පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය, බොහෝ දෙනෙකුට උතුම් පින් රැස් කරගැනීමට මග විවර කරමින් පසුගිය 27 වන දින ඉතා අලංකාර අන්දමින් පැවැත්වුණි. මෙවර වස් ආරාධනාව කොට කඨින පින්කම සිදුකරන ලද්දේ ඉතාලියේ මිලානෝ නුවර පදිංචි පින්වත් චමල් සෙනෙවිරත්න මහතා, දිල්රුක්ෂි කපුකොටුව මහත්මිය, ලිත්නූලි කියාරා සෙනෙවිරත්න දියණිය, ඔකිත නුරාන් සෙනෙවිරත්න පුතණුවන් ඇතුළු ඉතාලියේ සහ ලංකාවේ පදිංචි එම පින්වතුන්ගේ ඤාති හිතමිතුරන් විසිනි.

උදෑසන 5.30ට පෙරහැරින් මහත් හරසර මැද උතුම් කඨින චීවරය ඇතුළු සෙසු වස්සාවාසික චීවර වඩමවාගෙන අවුත් සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාවේ තැන්පත් කරන ලදී. අනතුරුව දහවල සම්බුද්ධ පූජාවෙන් පසු මහා සඟරුවන දානශාලාවට වඩමවා කඨින චීවරය සඟසතු කොට පූජා කොට, දන් පැන් හා සෙසු පරිෂ්කාර පූජා කරන්නට යෙදුනි.

පැමිණ සිටි පිරිසට දිවා ආහාර‍ය ලබාදීමෙන් අනතුරුව දහවල් 2.00 ට පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් කඨිනානිශංස ධර්ම දේශනාව පවත්වා පුණ්‍යානුමෝදනාව සිදුකරන ලදී.

මේ සියලු පින්කම් ශ්‍රද්ධා රූපවාහිනියෙන් සජීවී ව විකාශය වූ අතර එහි දර්ශන ඔබට ශ්‍රද්ධා ටීවී සහ මහමෙව්නාව යූටියුබ් නාලිකා හා ෆේස්බුක් පිටු තුළින් දැකබලා ගත හැකිය. පින්කමේ ඡායාරූප ද ඔබට දැකබලා සිත් පහදාගෙන අනුමෝදන් වීම පිණිස මෙහි පළකොට තිබේ.

සියල්ලෝ මේ උතුම් පින්කම සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

මේ පින්කම සඳහා මඟපෙන්වමින් අනුශාසනා කළ අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞතම බුදු සසුනෙහි පිළිවෙත් පුරන සියලු මහසඟරුවනටත්, මෙම පින්කම මනාකොට සංවිධානය කරමින් සිදුකළ, සහභාගී වූ, උපකාරී වූ, දැකබලා අනුමෝදන් වූ සැමටත් මේ ගෞතම බුදුසසුනේදී ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම මේ මහානීය පින හේතු වාසනා වේවා!