එදා අපේ ආච්චි දවස පුරාම වාගේ හාල් කෙටුවා. වංගෙඩියේ දමා හාල් කෙටුවට ආච්චිට කිසිම මහන්සියක් නෑ වගේ. එතකොට අපේ අම්මා එතැනට ආවා.
“හප්පේ…. අම්මාට කිසිම මහන්සියක් නෑ නේ. අද දවස ම හාල් කෙටුවා නොවැ. ඇත්තටම අම්මාට තවම හයිය තියෙනවා නේ.”
“නැත්තෙ මොකෝ දුවේ… මං මේ අත්දෙකින් මොනතරම් හාල් කොටලා ඇද්ද. අපි කුඩා සන්දියේ පාන් පිටි නෑ නොවැ. ඉතිං අපි ඉඳිආප්ප, පිට්ටු, ආප්ප ඔක්කෝම හදන්නේ මෙහෙම පිටි කොටලා තමයි. මං මොනතරම් දානෙ දීලා ඇද්ද මේ අත්දෙකින් පිටි කොටලා.”
“අනේ අම්මේ, අපට නම් බෑ නොවැ. ඔහොම අපි පිටි කෙටුවොත් අත්දෙකේ කරගැට ඒවි. කොන්දේ අමාරු හැදේවි.”
“නෑ දුවේ… මේවා නොකරන නිසාමයි ඔයාලාට ලෙඩ වැඩි.”
“එතකොට මටත් ආච්චිගෙන් ප්‍රශ්නයක් අසන්ට ඕන වුනා. “අනේ ආච්චියේ…. එතකොට මට කියන්ට කෙනෙකුට සවිසත්තිය ලැබෙන්න එයාට සංසාරේ කළ පින් බලපානවා ද?”
ඔව් පුතේ… මං මේ වැඩ ටික ඉවර කොරලා හිටං පහල ළිඳෙන් නාගෙන එන්නම්. දුවේ… ඔයා මට කිතුල්පිටි කැඳ ටිකක් හදා තියන්න. මං ඇවිත් මයෙ පුතාගේ දහම් ගැටළුව විසඳා දෙන්නම් කෝ.”
ඉතිං ආච්චි නාගෙන ඇවිත් හාන්සි පුටුවේ වාඩි වෙනකල් මං මගබලාගෙන හිටියා. ආච්චි ඇවිත් කිතුල්පිටි කැඳ බීලා හාන්සි පුටුවේ ඇලවුනා. මං ගිහින් ආච්චි ළඟ බිමිං වාඩිවුනා.
“මයෙ පුතා අද ඇසූ කාරණාව මොකක්ද පුතේ?”
“අනේ ආච්චි… මට දැනගන්ට ඕනෑ වුනේ කෙනෙක්ට කායික මානසික ශක්තිය පිහිටන්ට පෙර ආත්මයේ කරපු පින් ඕනෑ ද කියලයි.”
“සත්තකින් ම පුතේ… පෙර ආත්මෙක රැස්කළ පින් ඕනෑ ම යි. දැන් බලන්ට අපගේ භාග්‍යවතුන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ ආහාර නොගෙන මොනතරම් භයානක තපස් කළා ද. ශරීරය මොනතරම් කෘශ වුනා ද. ඇස් යටට ගිලිලා ගියා. ඇඟපත නහරවැල් මතුවුනා. කුස අතගාද්දි පිට කොන්ද අසුවුනා. හප්පා ස්වල්ප දුකක් ද! ඒත් උන්නාන්සේ අපවත් වුනේ නෑ. සිතේ තැන්පත් බවේ, නුවණේ අඩුවක් වුනේ නෑ. ඒ ඉතින් පිං බලේ ම නේ පුතේ. ඒ වගේම මට තවත් කතාවක් මතක් වුනා.”
“අනේ ආච්චියේ මට ඒ කතාව කියාදෙන්ට.”
“ඒ මෙහෙමයි පුතේ, ඔයැයි දන්නවා නොවැ අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්ට කලිං බුදු කෙනෙක් පහළ වුනානේ. උන්නාන්සේ තමයි කාශ්‍යප සම්බුදු රජාණෝ. ඉතිං පුතේ ඒ කාශ්‍යප බුද්ධ ශාසනේ ගැන එක්තරා පුරුෂයෙක් ගොඩාක් පැහැදුනා.
ඉතිං ඔහු ඒ කාශ්‍යප බුදුරජුන්ටත් භික්ෂු සංඝයාටත් කායික සවිබල පිහිටන විදිහේ දේවල් සොය සොයා පූජා කොළා. ඒ කියන්නේ සිවුරු, ඇඳපුටු, පොරෝනා ආදියත්, කිරි ගිතෙල් ආදී පස්ගෝරස, නීරෝග බවට වුවමනා බෙහෙත් ඖෂධ, සීත කාලෙට ගිනි කබල් ආදී මේවා මහත් ශ්‍රද්ධාවෙන් පූජා කොරගත්තා. නිරන්තරයෙන් පන්සිල් රැක්කා.
ඉතිං පුතේ, එයැයි ඔහොම පිං කොරලා හිටං මැරිලා ගිහින් දෙව්ලොව උපන්නා. ඊටපස්සේ පුතේ, මෙයැයි දෙව්ලොවින් චුතවෙලා ආයෙමත් මනුස්ස ලෝකෙට ආවා. ඒ අපේ ධර්මාශෝක රජ්ජුරුවන්නේ කාලේ. ධර්මාශෝක රජ්ජුරුවන්නේ අගමෙහෙසියකගේ කුසේ පිළිසිඳ ගත්තේ. කුමාරයා උපන්නා. හැබැයි කුමාරයාගේ හිසේ ලෝම පිහිටා තිබුනේ අපිළිවෙළට. ඒ නිසා මේ කුමාරයාට විෂම ලෝම කුමාරයා කියා නම තිබ්බා.
මේ කුමාරයා රන්රුවක් වාගේ ලාස්සනයි පුතේ. ඒ වගේම ‘බුද්ධ – ධම්ම – සංඝ’ යන ත්‍රිවිධ රත්නය ‘මගේ’ කියලා දැඩිව අදහාගෙන උන්නා.
දවසක් පුතේ ධර්මාශෝක රජ්ජුරුවෝ මේ විෂමලෝම කුමාරයත් සේනාවත් රැගෙන හිමාලෙ ගියා. ගිහින් හිමාලේ ‘චන්ද්රභාගා’ කියන ගංගාව ළඟට ආවා. එදා උඩහට වැහැලා.
හප්පේ… පුතේ… චන්ද්රභාගා ගංගාව ගලාබසිනවා මහා වේගයෙන්. වේගවත් සැඩපහර, රළගෙඩි පෙරලාගෙන, පෙණ බුබුලු විහිදුවාගෙන මහා වේගයෙන් පහළට ගලනවා. ඒ මදිවට ගඟේ කිඹුල්ලු.
ධර්මාශෝක රජ්ජුරුවෝ දෑස් විදහාගෙන හිනැහීගෙන ගංගාවේ වේගයෙන් ගලාබසිනා සැඩපහර දෙස බලා උන්නා. මෙහෙම කිව්වා.
“එම්බා මිත්‍රවරුනි, බලාපල්ලා මේ ගංගාව දිහා. මේ ගංගාව සතර ගව්වක් පළලයි. ගව්වක් ජඹුරයි. මේ ගංගාවට පැන පිහිනා එතෙර යන්ට ඇහැක් වීර පුරුෂයෙක් මෙතැන ඉන්නවා ද?”
එතකොට විෂමලෝම කුමාරයා ඉදිරිපත් වුනා. ඇවිත් වන්දනා කළා. “මහරජ්ජුරුවන් වහන්ස, රෝහිත මත්ස්‍යයෙක් වගේ මට පුළුවනි සැණෙකින් එතෙර යන්ට. ඒ විතරක් නොවේ. එසැණින් ම මෙතෙරටත් එන්ට. මට අවසර දෙනු මැනව.”
එතකොට පුතේ රජ්ජුරුවෝ ‘හොඳා එහෙනම් මට පෙන්නාපං’ කීවා. විෂමලෝම කුමාරයා යටිසළුව හිරවෙන්ට හැඳගත්තා. හිස කුඩුම්බිය ගලවා හිසකේ කරල් කොට තදට ගොතා පිට මැදට හෙලා ගත්තා. ගං ඉවුරේ සිට දහඅට රියනක් උඩට අහසට පැන්නා. දෙගව්වක් ගඟ මැදට පැන්නා. දියපහර කපාගෙන මහා තල්මසෙක් වගේ වේගයෙන් පිහිනා ගියා. එතකොට තමන්ව ගොදුරු කරගන්ට කිඹුල්ලු පන්නාගෙන ආවා. කුමාරයා යකඩ මුගුරකින් ගසා තලනවා වාගේ තමන්ගේ බාහු බලයෙන් කිඹුලන් තල තලා එතෙරට ගියා. ආයෙමත් කිඹුල්ලු තල තලා වේගයෙන් මෙතෙරට පීනා ආවා. ඒ පීනා ගිය ගමනේදී මැරුම් කෑ කිඹුලන්ගේ ගණන එකසිය විස්සක්. කුමාරයා ඇවිත් රජ්ජුරුවන්ට වන්දනා කොට සිටගත්තා.
තම පුත් කුමාරයාගේ ශක්තිය දැකපු රජ්ජුරුවෝ භයට පත්වුනා. ‘ම්… හ්… පුතා වුනත් මේකා මහා ශක්තිවන්තයා. මාව මරවලා හිට රජකම ගන්ටත් බැරි නෑ. මේකාව ඉක්මනින් ම මරවන්ට ඕනෑ’ කියලා සිතා ගත්තා. පාටලීපුත්ර නගරයට ආ ගමන් ම ඇමතිවරු ලවා විෂමලෝම කුමාරයාව සිරගත කළා. සාර මාසයක් ගත වුනා.
ඉතිං පුතේ, දවසක් රජ්ජුරුවෝ උණගස් මිටියක් ගෙන්නුවා. ඒ උණ බට ඇතුල සුද්ද කෙරෙව්වා. ඒවායේ අස්සට යකඩ ගල්ඉනි ඇතුල් කෙරුවා. පිටතට පෙනෙන්නේ උණගස් විතරයි. රාජ නියෝගය ආවා. “එම්බා කුමාරය, තොප මේ කඩුව ගනු. අර එකට බැඳ තිබෙන උණ බට මිට වහා සතර අඟලට කපා දැමිය යුතුයි. නැත්නම් තොපගේ අවසානය යි.”
“අනේ දේවයන් වහන්ස, මං දැන් සිරගෙදර හාරමාසයක් ම කෑමක් නැතිව ඉන්නේ. අනේ මට ආහාර ටිකක් දුන මැනවි. එසේ වුනොත් මේ උණදඬු මිටිය මං සුළු මොහොතකින් කපා දමන්නම්.”
“නෑ… නෑ… තට ආහාර නම් නැත. තා කළ යුත්තේ මේ උණදඬු මිටිය කැපීම පමණයි.”
“අයියෝ… දේවයන් වහන්ස, එහෙනම් අඩුගණනේ… අර පොකුණට බැස පැන් ටිකක් බොන්ට අවසර දුන මැනව.”
“හා… එහෙනම් පැන් බී වර” එතකොට යුදභටයෝ කුමාරයාව පොකුණට කැඳවාගෙන ගියා. කුමාරයා පොකුණට බැස්සා. හිස සෝධා නාගත්තා. දිය යට කිමිද බඩ පුරා මඩ කෑවා. පැන් බීවා. පොකුණෙන් ගොඩට ආවා. කඩුව අතට ගත්තා. විදුලියක් වගේ හිස වටා කැරකෙව්වා. මහජනයා පුදුමයෙන් බලා සිටිද්දී ගුරුළු පැටියෙක් වගේ අසූ අට රියනක් අහසට පැන නැංගා. හැට රියනක් උසට තිබුණු උණදඬු මිටිය වේගයෙන් සතර අඟලට කපාගෙන කපාගෙන පහළට එද්දී ගල්ඉනි හිරවී ඇති තැනේදී ‘ක්රීං’ හඬ දී කඩුව නැවතුනා. ඇතුලේ ගල්ඉනි ඇති බව තේරුම් ගත් කුමාරයා කඩුව බිම දමා හඬන්ට පටන් ගත්තා.
“ඇයි තොප හඬන්නේ?” කියා රාජපුරුෂයෝ ඇසුවා. “එම්බා මිනිසුනි, මෙතැන මට හිතවත් කවුරුවත් නෑ. මට වේලාසනින් කිව්වා නම් උණදඬු අස්සේ යකඩ ඉනි දමා තියෙනවා කියලා මං අඟලේ කෑලිවලට කපා දාන්නේ.”
විෂමලෝම කුමාරයාගේ ඉවසීමත්, කෝප නොවීමත්, පුරුෂ පරාක්‍රමයත් දුටු ධර්මාශෝක රජ්ජුරුවෝ හොඳට ම පැහැදුනා. එදා ම යුවරාජ තනතුර දුන්නා.
දැක්කා නේද පුතේ. කයේ හයියවත් සිතේ හයියවත් අපට ඕනෑ හැටියට ගන්ට බෑ. මෙහෙමයි පුතේ…
විෂමලෝම කුමාරයාට තිබුණේ උපන්න ජාතියේ, උපන්න කුලයේ, උපන්න පලාතේ තිබුණු ශක්තියක් නොවේ. දුෂ්චරිතයෙන් උපදවාගත් බලයකුත් නොවෙයි. බොරුවෙන්, වංචාවෙන්, පාවාදීමෙන් උපදවාගත් බලයකුත් නොවෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සංඝයා උදෙසා දන්පිදූ පින් බලයත්, තමන් විසින් ආරක්ෂා කරගත් ගුණධර්මවල බලයත් පුතේ.
යුවරාජ පදවියට පත් වුනාට පස්සේ විෂමලෝම යුවරාජයා අපගේ මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයාට මහත් ආදරයෙන් උපස්ථාන කළා. බොහෝ පිං රැස්කරගත්තා. මරණින් මතු දෙව්ලොව උපන්නා.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
sadu sadu siyalu denatama pin sidu wewa