සවිබල දතින් යුතු සිහරද වන පියසේ
මැඩලයි හැම සතුන් ජයගෙන රජ විලසේ
වාසය කරයි හැම කල – ඈත දුර වන සෙනසුන්වල
හුදෙකලාවෙම දිවි ගෙවයි හේ
තනි අඟකින් යුතු කඟවේණෙකු සේ ….

පගේ ශාස්තෘන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය දේශනා කළ අතරේ අතීතයේ වැඩසිටි පසේබුදුවරු නම් වූ විශේෂ මුනිවරුන් වදාළ ගාථාවන් ගැනත් අපට කියා දුන්නා. එනිසාමයි අප පසේබුදුවරුන් ගැන තොරතුරු දන්නේ. ඒ පසේබුදුවරුන් කැමති දේ නැඹුරු වී පවතින්නේ විමුක්තියට උපකාරී වීමටයි. මෙහි සඳහන් වන්නෙත් එවැනි ප‍්‍රවෘත්තියක්.

බරණැස් නුවර පින්වත් රජෙක් වාසය කළා. ඒ් රජතුමා ජනතාවට හරි ආදරෙයි. හැමවිටම පොදු ජනයාගේ සැපය පිණිස වෙහෙසුණා. රජතුමා වීථි සංචාරය කරද්දී ගුණ කියන ජනයා මග දෙපස සිටිමින් මල් ඉස්සා. එහෙත් රජතුමාගේ ආරක්ෂාව අඩුවක් කළේ නෑ. සේනාවේ අඩුවක් නෑ. බිය තැති ගැනීමේ අඩුවක් නෑ. රජතුමා කල්පනා කළා,

“මං මොනතරම් දේවල් කළත් හැම තිස්සෙම භයෙන් ඉන්නේ. ආරක්ෂාව තර කරන්න කියලයි ඇමතිවරු කියන්නේ. මේ ජීවිතය රැක ගන්න මොනතරමක් මහන්සි ගන්නවද? බිය සැක තැති ගැනීම් නැති ජීවිතයක් අපට ඇති කරගන්න බැරිද?”

රජතුමා මේ ගැන විමසද්දී පුරෝහිත බමුණා පිළිතුරු දුන්නා.

“රජතුමනි, ඔබවහන්සේ මිනිසුන්ගේ රජු තමයි. නමුත් ඔබවහන්සේගේ ආරක්ෂාව බාහිරින් සපයා ගන්න බෑ. මේ ආරක්ෂාව නැති වූ ගමන් ඔබවහන්සේ සාමාන්‍ය මිනිසෙකුගේ මානසික ස්වභාවයෙන් යුතු වෙනවා. එනිසයි භය, තැති ගැනීම් ඇතිවන්නේ.”

“එතකොට පුරෝහිතය, බාහිර ආරක්ෂා නැති අය නැද්ද?”

“ඉන්නවා රජතුමනි, ඒ තමයි මෘගරාජ වූ සිංහයා. ඌට තිබෙන්නේ අභ්‍යන්තර ආරක්ෂාවක්. සිංහයා එළියට එනවා. ඇඟේ කේසර සොළවලා ඇඟපත ගසා දමා ඔළුව උඩට ඔසොවා සිංහනාද කරනවා. එය උගේ ආරක්ෂාවයි. ඒ් නාදයට සියලූ සතුන් පලා යනවා. සිංහයාගේ ශක්තිමත් දළ ඇති බව උගේ ආරක්ෂාවයි. සිංහයාගේ ශක්තිමත් සිරුර උගේ ආරක්ෂාවයි. එනිසා සිංහයා තමයි බිය තැති ගැනීම් නැති සතා.”

රජතුමා මේ ගැන සිතන්න පටන් ගත්තා. බිය තැති නොගන්නා සිංහයාගේ ස්වභාවය කුමක්දැයි රජතුමාට දැකීමේ ආශාවක් ඇතිවුණා. දිනක් රජතුමා ඈත ප‍්‍රදේශකයට කැලෑ පාරකින් සේනාව සමඟ ගමන් ගත්තා. ඒ් අතර අව්ව තපිමින් සිටින සිංහ රාජයෙක් ගල් තලාවක් මත වැතිරී සිටින අයුරු දැකගත්තා.

“අන්න…. ඇමතිවරුනි, අර බලව්! අර ඉන්නෙ ගල්තලාව මත. අන්න සිංහයා…. ෂා…! ලෝකයෙහි බිය සැක තැති ගැනීම් නැති අපූරු සතා…. ඒ්යි, සේවකයිනි වරෙල්ලා…. බෙර, තම්මැටම් නාදකරපල්ලා…. සක් පිඹිව්…. අද අපි කම්පා නොවෙන සතා දෙස බලමු.”

එතරම් ඝෝෂා කරද්දී ද සිංහයා ගණන් ගත්තේ නෑ. මේ පිරිස ද වැඩි වැඩියෙන් ඝෝෂා කළා. සිංහයාට මෙය මහා වධයක් වුණා. සිංහයා නැගිට්ටා. ඇඟපත සොළවා කේසර විසිරෙව්වා. ඔලුව උඩට හැරෙව්වා. සිංහනාදයක් කළා. මුළු වනාන්තරයම ගිගුම් දුන්නා. ඇතුන්, අසුන් හිස් ලූ ලූ අත පලා ගියා. සේනාව පඳුරු අස්සෙ හැංගුණා. රජතුමා හිටියේ අතු පිට නැගලයි. බෙටි හලමින් ඇත්රජා මහා වනයට දිව්වා. රජතුමාට බේරෙන්න විදිහක් නෑ. රජතුමා යාන්තම් ගසක අත්තක එල්ලී බේරුණා. හිමින් හිමින් ගහෙන් බිමට බැස්සා. රජතුමා හොඳටම භය වුණා. රජතුමාට මතක් වුණා.

“රජතුමනි, ආරක්ෂාව නැති වූ විට ඔබතුමා රජෙක් වුණත් සාමාන්‍ය මිනිසෙකුට වගේ භය තැතිගැනීම් හටගන්නවා.”

“ඒ්ක ඇත්ත! මට දැන් හොඳට තේරෙනවා. මේ දළ ඇත්තු බෙටි හලාගෙන දිව්වා. අශ්පයන් සී සීකඩ දිව්වා. නිර්භීත සේනාව පඳුරු අස්සේ හැංගුණා. දැන් මං මොකද කරන්නේ? මේ මහා වනයේ මට මොන කරදරයක් වේවිද?”

රජතුමා ජීවිතය රැකගැනීම පිණිස දුවන්න පටන් ගත්තා. ටික දුරක් යද්දී කුටි ප‍්‍රදේශ තියෙන තැනකට පැමිණුනා. එහි ශ‍්‍රමණයන් වහන්සේ නමක් රජතුමා ඇමතුවා.

“පින්වත් රජතුමනි, ඇයි මේ තනිවම කලබලෙන් දුවන්නේ….? මෙහි භය වෙන්න කිසි දෙයක් නෑ. තැති ගැනීම් ඇතිකරගන්න කිසි දෙයක් නෑ. මෙතන බොහොම ශාන්ත තැනක්.”

“අනේ ශ‍්‍රමණයන් වහන්ස, නුඹවහන්සේට මොකවත් සද්දයක් ඇහුණේ නැද්ද?”

“ඇහුණා… රජතුමනි, ඈතින් දිගටම බෙර හඬක් ඇහුණා. සක් පිඹින හඬ ඇහුණා. ඊට පස්සේ වනය දෙවනත් කරමින් මහා සිංහනාදයක් ඇහුණා.”

“එතකොට ශ‍්‍රමණයන් වහන්ස, නුඹවහන්සේට බිය තැතිගැනීම් ඇතිවුණේ නැද්ද? මරණ භය ඇතිවුණේ නැද්ද?”

“පින්වත් රජතුමනි, බිය තැතිගැනීම යනු අපට සුවපත් වූ රෝගයක්. මරණ භය යනු අපට නොතේරෙන දෙයක්. බිය තැතිගැනීම්, ශෝකය, කම්පාව, වැළපීම, භයභේරව කිසිවක් අපේ ජීවිතය හා එක්වෙන්නෙ නෑ.”

“එතකොට ශ‍්‍රමණයන් වහන්ස, සිංහයන් විතරක් නොවෙයි, බිය තැති නොගන්න මිනිසුනුත් ඉන්නවා කියල ද ඔබවහන්සේ කියන්නේ?”
”එසේය රජතුමනි, අපි අයිති වන්නේ බිය සැක නොමැති ලෝකයටයි. මේ බලන්න මෙහි ශ‍්‍රමණවරුන් සෑහෙන්න ඉන්නවා. අපි හැමෝම සිංහයෝ වගෙයි. හැබැයි සිංහයාට වඩා අපි වෙනස් වෙන්නේ නිකෙලෙස් බව නිසයි.”

රජතුමාට ඒ් හැම වචනයක්ම ආශ්චර්යවත් වුණා. අද්භූත වුණා. රජතුමා රජකම අත්හැරියා. ශ‍්‍රමණයෙක් වුණා. එතන ම නැවතුණා. ටික කලක් යද්දී ඒ් නවක ශ‍්‍රමණයන් වහන්සේ තුළ සීල, සමාධි, ප‍්‍රඥා වැඞී ගියා. පසේබුදුවරයන් වහන්සේ නමක් බවට පත්වුණා. බිය සැක තැතිගැනීම් නැති සුන්දර ජීවිතයක ආශ්වාදය විඳින්නට වාසනාව ලැබුණා. මේ පසේබුදුවරයන් වහන්සේ මංජූසක රුක් සෙවණට වැඩි විට අනෙක් පසේබුදුවරයන් ඇසූ පැණයට පිළිතුරු දුන්නේ මේ ගාථාවෙනුයි.

සීහෝ යථා දාඨබලී පසය්හ
රාජා මිගානං අභිභුය්යචාරී
සේවේථ පන්තානි සේනාසනානි
ඒ්කෝ චරේ ඛග්ගවිසාණ කප්පෝ

“තියුණු දළ බල ඇති මෘගරාජන් වූ සිංහයා තමන්ගේ සියලු සවියෙන් සියලු සතුන් මැඬගෙන බිය සැක රහිතව ඉන්නවා. අන්න ඒ් වගේ ඈත හුදෙකලා සෙනසුන්වල වාසය කරමින් දැන් මං හැසිරෙන්නේ තනිවම හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි.”

සාදු! සාදු!! සාදු!!!

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සුත්ත නිපාත අට්ඨකතාව ඇසුරෙන් රචිත
අසිරිමත් පසේබුදු පෙළහර ග්‍රන්ථයෙන් උපුටා ගන්නා ලදී ෴