‘සංගායනාව’ යන වදන බෞද්ධ ඉතිහාසය තුළ භාවිත වූයේ බුදුදහමත්, බෞද්ධ සංඝයාත් ආරක්ෂා කිරීම පිණිස කරන ලද ඉතාම පාරිශුද්ධ වැඩපිළිවෙළ ලෙස ය. එහෙයින් ‘සංගායනාව’ යනු යමකට එක්වී ඇති පරිහානීය ලක්ෂණ ඉවත් කොට එහි පවිත්‍රතාව රැකීම පිණිස කරනු ලබන සාමූහික ප්‍රයත්නයක් ලෙස හැඳින්විය හැකිය.

අපි මේ ශ්‍රී ලංකාවේ පුරවැසියෝ වෙමු. ඡන්දදායකයෝ වෙමු. රාජාණ්ඩු ක්‍රමය තුළ පාලනය වූ මේ රටට ප්‍රජාතාන්ත්‍රික දේශපාලන රටාව හඳුන්වා දෙනු ලැබුවේ යටත් විජිත භාර ඉංග්‍රීසි පාලනය විසිනි. අපගේ ඡන්දයෙන් දේශපාලන නායකයන් තෝරාගන්නා රටාවට ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියනු ලැබේ. එහෙත් අපට නම් තවමත් ප්‍රජාතන්ත්‍රවාදය ගැන අවබෝධයක් නැති බව පෙනේ. අපට ඡන්දය දෙන්ට සිදුවී තිබෙන්නේ රටට අවශ්‍ය පුද්ගලයන්ට නොව දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන පුද්ගලයන්ට ය. මෙනිසා රට බිහිසුණු ආගාධයකට යමින් තිබේ.

ලාංකීය දේශපාලන ව්‍යුහය අත්‍යන්තයෙන් ම දූෂිත ය. අපවිත්‍ර ය. ආත්මාර්ථකාමී බල ලෝභයෙන් වෙලී ඇත්තේය. මේ රට දිගින් දිගට ම පාලනය කරන ලද්දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් විසිනි. ඔවුහු වරින් වර ජනතා ඡන්දය තුළින් දිනති. පරදිති. මේ පක්ෂ දේශපාලනය විසින් මුළුමහත් සමාජ දේහය ම සිය වසඟයට ගනු පිණිස අවස්ථානුකූලව ව්‍යාජ බලාපොරොත්තු දෙමින් ජනතාවට මැජික් පෙන්වනු ලබයි. නොයෙක් අයුරින් රවටනු ලබයි.

මේ දේශපාලන රාමුව තුළ තිබෙන්නේ ජනතා සේවයක් නොවේ. සිය ජයග්‍රහණය උදෙසා දායක වූවන්ට තනතුරු, තාන්න මාන්න, සන්තෝෂම් ලබාදී සිය පාලන කාලය තුළ හැකි තාක් හරිහම්බ කරගැනීමට සලස්වයි.

ඇතැම් මුස්ලිම් නියෝජිතයන් සිය දේශපාලන ව්‍යාපාරය මුළුමනින්ම සිදුකොට තිබෙන්නේ ලංකාව මුස්ලිම් රාජ්‍යයක් බවට පත්කරගැනීම පිණිස අතිශය අමානුෂික වූ සැලසුම් සහගත විනාශකාරී ක්‍රියාවන් ය. එයට මග පෑදී තිබෙන්නේ ද බලලෝභී දේශපාලන උමතුව නිසා ය. කොටින් ම දෙමළ ත්‍රස්තවාදය බිහිවූයේත් බලලෝභී දේශපාලනය නිසා ම ය. සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක මෙවැනි දේ සිදුවිය නොහැකිය. ප්‍රජාතාන්ත්‍රික දේශපාලන රටාවකට දැන උගත්, ශක්ති සම්පන්න, වැදගත් චරිත අත්‍යවශ්‍ය ය. එසේ නොවුවහොත් ඒ ප්‍රජාතාන්ත්‍රික ක්‍රමය රටට ශාපයකි. රටක් ආර්ථික වශයෙන් දියුණු වීමට නම් ශක්ති සම්පන්න තනි නායකයෙකු අවශ්‍ය වේ.

ඇතැම් මූලධර්මවාදී ආගමික නිකායයන් විසින් සිය දේශපාලන නියෝජිතයන් යොදවා තිබෙන්නේ බෞද්ධ සමාජයේ අවගමනය පිණිස ම මිස යහපත පිණිස නොවේ. ඔය අතරේ ඇතැම් දේශපාලනඥයන් සිය ධුර කාලය තුළ හැකි තාක් විදේශ සවාරි යති. පවුල් පිටින් විනෝද වෙති. ඔවුන්ට රටක් අවශ්‍ය නැත. ඇතැම් දේශපාලනඥයන් විසින් කොට තිබෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම, මහා පරිමාණ ව්‍යාපෘති මගින් අධික ලෙස කොමිස් ගැසීම, වියදම් අධික ව්‍යාපෘති සම්පාදනය කොට මුදල් සොරකම් කිරීම, සිය දේශපාලනයට අවාසි වන පුද්ගලයන් විනාශ කිරීම ආදී භයානක දේ ය. එමෙන්ම පන්සල් ඇතුලු ආගමික ස්ථානයන්ට ද වරින් වර ආධාර බෙදාගෙන යයි. ඒ සංඝයාගේ කට වසනු පිණිස ය. මේ දේශපාලකයන්ට රටක් අවශ්‍ය නැත. මහජන ශුභසිද්ධිය ඇතිකිරීමේ අවශ්‍යතාවයක් ද නැත. ආර්ථික සමෘද්ධියක් ද අවශ්‍ය නැත. සංස්කෘතියකින් සදාචාරයකින් ද පලක් නැත. මෙය ජඩ දේශපාලන ක්‍රමයකි. හිතු මනාපයේ පිල් මාරු කරගනිමින් ‘වාසි පැත්තට හෝයියා!’ න්‍යාය අනුව කටයුතු කරන ළාමක දේශපාලන ක්‍රමයකි. රටට කිසිසේත් අවශ්‍ය නැති දේශපාලන ක්‍රමයකි.

මේ හේතුව නිසා අද අප රට භයානක ප්‍රපාතයකට වැටී තිබේ. පාසැල් දරුවෝ මත් උවදුරට ගොදුරු වී සිටිති. පවුල් ජීවිත අවුල් වී තිබේ. ගොවියෝ ණය බරින් මිරිකී දුක් විඳිත්. විසඳාගත නොහැකි ජීවන අරගලයට පොදු ජනයා මැදි වී සිටිත්. මුස්ලිම් අන්තවාදය හොල්මන් කරයි. දෙමළ අන්තවාදය ද හිස ඔසවයි. විදේශීය මැදිහත් වීම් ද පෙනෙන්ට තිබේ. භික්ෂූන් වහන්සේලාත් ඇතුලු විනිසුරුවන්, පොලිස් නිලධාරීන්, වෛද්‍යවරුන්, ගුරුවරුන් ආදී සමාජයේ වැදගත් චරිත පවා අන්තයට ම පිරිහී ගොස් තිබේ. සුද්දන්ගෙන් පසු මේ රටෙහි පරිපාලනය භාරගෙන කටයුතු කළ සියලුම දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් මේ විනාශයට සම්පූර්ණයෙන් ම වගකිව යුතුය. ඡන්ද දායකයින් වන මහජනයා ද දේශපාලන වශයෙන් දෑස් අන්ධ නොකරගෙන අවබෝධයෙන් යුක්තව මේ දෙස බැලිය යුතුය. වත්මන් දේශපාලන ව්‍යුහය තුළ අපට දිස්වන්නේ පහත සඳහන් චරිතයන් ය.

  • දේශපාලන පියවරු සිය දූපුතුන් දේශපාලන කරලියට රැගෙන ඒම මුළු රටට ම බලවත් පිළිලයකි.

මේ තුළින් සිය පියාගේ බලපරාක්‍රමයෙන් මොළය අවුල් කරගත් ළපටි කොලුගැටව් දේශපාලනයට පැමිණෙති. ඔවුන්ට දේශපාලනය සෙල්ලමකි. ජාවාරමකි. සිය මිතුරන්ට තනතුරු ලබාදීමකි. මේ දේශපාලන පුතුන්ට රට ගැන දැක්මක් නැත. අනුකම්පාවක් ද නැත. බරක් ද නැත. වගකීමක් නිසි ලෙස හැසිරවීමේ හැකියාවක් ද නැත. එනිසා පළමුවෙන් ම අප කළයුත්තේ දේශපාලන පියා හරහා දරුවන්ට ලබාදෙන දේශපාලන නායකත්වය ප්‍රතික්ෂේප කිරීම යි. මෙය අනිවාර්යයෙන් ම වෙනස් විය යුත්තකි. දේශපාලන පවුලක කෙනෙකු ඉපදීම දේශපාලන අයිතිවාසිකමකට සුදුසුකමක් නොවේ.

  • සැමියා මියගිය විට බිරිඳ දේශපාලනයට කැඳවීම ඊළඟ පිළිලය යි.

එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිඳුන්ගේ අභාවයෙන් පසු එතුමාගේ බිරිඳ දේශපාලනයට කැඳවාගත් එකල සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් විසින් කරන ලද්දේ ඉතාමත් නරක පූර්වාදර්ශයකි. මෙවැනි ක්‍රමයන් තුළින් දේශපාලනයට පැමිණෙන්නවුන්ට දර්ශනයක් නොමැත. එනිසා සැමියාගේ මළගමින් අනුකම්පාව දිනාගෙන බිරින්දෑවරු රට පාලනය කරන්ට පැමිණීම මහජනයා විසින් ප්‍රතික්ෂේප කළයුතු ම ය. මේ ක්‍රමය නිසා රටට බලවත් විනාශයක් සිදුවී තිබේ. 1970 සිට 77 දක්වා වසර තුළ රට පාලනය කළ රටාව හේතුවෙන් ජේ. ආර්. ජයවර්ධනට ඉතා විශාල බලයක් ලබාගෙන 77 බලයට පත්විය හැකි විය. ඔහු විසින් දුර දිග නොබලා ගන්නා ලද ඇතැම් තීරණ නිසා රට අවුලෙන් අවුලට පත්විය.

  • නළු නිළියන්, ගායක ගායිකාවන්, ක්‍රීඩකයින් දේශපාලන කරළියට ගෙන ඒම ඊළඟ පිළිලය යි.

නළු නිළියෝ රුව නිසාත්, ගායක ගායිකාවෝ හඬ නිසාත්, ක්‍රීඩකයෝ දස්කම් නිසාත් ප්‍රසිද්ධියට පත්වෙති. ඔවුන් මහජනයා අතර ප්‍රසාදයට පත්වන්නේ අදාළ ක්ෂේත්‍රයන්හි දක්වන ලද දස්කම් නිසාවෙනි. එය දේශපාලන කටයුත්තකට සුදුසුකමක් නොවේ. ඇතැම් දේශපාලන නායකයන් විසින් ඡන්ද දායකයන් මුළා කිරීම පිණිස එවන් ප්‍රසිද්ධ චරිත යොදාගනු ලැබේ. ඇතැම්විට ප්‍රසිද්ධ නළු නිළියන්, රූරැජිණියන්, ගායකයන් දේශපාලනයට යොදවනු ලබන්නේ මූලධර්මවාදී ආගමික නිකායයන් විසිනි. ඒ ඔවුන්ගේ ආගමික ඕනෑ එපාකම් පිණිස ය. ඔවුන්ගේ යටි අරමුණ ආගමික මතයක් පැතිරවීම ය. ජනතා සේවය ලෙස ව්‍යාජ අනුකම්පාවක් පිටට පෙන්වති. මෙවන් බොහෝ අයට සදාචාරාත්මක පසුබිමක් නැත. මෙය මුළු සමාජය ම විනාශ කළ හැකි බිහිසුණු මෙවලමක් බව පසුගිය හඬපට හුටපටයෙන් මුළු රටට ම ප්‍රත්‍යක්ෂ විය. එහෙයින් මෙය ප්‍රතික්ෂේප කළයුත්තේ ම ය.

  • භික්ෂූන් වහන්සේලා දේශපාලනයට පැමිණීම

අපවත් වී වදාළ සෝම හිමියන් විසින් ඇතිකරන ලද ජාතික, ආගමික ප්‍රබෝධය වරදවා වටහාගත් ඇතැම් භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු ගියෝය. එනිසා සිදුවූ හානිය ගැන අමුතුවෙන් කිවයුතු නැත. එමෙන්ම දේශපාලන පක්ෂ විසින් සිය දේශපාලනික අවශ්‍යතා පිණිස භික්ෂූන් වහන්සේලා ඡන්ද ප්‍රචාරක භාණ්ඩ බවට පත්කර ගනු ලබත්. ඒ දේශපාලනික භික්ෂූහු වේදිකාවට නැග සිදුකරන කථාවලින් බෞද්ධ සංස්කෘතික පදනමට සිදුවූ හානිය ඉතා බරපතල ය. සමාජ වටිනාකම් දෙදරා යන්නට එය හේතු විය. දැලිපිහිය අතට ගත් වානරයන් සේ ඔවුහු ශාසන ගෞරවය කීතු කීතු කළ අයුරු පසුගිය ජනපති ප්‍රචාරක රැළිවලදී මොනවට පසක් විය. එනිසා භික්ෂූන් වහන්සේලා පමණක් නොව සියලු ආගමික නායකයින් පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් වීම ප්‍රතික්ෂේප කළයුතු ය. එමෙන්ම දේශපාලන වේදිකාවල ඔවුන් ලවා කථා පැවැත්වීම නතර කළයුතු ය.

  • හුදෙක් බල ලෝභය පිණිස පක්ෂ දේශපාලනය කිරීම

වත්මන් බොහෝ දේශපාලනඥයන්ට තිබෙන්නේ සුළු පටු මානසික ව්‍යාධියක් නොවේ. ඔවුහු බල ලෝභයෙන් මත් වී සිටිති. තනතුරු, ඨානාන්තර, ගෞරව සම්මාන ලැබීමේ ආශාව මිසක් රටක් දියුණු කිරීම පිළිබඳ අදහසක් ඔවුන්ට නැත. එවන් උදවිය ගෞරව සම්මාන ලබාගනු පිණිස වෙනත් ක්‍රම සොයාගත යුත්තේය. ඇතැම් හිස් පුද්ගලයන් දේශපාලනය කරන්නේ තනතුරක ආනුභාවය භුක්ති විඳීම පිණිස ය. මේ ව්‍යසනකාරී පුද්ගලයෝ පාවාදීම්, පිල් මාරුකිරීම් පමණක් නොව සිය අරමුණ උදෙසා ඕනෑම ළාමක කටයුත්තක් කිරීමට සැදී පැහැදී සිටිති. මෙවන් බල ලෝභී පුද්ගලයන් රටක පාලනයට පත්වුවහොත් ඔවුහු සිය අණසක පතුරුවනු පිණිස ඕනෑම බිහිසුණු ඉරණමකට රට බිලිදීමට පසුබට නොවෙති. ඒ අවාසනාව පසුගිය රජය යටතේ අපි සියලු දෙනා අත්වින්දෙමු.

වත්මන් දේශපාලන ව්‍යුහය තුළ මහජන ඡන්දයෙන් ඉදිරිපත් වන පුද්ගලයන් පිළිබඳව පොදු මහජනයාට කිසි අවබෝධයක් නැත. ඔවුන්ගේ රැකියාව කුමක්ද? ඔවුන් සතු ආදායම් මාර්ග මොනවාද? ඔවුන්ගේ දැන උගත්කම් කෙබඳු ද? ඔවුන් විසින් කරන ලද සමාජ සත්කාර මොනවාද? ඔවුන්ගේ සදාචාර සම්පන්න බව කුමක් ද? යනාදිය පිළිබඳව කිසිදු තැකීමක් නොකරනු ලැබේ. මෙය ඉතා භයානක තත්වයකි. කිසිසේත් නොසිදුවිය යුත්තකි. මේ රට ඒකාන්තයෙන් ම විනාශ වී යනු ඇත.

එනිසා මේ ව්‍යසනයෙන් රට බේරාගැනීමට නම් දේශපාලන සංගායනාවක් කළයුතු ම ය. එයට මේ සුදුසු ම කාලය යි. ඒ සඳහා පහත සඳහන් දෑ යෝජනා කරමි.

  • පළමුකොට දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ලබන පුද්ගලයන් කිසියම් උපදේශක කමිටුවකට යටත් විය යුතුය. ඒ උපදේශක කමිටුව සැදිය යුත්තේ ඉතා දැන උගත්, වයෝවෘද්ධ, ප්‍රගතිශීලී, දූරදර්ශී, අපක්ෂපාතී, තෝරාගත් ආගමික නායකයින්, සමාජ සේවකයින්, උගතුන්ගෙනි.
  • දේශපාලන පක්ෂ විසින් නම් කරනු ලබන දේශපාලකයින්ට ලංකාවේ දේශපාලන ඉතිහාසය, විදේශාධිපත්‍යයේ ග්‍රහණයට පත් යටත් විජිත අවධිය, එහිදී ලාංකීය ජන සංස්කෘතියට සිදුවූ හානිය, තට්ටු මාරු දේශපාලනයෙන් සිදු වූ හානිය, කැරළි කෝලාහල, ජාතිවාදී අරගල, දේශපාලන කුමන්ත්‍රණ ආදිය ගැනත්, යළි එවන් විපතකට පත්නොවීම පිණිස දේශපාලකයෙකු කටයුතු කළයුතු ආකාරය පිළිබඳවත් ඔවුනට පුළුල් අවබෝධයක් දිය යුතුය.
  • නූතන ලෝකයෙහි තාක්ෂණික උපකරණ භාවිතයෙන් ගොවිතැන් දියුණු කිරීම, කර්මාන්ත ශාලා ඇතිකිරීම, නිෂ්පාදන ක්‍රියාවලීන් දියුණු කිරීම, අපනයනය දියුණු කිරීම, ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම ආදිය පිළිබඳව අදාළ ක්ෂේත්‍රයන්හි දැනුම ලබාදිය යුතුය.
  • ලංකාවේ බුදුසමයෙහි ඉතිහාසය, සිංහල බෞද්ධ අනන්‍යතාවය, සිංහල බෞද්ධ සමාජය තුළ විශේෂයෙන් පවත්නා ආගමික සහනශීලී බව, සාමූහික ජන සමාජයක සාමකාමී පැවැත්මේ වටිනාකම ආදිය ගැන අවබෝධයක් දිය යුතුය.
  • සිය ධුර කාලයේදී මනා කාල කළමණාකරණයෙන්, කැපවීමෙන් යුතුව වැඩ කොට ප්‍රතිඵල පෙන්විය යුතු බවට ඉලක්ක ලබාදිය යුතුය.

මෙසේ මනා දැනුමක් ලබන පුද්ගලයන් මහජන ඡන්දයෙන් තේරී පත්වූ විට ඔවුහු තමන්ගේ ධුර කාලය තුළ අවංක ජනතා සේවකයෙකු ලෙස රටට සමාජයට සේවය කොට අවස්ථානුකූලව සිය සේවයෙන් සමුගෙන, සේවය කිරීමෙන් ලද සතුට මැනැවින් භුක්ති විඳිනු ඇත. ඊළඟ සුදුස්සාහට රටේ යහපතට කටයුතු කිරීමේ අවස්ථාව ලබාදෙනු ඇත. ඔවුහු සැබැවින් ම ජනතා සේවකයෝ වන්නාහ. ජනතාව ඔවුන්ගේ ස්වාමිවරු ය. මක් නිසා ද යත්, එය ප්‍රජාතන්ත්‍රවාදය යි. මෙවන් දේශපාලන සංගායනාවක් සඳහා සියලු ක්ෂේත්‍රයන්හි සිටින බුද්ධිමතුන්ගේ අවධානය යොමු වේවා!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

උපුටා ගැනීම >> ඉරිදා දිවයින පුවත්පත