු කරනා උතුම් මිනිස් පරපුරක් මෙලක් දෙරණේ බිහිකරවූවෝද අප ලංකාද්වීපයට උතුම්ම කලණ මිතුරාණන් වූ මිහිඳු මහරහතන් වහන්සේ ය.

  • පුර අටවක – ජූලි 13 සෙනසුරාදා
    (ජූලි 13 සෙනසුරාදා අ.භා. 03:05 පුර අටවක ලබා 14 ඉරිදා අ.භා. 05:26 ගෙවේ.)

  • පසළොස්වක – ජූලි 20 සෙනසුරාදා
    (ජූලි 20 සෙනසුරාදා අ.භා. 05:59 පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03:47 ගෙවේ.)
  • අව අටවක – ජූලි 28 ඉරිදා
    (ජූලි 27 සෙනසුරාදා අ.භා. 09:19 අව අටවක ලබා 28 ඉරිදා අ.භා. 07:27 ගෙවේ.)

  • අමාවක – අගෝස්තු 03 සෙනසුරාදා
    (අගෝස්තු 03 සෙනසුරාදා අ.භා. 03:50 අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04:42 ගෙවේ.)

පින්බර ඇසළ පුන් පොහෝ දින

  • අප මහා බෝසතාණන් වහන්සේ මහාමායා බිසවුන් කුස පිළිසිඳ ගත්තේ ඇසළ පුන් පොහෝ දිනක ය.
  • සම්මා සම්බුද්ධත්වයට පත් වී වදාළ බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී දස දහසක් ලෝකධාතූන් කම්පා කරවමින් ප‍්‍රථම දම් දෙසුම පවත්වා වදාළේ ඇසළ පුන් පොහෝ දිනකය.
  • ගිහිගෙය පිළිබඳව කළකිරුන සිද්ධාර්ථ කුමරුන් විමුක්තිය පතා මහභිනික්මන් කළේ ඇසළ පුන් පොහෝ දිනකය.
  • රාහුල කුමරුන්ගේ උපත ද ඇසළ පුන් පොහෝ දිනක සිදුවිය.
  • බුදුරජුන් ඇතුළු පස්වග මහණුන්ගේ ප‍්‍රථම වස් සමාදානය සිදු වූයේ ඇසළ පුන් පොහෝ දිනක වන අතර භික්ෂූන් වහන්සේලාගේ පෙරවස් සමාදන් වීම යෙදී ඇත්තේ ද පින්බර ඇසළ පුන් පොහෝ දිනටය.

ඇසළ පුන් පොහෝ දිනය

අප භාග්‍යවතුන් වහන්සේ පිළිවෙලින් චාරිකායෙහි වඩිමින් බරණැස ඉසිපතන මිගදායට වැඩි සේක. එය සිදුවූයේ ද ඇසළ පුන් පොහෝ දිනයකය. භාග්‍යවතුන් වහන්සේ ඈත වඩිද්දීම පස්වග ශ‍්‍රමණවරු උන්වහන්සේ ගැන නොසැලකිලිමත් වූහ. එහෙත් භාග්‍යවතුන් වහන්සේ සත්‍යයෙහි පිහිටා එකල පවා සත්‍ය වචනයෙන් පමණක් කතා කළ බව පැවසීමෙන් පසු ඔවුහු ධර්ම ශ‍්‍රවණයට සූදානම් වූහ. එකල්හී භාග්‍යවතුන් වහන්සේ ඇසළ සඳ නැගී ආ ඒ සොඳුරු රැයෙහි බරණැස මිගදායෙහිදී අමා බෙරය වැයූ සේක.

  • පුර අටවක – අගෝස්තු 12 සඳුදා
    (අගෝස්තු 12 සඳුදා පූ.භා. 07:55 පුර අටවක ලබා 13 අඟහරුවාදා පූ.භා. 09:31 ගෙවේ.)

  • පසළොස්වක – අගෝස්තු 19 සඳුදා
    (අගෝස්තු 19 සඳුදා පූ.භා. 03:05 පසළොස්වක ලබා එදින අ.භා. 11:55 ගෙවේ.)
  • අව අටවක – අගෝස්තු 26 සඳුදා
    (අගෝස්තු 26 සඳුදා පූ.භා. 03:39 අව අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02:20 ගෙවේ.)

  • අමාවක – සැප්තැම්බර් 02 සඳුදා
    (සැප්තැම්බර් 02 සඳුදා පූ.භා. 05:22 අමාවක ලබා 03 අඟහරුවාදා පූ.භා. 07:25 ගෙවේ.)

පින්බර නිකිණි පුන් පොහෝ දින

  • ප්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම ආරම්භ කරන ලද්දේ නිකිණි පුන් පොහෝ දිනකය.
  • ආනන්ද ස්වාමීන් වහන්සේ උතුම් අරහත්වයට පත්වී වදාළේ නිකිණි පුන් පොහෝ දිනකය.
  • උපසම්පදා ස්වාමීන් වහන්සේලාගේ පසුවස් සමාදන්වීම සිදුවන්නේ නිකිණි පුන් පොහෝ දිනයේය.

නිකිණි පොහොය

ඒ පින්බර නිකිණි පුන් පොහෝ දින අළුයම සිව් ඉරියව්වෙන් ම තොර ඉරියව්වක දී ආනන්දයන් වහන්සේ උතුම් මහ රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක. ඉන්පසු ආනන්ද මහ රහතන් වහන්සේ ද ඇතුළුව පන්සිය නමක් මහ රහතන් වහන්සේලා විසින් රජගහනුවර වේභාර පර්වත ප‍්‍රාන්තයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි සත් මසක් පුරාවටම සිදු කරන ලද ප‍්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කරන ලද්දේ ද ඒ පින්බර නිකිණි පුන්පොහෝ දිනයේ දී ය.

  • පුර අටවක – සැප්තැම්බර් 11 බදාදා
    (සැප්තැම්බර් 10 අඟහරුවාදා අ.භා. 11:12 පුර අටවක ලබා 11 බදාදා අ.භා. 11:46 ගෙවේ.)

  • පසළොස්වක – සැප්තැම්බර් 17 අඟහරුවාදා
    (සැප්තැම්බර් 17 අඟහරුවාදා පූ.භා. 11:44 පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08:04 ගෙවේ.)
  • අව අටවක – සැප්තැම්බර් 24 අඟහරුවාදා
    (සැප්තැම්බර් 24 අඟහරුවාදා අ.භා. 12:39 අව අටවක ලබා 25 බදාදා අ.භා. 12:11 ගෙවේ.)

  • අමාවක – ඔක්තෝබර් 02 බදාදා
    (ඔක්තෝබර් 01 අඟහරුවාදා අ.භා. 09:39 අමාවක ලබා 03 බ්‍රහස්පතින්දා පූ.භා. 00:09 ගෙවේ.)

පින්බර බිනර පුන් පොහෝ දින

  • ගෞතම බුදුරජුන්ගේ ශ්‍රාවක වූ භික්‍ෂූනී සංඝයාගේ ආරම්භය සිදුවූයේ බිනර පුන්පොහෝ දිනකය.

දරා කසාවත – භික්ෂුණියන් වී……

ඉක්බිති ප‍්‍රීතියෙන් පිනාගිය ප‍්‍රජාපතී ගෞතමී බිසව් තොමෝ ආනන්ද තෙරුන් හට මෙලෙස පිළිවදන් දුන්නා ය. “ස්වාමීනී ආනන්දයන් වහන්ස, අලංකාරව සැරසෙනු කැමති තරුණ ගෑණු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් හොඳින් හිස සෝදා නෑමෙන් අනතුරුව, සමන් මල් හෝ දෑසමන් මල් දාමයක් ගෙන ශරීරයේ උත්තම අංගය වන හිසේ පැළඳගන්නාක් මෙන් මමද මේ සම්බුදු රජාණන් විසින් උතුම් ගරුධර්මයන් පිළිගන්නෙමි.” ඒත් සමඟම එය මහා ප‍්‍රජාපතී ගෞතමිය ගේ පැවිද්දත් උපසම්පදාවත් විය.

  • පුර අටවක (ශ්‍රී මිහිඳු පුර අටවක) – ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා
    (ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා අ.භා. 12:32 පුර අටවක ලබා 11 සිකුරාදා අ.භා. 12:07 ගෙවේ.)

  • පසළොස්වක – ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා
    (ඔක්තෝබර් 16 බදාදා අ.භා. 08:40 පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04:56 ගෙවේ.)
  • අව අටවක – ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා
    (ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා පූ.භා. 01:09 අව අටවක ලබා 25 සිකුරාදා පූ.භා. 01:58 ගෙවේ.)

  • අමාවක – ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා
    (ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා අ.භා. 03:53 අමාවක ලබා 01 සිකුරාදා අ.භා. 06:06 ගෙවේ.)

පින්බර වප් පුන් පොහෝ දින

  • බුදුරජාණන් වහන්සේ තවුතිසා දෙව් ලොවින් දඹදිව සංකස්ස පුරයට වැඩමකොට මහා පෙලහර පෑවේ වප් පුන් පොහෝ දිනකය.
  • සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා ප්‍රඥාවන්ත භික්‍ෂූන් අතර අගතනතුර ලැබුවේ වප් පුන් පොහෝ දිනකය.
  • ස්වාමීන් වහන්සේලාගේ පෙරවස් පවාරන දිනය වන්නේ වප් පුන් පොහෝ දිනයයි.

වප් පුන් පොහොය

වප් පුන් පොහෝ දිනය අසිරිමත් බෞද්ධාගමික සිදුවීම් රැසක් සිදුවුනු වැදගත් පොහෝ දිනයකි. මහා පවාරණය, දේවාවරෝහණය, සාරිපුත්ත තෙරණුවෝ ප්‍රඥාවෙන් අගතැන් ලැබීම, මෛත්‍රී බෝධිසත්වයන් ගෞතම සම්බුදු සසුනේ පැවිදි බව ලැබීම, ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාව සිදුකිරීම, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රන් කටාරමෙහි පිහිටීම ආදී අසිරිමත් ශාසනික සංසිද්ධීන් සිදුවූයේ වප් පුන් පොහෝ දිනයන්හි දී ය.

පින්බර වප් පුර අටවක (මිහිඳු පුර අටවක) පොහෝ දින

  • අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වදාළේ වප් මස පුර අටවක පොහෝ දිනයක දී ය. එබැවින් ඒ පුර අටවක දා ‘ශ්‍රී මිහිඳු පුර අටවක’යි සම්මත වුනා.

ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය

අපගේ මිහිඳු මහ රහතන් වහන්සේගේ අසිරිමත් ගුණ කඳ සිහි කරමින් උපෝසථ සීලයෙහි පිහිටා නොයෙක් පුණ්‍ය කර්මයන් සිදුකරමින් ශ්‍රී මිහිඳු පුර අටවක පොහෝ දිනය කෘතගුණ දන්නා ජාතියක් ලෙස යළි අර්ථාන්විතව සමරමු.

  • පුර අටවක – නොවැම්බර් 09 සෙනසුරාදා
    (නොවැම්බර් 08 සිකුරාදා අ.භා. 11:56 පුර අටවක ලබා 09 සෙනසුරාදා අ.භා. 10:45 ගෙවේ.)

  • පසළොස්වක – නොවැම්බර් 15 සිකුරාදා
    (නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06:19 පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 02:58 ගෙවේ.)
  • අව අටවක – නොවැම්බර් 23 සෙනසුරාදා
    (නොවැම්බර් 22 සිකුරාදා අ.භා. 06:08 අව අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 07:57 ගෙවේ.)

  • අමාවක – නොවැම්බර් 30 සෙනසුරාදා
    (නොවැම්බර් 30 සෙනසුරාදා පූ.භා. 10:30 අමාවක ලබා 01 ඉරිදා පූ.භා. 11:51 ගෙවේ.)

පින්බර ඉල් පුන් පොහෝ දින

  • ප‍්‍රථම ධර්ම දූත පිරිස වන රහතන් වහන්සේලා සැටනම ධර්ම ප‍්‍රචාරය සඳහා වැඩමකොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.
  • සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිරිනිවන්පෑම සිදුවූයේ ඉල් පුන් පොහෝ දිනකය
  • තුන් බෑ ජටිලයන් දමනය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩම කොට වදාළේ ඉල් පුන් පොහෝ දිනකය.
  • ස්වාමීන් වහන්සේලාගේ පසුවස් පවාරන දිනය වන්නේ ඉල් පුන් පොහෝ දිනයයි.

චරථ භික්ඛවේ චාරිකං

පින්වත් මහණෙනි, දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් මම නිදහස් වූයෙමි. පින්වත් මහණෙනි, නුඹලා ද දිව්‍යමය වූත් මානුෂීය වූත් සියලූ බැඳීම් වලින් සදහටම මිදුණේමය, පින්වත් මහණෙනි, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැපය පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව්මිනිසුන් හට අර්ථය පිණිස හිතසුව පිණිස චාරිකාවේ හැසිරෙන්න, දෙදෙනෙකු එක මගකින් නොගොස්, මහණෙනි, ධර්මය දේශනා කරන්න. ආරම්භයත් සුන්දර වූ, මැදත් සුන්දර වූ, අවසානයත් සුන්දර වූ, අර්ථවත් වූ, පැහැදිලි ප්‍රකාශන වලින් යුක්ත වූ, මුළුමනින්ම පිරිපුන් පිරිසිදු බඹසර ජීවිතය (නිවන් මග) ප්‍රකාශ කරන්න.

  • පුර අටවක – දෙසැම්බර් 08 ඉරිදා
    (දෙසැම්බර් 08 ඉරිදා පූ.භා. 09:44 පුර අටවක ලබා 09 සඳුදා පූ.භා. 08:03 ගෙවේ.)

  • පසළොස්වක – දෙසැම්බර් 14 සෙනසුරාදා
    (දෙසැම්බර් 14 සෙනසුරාදා අ.භා. 04:58 පසළොස්වක ලබා 15 ඉරිදා අ.භා. 02:31 ගෙවේ.)
  • අව අටවක – දෙසැම්බර් 22 ඉරිදා
    (දෙසැම්බර් 22 ඉරිදා අ.භා. 02:32 අව අටවක ලබා 23 සඳුදා අ.භා. 05:08 ගෙවේ.)

  • අමාවක – දෙසැම්බර් 30 සඳුදා
    (දෙසැම්බර් 30 සඳුදා පූ.භා. 04:01 අමාවක ලබා 31 අඟහරුවාදා පූ.භා. 03:56 ගෙවේ.)

පින්බර උඳුවප් පුන් පොහෝ දින

  • ජය ශ‍්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මහරහත් තෙරණිය ලක්දිව දඹකොළ පටුනට වැඩමවන ලද්දේ උඳුවප් පුන් පොහෝ දිනකය.

සඟමිත් තෙරණිය මෙහි වඩිමින්නේ – ජය සිරි මහ බෝධිය සමඟින්නේ

ව්‍යවහාරික වර්ෂ ක්‍රමයට අනුව උඳුවප් පුර පසළොස්වක් පොහොය යනු වර්ෂයේ අවසාන පොහොයයි. එනමුත් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සරණ ගිය, ඒ මිහිරි ශ්‍රී සද්ධර්මය සරණ ගිය, ඒ උතුම් ආර්ය ශ්‍රාවක මහා සංඝ රත්නය සරණ ගිය ශ්‍රාවකයින් හට නම් එය එසේ නොවේ. තෙරුවන් සරණ ගිය සැදැහැවත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් හට සාදු කාර දෙමින් සිහි කළ යුතු අනුස්මරණීය වූ සිදු විම් කිහිපයක් ම උඳුවප් පොහොය මූලික වෙමින් සිදු වී තිබේ....

Go to Top