පි හැමෝම ජීවත් වෙන්න කැමති යි. මේ කෙළවරක් නො පෙනෙන සංසාර ගමනෙදි මිනිස් ජීවිතයක් ලැබෙන්නේ ඉතාමත් ම කළාතුරකින්. එහෙම ලැබෙන මිනිස් ජීවිතය, ධර්මය ගලපා ගන්නට කලින් ම අකාලයේ මිලින වෙලා ගියොත් ඒක මොනතරම් නම් අවාසානාවක් ද..? ඒ නිසා ම තමයි ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කෙසේ හෝ ජීවිතයට ධර්මය ගලපා ගත යුත්තේ.

අපට කොයි වෙලාවේ මොන අනතුරක් වෙයි ද කියල අපි කවුරුත් දන්නේ නැහැ. ජීවිතේ තියෙන අස්ථිර බව ම තමයි හැම පැත්තෙන් ම මතු වෙන්නේ. දිනපතා ම හදිසි අනතුරු සහ විවිධ රෝගාබාධ ආදිය නිසා විශාල මිනිසුන් පිරිසක් මෙලොව අතහැර යනවා. ඒ විතරක් නොවෙයි, තවත් බොහෝ පිරිසක් රෝහල්වල දුක් විඳිනවා. නමුත්, කොතරම් එබඳු සිදුවීම් දුටුවත්, තමන්ට එබඳු දෙයකට මුහුණ පෑමට සිදු වන තුරු ම, බොහෝ දෙනෙකුට ජීවිතයේ ඇති අසරණකම වැටහෙන්නේ නැහැ.

රුධිරය අපේ සිරුර පුරා ප්‍රාණය රඳවන ජීව දියරයක්. සිරුරේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් ආදියත්, ශරීරයේ වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ආදියත්, සිරුර පුරා සංක්‍රමණය වන්නේ එමඟින්. එපමණක් නොව විවිධ රෝග කාරකයන්ට එරෙහිව, ප්‍රතිශක්තිය උපදවා ගැනීම පිණිස ත්, රුධිරයෙන් විශාල දායකත්වයක් ඉටුවෙනවා. කොටින් ම කිව්වොත්, ජීවයේ පැවැත්මට රුධිරයේ කාර්යභාරය අති මහත්.

නොයෙක් හේතු නිසා සිරුරේ රුධිර ප්‍රමාණය අනපේක්ෂිත ලෙස පහළ බසින අවස්ථා තිබෙනවා. එබඳු අවස්ථාවල දී ජීවිත ප්‍රබල ලෙස අනතුරට ලක් වෙනවා. හදිසි අනතුරු ආදියේ දී සිදුවන අධික රුධිර වහනය, ඩෙංගු වැනි රෝගවල දී සිදු වන රුධිර පට්ටිකාවල ක්ෂණික පහළ බැසීම සහ ලියුකේමියා වැනි තත්ව වල දී සිදුවන රුධිර සෛලවල පහළ යෑම මේ සඳහා උදාහරණ කිහිපයක් පමණ යි. මෙබඳු අවස්ථාවල දී වහා ම රුධිරය ශරීර ගත කිරීම සිදු නො කළ හොත්, බොහෝ විට රෝගියා මිය යෑම සිදු වෙනවා. මේ නිසා රුධිර පාරවිලයනය හෙවත් බාහිරින් රුධිරය ශරීරගත කිරීම ජීවිත සුරැකීමේ දී අද්විතීය මෙහෙයක් ඉටු කරනවා….

අප මහා බෝසතාණන් වහන්සේ බුදු බව පිණිස යන ගමනේ දී ප්‍රමාණ කළ නො හැකි තරම් ඇස් ඉස් මස් ලේ ආදිය දන් දුන්නා. ඒ බෝසත් සිරිත සිහියට නඟා ගනිමින් ගෞතම බුදු සමිඳුන් ගේ ශ්‍රාවක දරුවන් වන අප ඇඟේ දුවන ලේ බිඳක් පහන් සිිතින් යුතු ව ජීවිතයක් ජීවත් කරවීම පිණිස දන් දෙන්නට කිසි සේත් ම පැකිළිය යුතු නැහැ. ඒ තුළින් රැස් කර ගත හැකි පින අප්‍රමාණ යි.

ඇත්තට ම ජීවිතයක් බේරා ගන්නට නම් ඔබ වෛද්‍යවරයෙකු විය යුතු ම නැහැ. සැදැහැවත් ශ්‍රාවක දරුවෙකු ලෙස සිතේ කරුණාව උපද්දවාගන්න පුළුවන් නම්, ඔබටත් මේ ලෝකයේ ජීවිතය අයදින රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන්……Read More

මටත් ලේ දෙන්න පුළුවන් ද..?

ඔව්…

ඇත්තට ම ඔබේ සිතේ ඇතිවෙන එවැනි සිතුවිල්ලක් පවා බොහෝ පින් ජනිත කරවනවා. හැබැයි ලේ දන්දීම පිණිස ඔබ යම් අවශ්‍යතාවන් කිහිපයක් සම්පූර්ණ කළ යුතු වෙනවා.

ඒ සඳහා ඔබ,

  • වයස 18-55 අතර සිටිනා අයෙකු විය යුතු යි.
  • කිලෝග්‍රෑම් 50ට වඩා බරින් වැඩි විය යුතු යි.
  • නිරෝගී අයෙකු විය යුතු යි.
  • අවසන් වරට ලේ දන් දී මාස හතරක් වත් ගත වී තිබිය යුතු යි.