10151377_1020519097986694_48481112626219500_nනමෝ බුද්ධාය!

සිත් ගිමන් නිවන
සිත් සතන් සනසන
සිත් ගුණෙන් වඩවන
සත් දනන්ගේ කලණ මිතුරා…
ශ්‍රද්ධා රූපවාහිනිය

හමෙව්නාවේ සත්පුරුෂ මාධ්‍ය ජාලය ශ්‍රද්ධා රූපවාහිනිය UHF 55 න් බස්නාහිර පළාත තුල සාමාන්‍ය නාලිකාවක් වශයෙන් 2015-12-31 වන ඊයේ දින විකාශන කටයුතු ආරම්භ කරන්නට යෙදුනා. මෙම උතුම් පුණ්‍ය මහෝත්සවය සිදුවූයේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු ගෞරවනීය මහා සංඝ රත්නයේ ප්‍රධානත්වයෙන් හොරණ මහමෙව්නාව භාවනා අසපු පුණ්‍ය භූමියේදීයි. ශ්‍රද්ධා රූපවාහිනියේ සාමාන්‍ය විකාශනයේ මුල් පියවර සඳහා දායකත්වය දැරුවේ හොරණ මහමෙව්නාව භාවනා අසපුව ගෞතම බුදු සසුනට පූජා කළ පින්වත් ඩී.කේ. සුබසිංහ මැතිතුමා විසිනි.

මෙම උතුම් පින්කම සඳහා ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරන්දර, ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක, මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි මහෝපාධ්‍යාය අතිපූජනීය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝ රත්නයත් බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමා ඇතුලු සම්භාවනීය අමුත්තන්ද ශ්‍රද්ධා නාලිකාව ඇරඹූ දා පටන් නාලිකාව පවත්වාගෙන යනු පිණිස තමන් උපයාගත් මුදලින් කොටසක් මාසිකව දන් දෙන සියළු ධර්මදාන සාමාජිකයන්ද සහභාගී වූහ.

එමෙන්ම (31) ඊයේ දින සවස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිරි ගෞතම බෝධීන් වන්දනාව පැවැත්වීමෙන් අනතුරුව ගෙවී ගිය වර්ෂය පුරාවට ශ්‍රද්ධා රූපවාහිනියට අතදුන් ශ්‍රද්ධා ධර්මදාන සාමාජිකයන් සියළු දෙනා හට පුණ්‍යානුමෝදනා කරමින්, උදාවන නව ව්‍යවහාරික වර්ෂයේ සියලු ලෝ සතුන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක්ද හොරණ මහමෙව්නාව භාවනා අසපුවේදී පැවත්වන්නට යෙදුනා.

ලෝ සතන් ගේ සිත් දම් දියෙන් තෙමාලන ශ්‍රද්ධා රූපවාහිනියේ විකාශන කටයුතු පුළුල් කිරීමට මහත් කැපකිරීමක් කළ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස ම මේ පින් හේතුවාසනා වේවා!

වැඩි කල් යාමට මත්තෙන් මුලු දිවයිනම ආවරණය වන පිරිදි ශ්‍රද්ධා රූපවාහිනියේ විකාශන කටයුතු සිදු කරන්නට සියලු දෙනාට ම ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා!

ශ්‍රද්ධා රූපවාහිනිය ඇරඹු දා පටන් ධර්ම දානමය වශයෙන්, සමාජ සත්කාර ව්‍යාපෘති තුලින් හා අභයදාන පින්කම් වලින් රැස් වූ සියලු පින් සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා!

විශේෂ පුණ්‍යානුමෝදනාව –

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරන්දර, ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක, මහමෙව්නාව භාවනා අසපු සංචිතයෙහි මහෝපාධ්‍යාය අතිපූජනීය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමීන් වහන්සේට…

ශ්‍රද්ධා රූපවාහිනිය සාමාන්‍ය නාලිකාවක් කිරීම සඳහා විශේෂ සහයෝගයක් ලබාදුන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට…

බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය ගරු විජේදාස රාජපක්ෂ මැතිතුමාට…

බස්නාහිර පළාතේ විකාශන කටයුතු වෙනුවෙන් දායකත්වය ලබාදුන් පින්වත් හොරණ ඩී.කේ. සුබසිංහ මැතිතුමා ඇතුලු පවුලේ සැමට…

ජනමාධ්‍ය අමාත්‍ය ලේකම් වජිර නාරම්පනාව මැතිතුමාට…