මේ ජාතිය නැගිටින්නේ ඉතිහාසය මතමයි

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් – 2

සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි ආකාරයෙන් මහාවංශය, සරල සිංහලට නැගීම සඳහා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියෝ කටයුතු කරන ලද්දේ ඇයි යන්න අපගේ පළමු ලිපියේ මාතෘකාව විය. එතැනින් පටන් ගත් මේ දහම් කතිකාවත විහිද යන්නේ ජාතියේ උස් නිදහස, ප්‍රබෝධමත්, නිවහල් දේශයක් බිහිකර ගැනීම, අනන්ත බලගතුභාවයෙන් යුත් තිසරණයෙන් තම ජීවිතය සෞභාග්‍යමත් කරගැනීම යන මාතෘකා ඔස්සේය.

ඊළාම්වාදීන් විසින් මිත්‍යා ඉතිහාසයක් ගොඩනගමින් සිටින අතරේ, එය සමාජය තුළ ප්‍රශ්න නොකර මහාවංශයට දිගින් දිගටම විවේචන එල්ලවීම සිදුවෙනවා. එක් අතකින් ඊළාම් ඉතිහාස මිත්‍යාව, අනික් අතින් මහාවංශයට ගැරහීම, අපේ හාමුදුරුවනේ, එදා දුටුගැමුණු කුමාරයා අත පය හකුලාගෙන නිදාගත්තේ “එක් පැත්තකින් ගොළු මුහුද… මහවැලි ගඟෙන් එහා පැත්තේ දෙමළු… ඒ නිසා මම කෙසේ අත්පා දිග හැර නිදා ගනිම්ද…” කියා. පැත්තකින් මහාවංශයට ගරහන අතරේ ඊළාම් මිත්‍යාවට රාජ්‍ය අනුග්‍රහය පවා ලැබෙන තත්ත්වයක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. එහෙම තියෙද්දී ජාතියට අතපය දිග හරින්න පුළුවන් වෙයිද…?

මිත්‍යා සංකල්පය ගොඩනගන්නේ ආක්‍රමණිකයා විසින්. අපේ රට ආක්‍රමණිකයන් විසින් වරින් වර පාලනය කළා. ඒ හැම ආක්‍රමණිකයෙක් ම මිථ්‍යාව පැතිරෙව්වා. ආක්‍රමණයට පෙරත්, පසුත් ඔවුන් මිථ්‍යාව පැතිරෙව්වා. ඔය ඊළාම් කියලා ඉල්ලන්නේ වර්ෂ 1017 දී පරරාජසිංහම් විසින් දියත් කරන ලද “මංමුඩු චෝල දේශම්” කියන එක තමයි, ඔය අදත් ආක්‍රමණිකයා ඉල්ලන්නේ…

අපේ හාමුදුරුවනේ… මහාවංශයේ ලියැවී තිබෙන ඉතිහාසය පුරාවිද්‍යාවත් සමඟ ගැලපෙනවාද කියන ප්‍රශ්නය සමහරු අහනවා..

ඇත්තටම ඉතා හොඳින් ගැලපෙනවා. මහාවංශය අනුව බලමින් තමයි, ධර්මාශෝක කියන අධිරාජ්‍යයා පිලිබදව ලෝකයා දැන ගත්තේ. මහාවංශය නොතිබුණා නම් ධර්මාශෝක කියන රජතුමා ගැන වගේම අද අපි දඹදිව ගිහිල්ලා වදින පුදන සිද්ධස්ථාන හදුනා ගැනීමට ලැබෙන්නේ නැහැ. මහාවංශය නිසා තමයි, දඹදිව තිබුණු සෙල් ලිපිවල තිබූ, දේවානම්පිය කියන වචනය සොයා ගත්තේ. මෙන්න මේකයි මහාවංශයේ වටිනාකම. මහාවංශය ලියැවෙන කාලය වෙන විට බුද්ධඝෝෂ හාමුදුරුවන් විසින් සිංහල අටුවා, පාළියට පරිවර්තනය කරලයි තිබ්බේ. ජාත්‍යන්තරයට අපේ දේ ගෙනියන්න තිබ්බේ ජාත්‍යන්තර භාෂාවකට ඒක පරිවර්තනය කරන එකයි.

එදා හෙළ භාෂාවෙන් තිබුණ දේවල් පාළියට හරවපු නිසා තමයි, මේ ධර්මය ලෝකයට ගියේ. මහාවංශය පාළියෙන් රචනා කරපු නිසා, අද තායිලන්තයේත් මහාවංශය තියෙනවා. කාම්බෝජයේත් මහාවංශය තියෙනවා. පාලි දන්න බුරුම ජාතිකයන්ට එහේ ඉඳගෙන මහාවංශය කියවන්න පුළුවන්.

පොල්වත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ මහාවංශය ගැන බොහෝම ලස්සනට ලියලා තියෙනවා. උන්වහන්සේ ඒ ඒ රටවල ඉදලා මහාවංශය කියෙව්වා. ඒ සියලු දෙනා ගෞතම බුද්ධ ශාසනයේ මහගෙදර හැටියට තෝරා ගත්තේ ලංකාවයි. සියලු ථේරවාදී රටවල් ලංකාව දිහා බැලුවේ බොහොම ගරු සරු ඇතිව. ඒකට මහාවංශය හේතුවක් වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටින අතරේ සක් දෙවිඳුට වදාළේ, “පතිට්ඨිස්සති දේවින්ද – ලංකාය මම සාසනං” ඒ කියන්නේ, ශක්‍ර දේවේන්ද්‍රය, මගේ ශාසනය ලංකාවේ පිහිටන්නේය කියන ඒකයි. ඒ වචනය එහෙමම ඉගෙන ගන්නවා අනිත් රට වැසියනුත්. බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය ලත් එකම රට ලංකාව කියලා, මේ රට කෙරෙහි විශාල ගෞරවයක් භක්තියක් මහාවංශය නිසා අත්වෙලා තියෙනවා. ඒ පිලිබඳව අපි මහානාම හාමුදුරුවන්ට ණය ගැතියි.

ඉතිහාසය පස්සෙන් අපි මෙච්චර එළවන්නේ ඇයි කියලා සමහරු අහන්න පුළුවන්. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ පවා දැන් ත්‍රිපිටකයට වඩා මහාවංශයට තැනක් දීලා තියෙන බව පෙනෙනවා…

මේ බලන්න මගේ අතේ තියන පොත… “ඩේවී දුටු ලංකාව”. මේ පොතට මහාචාර්ය තෙන්නකෝන් විමලානන්ද මහතා පෙරවදනක් ලියලා තියෙනවා. සේනාධිපති රොබට් බ්‍රවුන්රිග් 1818 කැරැල්ල ගැන කියන හැටි. එම පෙරවදනේ මහාචාර්යතුමා සඳහන් කරනවා. “අතීතයේ අප සටන් කළේ පෙරදිග බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කිර්තිය සඳහායි. අද අපි නම්බුව රැක ගැනීම සඳහා සටන් කරමු. ඌවේ සහ වෙල්ලස්සේ මිනිසුන්ට විරුද්ධව කරන මෙම සටනේදී, අප යොදවන තරම් විශාල යුද හමුදාවක්, අපි මෙයට පෙර කිසිම කලෙක නොයෙදවූවෙමු. අපි මෙම සටනින් දින බව පෙනෙන ලකුණු නැත. යුද්ධය පිළිබද ශිෂ්ට නීති පසෙකලූ ඔවුහු මේ පළාත්වාසීන් කීකරු කිරීමේ අවසාන ප්‍රයත්නය වශයෙන් අටළොස් විය ඉක්ම වූ හැම පිරිමියෙක් ම මරා දැමීය. හැම ගෙයක් ම දවා අළු කරන ලෙස ද හැම ගසක් ම කපා බිම හෙලන ලෙස ද කුඹුරු පාළු කරන ලෙස ද ඉඩකඩම් රාජසන්තක කරන ලෙස ද නියෝග කරන ලදී. මේ නියෝග අකුරට ම ක්‍රියාත්මක කරන ලදී. සේනාපති රොබට් බ්‍රවුන්රිග් පෙරදිග ප්‍රබලතම සටනින් ජයග්‍රහණය කළේ ඔය ආකාරයටය.” මේ අය තමයි අපිට අද මානව හිමිකම් ගැන උගන්වන්න එන්නේ…

මේ අයට උත්තර දෙන්න අපිට ඉතිහාසය අවශ්‍යයි. යුද අපරාධ ගැන අපිට කියන්න එන මේ අයට මේවායින් තමයි අපිට උත්තර දෙන්න පුළුවන්. ඒකට ඉතිහාසය අවශ්‍ය යි. ඔවුන් විසින්ම යටත් විජිත භාර මහලේකම්ට යවලා තියෙන ලිපියක විස්තර මේ පොතේ තියෙනවා. “ඌව රට ලංකාවේ අනික් පළාත්වලට වඩා එළිවී තිබේ. මේ මිටියාවත් සියල්ලම පාහේ හොඳින් වගා කර ඇත්තේය. මිටිකඳු වැඩි වශයෙන් උස් තණවලින් වැසී තිබේ. බොහෝ තන්හි පේර ගස් දක්නා ලදී. දැන් පේර පල දරන කාලයයි. මා පසු කළ මුළු පෙදෙස ම සශ්‍රීකභාවයේ ලකුණු පෙන්වයි. බොහෝ තැන්හි කපු පැලය සුලබය. මග දෙපස තැන තැන සැහෙන තරමේ විශාල මිරිස් වතු දකින්නට ලැබේ. හැම දෙසට ම ගලාගෙන යන විශාල වේගවත් ගංගා මේ රටේ සුලබය. ඒ ගංගා දකුණේ සිට මහවැලි ගඟ දෙසට ගලයි… ඬේව් විසින් එහෙම කියන අතරේ කියනවා, ‘මා දුටු පමණින් එයට ලංකාවේ උයන යැයි කීම සුදුසුය.” අද මේ බිම මහා වනාන්තර වෙලා ඉවරයි. සුද්දන් මේ රට භාර ගනිද්දී දළ ඇතුන් සහිත ඇතුන් එකොළොස්දාහක් ඌවේ ඉදලා තියෙනවා. ඌව ප්‍රදේශයේ පමණක් ස්වභාවික විල් හාරදාහක් තිබිලා තියෙනවා. දැන් ඒවා කිසි දෙයක් නැහැ. අපිට මෙච්චර විනාශයක් කරපු අය ගැන අපි දැනගන්න ඕනේ. සුද්දෝ නිතරම තමන්ගේ යටත් වැසියන්ව දමනය කරන්න කරපු දෙයක් තමයි ප්‍රලාප පැතිරවීම.

අශිෂ්ඨ, නීච, බාල වර්ගයේ ජාතියක් විදිහට අනිත් අයව ඔවුන් හෙලා දකිනවා. ඔවුන්ගේ සියලු ක්‍රියා ඔවුන්ට ලෙහෙසියෙන් සාධාරණය කරගන්න පුළුවන් එතකොටයි. මේ නිසා අපේ ඉතිහාසය සමහරුන්ට හිරිහැරයක් වෙලා තියෙනවා. අපි ඒ අය කියන දේ ගැන කලබල වෙන්න ඕනේ නැහැ. අපි කළ යුත්තේ, අපේ ඉතිහාසය ඉගෙන ගෙන ඒ අනුව කටයුතු කිරීම. ඉතිහාසය, අපේකම අවශ්‍ය නැහැ කියන එක දීර්ඝ කාලයක් තිස්සේ අපිට දීලා තියෙන අදහසක්. සුද්දන්ගේ කාර්යාලවල පියන්ලා බිහිකරගැනීම සඳහායි, අපේ අධ්‍යාපනය හරිගස්සලා තිබ්බේ. අපේ දැනුම නැති කරදමා තියෙනවා. මෙතැන තමයි අපි මුහුණ දීලා තියෙන අර්බුදය ආරම්භ වන්නේ.

මේ අර්බුදයෙන් අත්මිදීම සඳහා අපිට පහුරක්, කර ගත හැක්කේ ඉතිහාසයයි. අපේ පදනම විය යුත්තේ ඉතිහාසයයි. මේ රටවල්වලට සුද්දෝ නිදහස දුන්නේ කැමැත්තකින් නෙමෙයි. මම පසුගිය දවසක අමරිකාවට ගිය වෙලාවක මට දැනගන්න ලැබුණු දෙයක් කියන්නම්.

බි්‍රතාන්‍ය යටත් කර ගැනීම සඳහා හිට්ලර් විසින් පාබල බලඇණි සුදානම් කරමින් සිටියා. ඒ සඳහා මුහුණ දිය හැකි ප්‍රබල පාබල බල ඇණි බි්‍රතාන්‍යට තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණේ ප්‍රබල නාවික ශක්තිය පමණයි. මේ වෙනකොට මහත්මා ගාන්ධි විසින් ඇමරිකාවේ හිටපු ජනාධිපතිතුමාට ලිපියක් යැව්වා “ඔබ මේ කටයුතු සඳහා ඉඩ දෙන්න එපා. කාලයක් තිස්සේ ඔවුන් යටත් කරගෙන සිටින රටවලට නිදහස දෙනතුරා මේ කටයුතු වලට ඔබ සහයෝගය දෙන්න එපා” කියලා. ඒ අදහස අමරිකාව විසින් බි්‍රතාන්‍යයන් සමඟ අත්සන් කරන ලද ගිවිසුමට වගන්තියක් ලෙස ඇතුල් කළා. ඒ කාරණය නිසා තමයි අපේ රටවලට නිදහස ලබා දෙන්නේ. අපිට මේ උගුලෙන් ජයගන්න පුළුවන් බුද්ධිමය අතින් පමණමයි. අපිට ආර්ථික වශයෙන් බලයක් නැහැ. තාක්ෂණික බලයක් නැහැ. දේශපාලනික බලයක් නැහැ.

නිදහස නම් සංසිද්ධිය අපට අත්දකින්නට ලැබුණාට අපට නිදහස නොලැබුණු බව සමාජය තුළ දැන් වනවිට තහවුරු වූ මතයක්. අපේ හාමුදුරුවනේ අපි මේ සටන කොතැනින් පටන් ගත්තත් ඒක අවසාන ජයග්‍රහණයකින් කෙළවර කරගන්න බැරිවෙලා තියෙනවා… අපි මේ සටන අවසානයක් තෙක් කරගෙන යන්නේ කොහොමද…?

“ඬේවී දුටු ලංකාව” කියන පොතේ මේ කොටස බලන්න. “1018 වර්ෂයට පෙර ඌව වෙල්ලස්ස, බිම්තැන්න ප්‍රදේශවල තත්ත්වය දැන ගැනීම පාඨකයාගේ පහන් සංවේගය පිණිස වේ යැයි හැඟිමු. ආණ්ඩුකාර තැනගේ ම විස්තරයට අනුව ඌව සහ වෙල්ලස්ස ලංකාවේ ධාන්‍යගාරය විය. එපමණකුත් නොවේ. මුළු ලංකාවට ම ආහාර සැපයීමට සමත් මේ පෙදෙසේ, ඉන්දියාවට යෑවීමට තරම් ධාන්‍ය ඉතිරි විය. රට ජනාකීර්ණ විය. ආඪ්‍ය විය. නේත්‍ර රසාංජන විය.” මේ තෙන්නකෝන් විමලානන්ද මහතා ලියපු විස්තරය. බලන්න මේ විස්තරය දිහා. අද අපි ඉන්නේ කොතැනද…? යම් හෙයකින් තුන්වන ලෝක යුද්ධයක් ආවොත් අපිට වෙන්නේ බඩගින්නේ මැරෙන්න. අපි ණය බරින් පීඩිත වෙච්ච ජාතියක්. අපේ දේශපාලනඥයන් මේ පිලිබදව සිය අවධානය යොමු කරලා නැහැ. හැම ආණ්ඩුවක්ම බලය සඳහා ජනතාව රවට්ටා ගන්න වාසි බස් කිව්වා මිස මේ ගැන හිතුවේ නැහැ. සාමාන්‍ය ජනතාව තමන්ගේ ජාතිය නොතකන, මහ පොලොවට ආදරය දක්වන්නේ නැති, ඕනෑම වසක් විසක් අනිත් අයට විකුණන ජාතියක් බවට අපි අද පත්වෙලා. මේ සඳහා පළමු හේතුව ධර්මයෙන් ඈත්වීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ සඳහා විසඳුම් තිබෙනවා. (මුලින්ම අපි ජාතියක් විදිහට හා තම තමන් ධර්මය තුළ පිහිටන්න ඕනේ. අපි රැකෙන්න තියෙන අවසාන අවස්ථාව මේක තමයි. මෙතැනදි පාලකයින්ගේ දැහැමි බව මෙන්ම දැනුම ද වැදගත් වෙනවා. මේ රටේ ඉතිහාසය මොකක්ද…? උරුමය මොකක්ද…? කියන එක පාලකයින් දැනුවත්ව සිටිය යුතුය.

ජාතියක් ලෙස හැදෙනවා වගේම ඒ සඳහා පදනම ලෙස මිනිසා හදා රට හදමු කියන තැන ඉඳලා අපිට මේ සඳහා කටයුතු කළ හැකියි නේද…?

ඇත්ත වශයෙන්ම කාලයක් තිස්සේ මම කරගෙන ගියෙත් ඒක තමයි. අපි තනි තනියම මේ ජාතිය ගැන, මේ ධර්මය ගැන දැනගෙන සිටියොත් අපි තනි තනියම එහි පල විඳින්නෝ බවට පත්වෙනවා. ඒකත් දහම් සුවයක්… බුදු දහමේ මාර්ගයත් එයමයි. බුදු දහමේ විමුක්තිය සාමූහික වශයෙන් විඳිය හැකි දෙයක් නොවෙයි. ඕපනයික කියලා බුද්ධ දේශනාවේ හදුන්වන්නේ එයයි. තනි තනි පුද්ගලයා තුළ මේ වෙනස්කම සිද්ධ විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පූර්ණ මාර්ගය බුද්ධ ධර්මයෙන් ඉදිරිපත් කරනවා. තිසරණය සමාදන් වුණු, එය දරාගත් ජනතාවක් මේ රටේ අපි ඇති කරගත්තොත් එතැන තමයි අපිට තිබෙන ස්ථාවර තැන. අපිට අපේම වූ ජාතික කතිකාවතක්, අපේ අවශ්‍යතා සහ අරමුණු සඳහා තිබුණේ නැහැ. ඒ සඳහා අපි හැමදාම භාවිතා කළේ සහ තවමත් භාවිතා කරන්නේ සුද්දන් ලබාදුන් ආකෘතීන්මයි.

අපේ හාමුදුරුවනේ… අපිට මෑත කාලයේ පහළ වූ මහා වීරයෙක් වූයේ අනගාරික ධර්මපාලතුමායි. එතුමාගේ 153 වෙනි ජන්ම දිනය ඊයේ දවසට යෙදුණා. එතුමා පුදුම සහගත වීර්යයකින් යුක්තව මේ ජාතියට, සම්බුද්ධ ශාසනයට සේවය කළා. මේ වීරයාගෙන් අපේ ජාතිය ඉගෙන ගත යුතු පාඩම ගැන ඔබ වහන්සේ අපට අනුශාසනා කරන්න…

එතුමා තරම් මේ මෑත භාගයේ ජාතිය සහ ආගමට සේවය කරපු කෙනෙක් නැතුවා මෙන්ම එතුමා තරම් නින්දාවට ලක්වූ කෙනෙකුත් නැහැ. වැඩක් කරන, වීර්යයක් තියෙන අය තමයි පලක් තියෙන, වටිනා චරිත. එවැනි වටිනා දේකට තමයි අභියෝග එල්ලවෙන්නේ. නොවටිනා දෙයකට අභියෝග නැහැ. එදා එතුමාට පහර දුන්නාට අද මොකද ජාතිය ඒ ගැන කියන්නේ? මේ වෙද්දී ධර්මපාලතුමාගෙන් යැපෙන අය තමයි සේරම ඉන්නේ. ඒක ස්වභාවික න්‍යායයක්. වටිනා ගහක් හදන එක ලෙහෙසි නැහැ. ඔය වල් පැළෑටි ඕනෑ තරම්, ලෙහෙසියෙන් හැදෙනවා. අපිට නැගී සිටීම සඳහා ධර්මපාලතුමාගෙන් ඒ ආදර්ශය ම ලබා ගන්න පුළුවන්. එදා එතුමා කරන ලද සේවය අද රට පුරා පමණක් නොවෙයි ලෝකය පුරාම සමරනවා. ජාතියෙන් අපිට ලැබෙන දේ ගැන හිතන්නේ නැතුව අපි ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටු කළොත් එවැනි යුග පුරුෂයන් බවට අපිට පත්වෙන්න පුළුවන්. අපිට යුතුකම ඉටුකිරීමේ මහා සන්තුෂ්ඨිය ඉතුරු වෙනවා. ඒක මහා පිංකමක්. දුටුගැමුණු මහ රජතුමා ලැබුවේ එවැනි මහා සන්තුෂ්ටියක්. එතුමා කරගත්තේ එවැනි මහා පිංකමක්. මේ ගැන විස්තර දැන් ගන්න මහාවංශය කියවලා බලන්න.

මතු සම්බන්ධයි.

(උපුටා ගැනීම :- දිවයින පුවත්පත)

සාකච්ඡා කළේ – මනෝජ් අබයදීර