තිලෝගුරු බුදුරජුන් හට සිදු කළ මහරු පූජාවක්

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉදිකෙරුණු ලැබූ ශ්‍රී සම්බුද්ධරාජ මාළිගාව පුද පූජාවන් සඳහා විවෘත වන මෙම මොහොතෙහි සුභාශිංසන පළකරනුයේ සොම්නසිනි.

එක් අතකින් මෙම මන්දිරය ඉදිවීම විස්මිත ක්‍රියාවක් ලෙසින් මා දකිනා අතර කිරිබත්ගොඩ ඤාණානන්ද මහා ස්ථවිරයන් වහන්සේගේ හා දායකකාරකාදීන්ගේ අතුල්‍ය වූ ශ්‍රද්ධා මහිමයෙහි විපුලත්වය තුළින් නිමැව ඇති මෙම බුද්ධ මන්දිරය මුළු මහත් බෞද්ධ ලෝකයා ම අමන්දානන්දයට පත් කරවනු ඇත.

බෞද්ධ ලෝකයා තුළ ශ්‍රද්ධාව ජනනය වන අයුරින් කටයුතු කිරීම සම්බුදු සසුන හා දහම චිරාත් කාලයක් ලොව තුළ පැවතීමට හේතුවනු ඇත. ශ්‍රද්ධාකාමීත්වය තුළින් ධර්මය දැන ජීවිතයට අවැසි ගුුණාංග සිත් තුළ තැන්පත් වීමෙන් සුචරිතවත් සමාජයක් ද බිහි වනු ඇත. මෙවන් උත්තුංග ගුණ දම් සමූහයකට පාදක වන පුණ්‍ය කටයුත්තක් ලෙසින් මෙම අවස්ථාව පිළිබිඹු වනු ඇත.

හැම කල්හිම නවමු යමක් කිරීමෙහි අපූර්ව හැකියාවකින් හෙබි අප හිතෛෂී කිරිබත්ගොඩ ඤාණානන්ද මහා ස්ථවිරයන් වහන්සේ මෙවර සිය දායකකාරකාදීන් හා සමඟින් සිදු කළ මෙම මහානීය පුණ්‍ය කටයුත්ත තිලෝගුරු බුදුරජුන් හට සිදු කළ මහරු පූජාවක් වන අතර, මේ සඳහා ස්වකීය කාලය, ශ්‍රමය හා ධනය නො මසුරුව වැය කළ සැමට ද අපගේ කෘතඥතා පූර්වක පුණ්‍යානුමෝදනය හිමිවන අතර තෙරුවන් බෙලෙන් ඉදිරි සියලු කටයුතු ද සර්වප්‍රකාරයෙන් ම සඵල වේවා! යැයි ඉත සිතින් ප්‍රාර්ථනය කරමි.

මෙයට,
ශාසන හිතකාමී,
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක,
අග්ග මහා සද්ධම්මජෝතිකාධජ, සාහිත්‍ය චක්‍රවර්ති,
ධර්ම ශාස්ත්‍ර ශිරෝමධෑ,
අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මාහිමිපාණන් වහන්සේ

මෙම අසිරිමත් බැබළීම දැක මම අතිශයින් තුටු වෙමි !

අප මේ පසු කරමින් සිටින්නේ ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ අසිරිමත් යුගයකි. උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව නො ඇසෙන්නට ලැබුන අඳුරු යුගයකට පසු එළඹි නිර්මල දහම, අදහම පරයා ඉස්මතු වන දීප්තිමත් යුගය මෙය වීම ඒ අසිරිමත් බවට කාරණයයි. ධර්මය තැබිය යුතු වූ අග්‍රතම ස්ථානයෙහි ම ධර්මය තැබීමට මේ යුගයේ ප්‍රමුඛ වී මහත් වීර්යයෙන්, නො පසුබස්නා ධෛර්යයෙන් ඇපකැප වුණ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ඇති කළ මෙම අසිරිමත් බැබළීම දැක සමස්ත මහමෙව්නා භාවනා අසපු සංචිතයේ උපාධ්‍යායන් වහන්සේ ලෙස මම අතිශයින් තුටු වෙමි.

නොයෙකුත් බාධා මධ්‍යයේ වුව ද නො සැලී හිඳිමින් ගෞතම බුදු සසුන චිරස්ථායි කිරීමට මහත් සේ වෙහෙස වන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාව වටා එක් වූ සැදැහැතියන්ගේ අනුපමේය උපකාරයෙන් උතුම් සම්බුද්ධත්වය පුද දෙමින් ඉදි කෙරුණ ශ්‍රී සම්බුද්ධරාජ මාළිගාව යන නම් ලද මේ අසදෘශ මහා විහාර සංකීර්ණය ශ්‍රී සම්බුද්ධත්වයෙන් 2600 වසරක් ගත වන මේ මොහොතේ අපගේ ශාස්තෘන් වහන්සේ වෙනුවෙන් පුද දීමට හැකි වීම ඉමහත් වාසනාවක් කොට සලකමි. මෙවන් උදාර කටයුත්තක යෙදීමට හැකි වීම ශ්‍රී කල්‍යාණිවංශ නිකාය වශයෙන් ද අභිමානයක් කොට සලකමි. ශාසන චිරස්ථිතිය කැමති වන්නා වූ ශාසන හිතකාමී සියල්ලන්ගේ අපමණ වන්දනාභිමානයට පාත්‍ර වන මෙවන් මහානීය බුද්ධ පූජාවන්ගෙන් ජනිත කෙරෙනුයේ නිරාමිස වූ බුද්ධාලම්බන ප්‍රීතියකි.

අග්‍ර වූ පූජාවන්ගෙන් ලැබෙන ආනිශංසයන් අග්‍රතම වන්නේ ය. මේ පරමෝත්තම කර්තව්‍යයෙහි ලා මුල් වූ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාටත්, දායකකාරකාදින් සියලුම දෙනාටත් අග්‍ර වූ පුණ්‍ය විපාකයන් යෙදීමෙන් මේ ගෞතම බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මෙවන් අග්‍රතම පූජාවන් සිදු කරන්නට ද, චිරාත් කාලයක් සම්බුදු සසුන සුරක්ෂිත කරවන්නට ද, එහි ම පිළිසරණ සදා ගන්නට ද භාග්‍යය උදා වේවා! යැයි ඉත සිතින් ආශිංසනය කරන්නෙමි.

මෙයට,
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරන්ධර,
ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහානායක,
ගෝතම තපෝවනය ප්‍රධාන, ශාඛා මධ්‍යස්ථානයන්හි අධිපති,
වංගීස වංසාලංකාර කම්මට්ඨානාචරිය,
පූජ්‍යපාද දොඩම්පහල චන්ද්‍රසිරි මහා ස්ථවිර

අනගිතම ශාසනික සේවාවක්

බුදුරජාණන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු අද දක්වා සම්බුදු සසුන රැක ගැනීමෙහි මූලිකත්වය ගත්තේ පාරම්පරික බෞද්ධ රට රාජ්‍යවල ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා ය. එයිනුත්, ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා අපේ රාජ රාජ මහාමාත්‍යවරුන්ගේ සහ ප්‍රභූවරුන්ගේ පූර්ණ සහයෝගය ඇතිව සිදුකොට ඇති ශාසනික සේවාව නම් කිසිසේත් ම ලියා කියා නිම කළ නොහැකි තරම් අති විශාලය. බුදුරදුන් උපත ලද ජන්ම භූමියෙහි පවා ශාසනය පිරිහී ගිය ද ලක්දිව පෙර කී අපේ ගිහි පැවිදි පිරිස ශාසනය රැකගැනීමට සමත් වූහ. අතිශය වැදගත්ම සිද්ධිය නම් එතෙක් කට පාඩමින් පැවතගෙන ආ ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමය. එදා එය මාතලේ අළුලෙනේහි දී එසේ සිදු නො වී නම් අද අපට තථාගත ධර්මය අසන්නට නො ලැබෙනු ඒකාන්ත ය. එතරම් ගැඹුරු අයුරින් අපේ ගිහි පැවිදි දෙපක්ෂය තුළ සම්බුද්ධ ශාසනය ගැන හැඟීමක් බැඳීමක් පැවත ආවේය.

දැනුත් ඒ උදාර සේවාව අපේ මහා සංඝයා වහන්සේ මූලිකත්වය ගෙන ඉටුකරනු දැක්ම ශාසන දියුණුවට ඉමහත් රුකුලකි. ඒ උදාර පාරම්පරික උරුමය ඉටුකරනු ලබන අපේ ගරුතර මහා සංඝයා වහන්සේ අතර ගෞරවාර්හ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්ථවිරපාදයාණන් වහන්සේට ද ලැබෙන්නේ අනුපමේය ස්ථානයකි. උන්වහන්සේ සැදැහැවතුන් ඒකරාශී කරගනිමින් ඉකුත් දශක දෙක තුළ පුරා අතිශය දුර්ලභ ගණයේ ශාසනික සේවාවන් රාශියක් ඉටුකොට ඇත. විශේෂයෙන් ම බෞද්ධ ජනතාව උපදෙස් සොයාගෙන තමන් වෙත එනු ලබන අන්‍ය ලබ්ධික භවතුන් ද ප්‍රතිපත්ති ශාසනය දියුණු කරනු සඳහා යොමු කරලීම අතිශයින් ම වැදගත් කරුණකි. ආටෝපයට වඩා ප්‍රතිපත්තියට ජනතාව යොමු කිරීම අද අවශ්‍යයෙන් ම සිදු කළ යුත්තක් ව ඇත. මේ බෞද්ධ රටේ කොතෙකුත් ආගමික වතාවත් කළ ද නැගී එන අපරාධ රැල්ල එයට කදිම නිදසුනකි.

එබදු අර්බුදකාරී සමාජයක එන කවර ප්‍රශ්නයකට වුව ද නිහඬව මුහුණ දෙමින් ගරු කිරිබත්ගොඩ ඤාණානන්ද ස්ථවිරපාදයන් වහන්සේ ඉටු කරනු ලබන උදාර ශාසනික සේවාවට අප කාගේත් අශිර්වාදය ලැබිය යුතු ය. යම් යම් ප්‍රමාද දෝෂයන් ඇතොත් කාරුණිකව පෙන්වා දී ඒවා සකස්කොට ගෙන යහමඟට යොමු කරවීම මිස කපා කොටා ඉවත් කිරීමක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කොට නැත. විවිධ චෝදනා සහගත ප්‍රශ්නවල දී පවා ගරු කිරිබත්ගොඩ ඤාණානන්ද ස්ථවිරයන් වහන්සේ දහමට අනුව මුහුණ දෙමින් ක්‍රියා කරගෙන යාමේ උදාර ව්‍යායාමය නිසා උන්වහන්සේගේ ශාසනික කටයුතු දවසින් දවස මහජන ප්‍රසාදයට පත්වෙමින් දියුණු වන බව පැහැදිලි ව පෙනෙන්නකි. විය යුත්තේ එය මැ යි.

ඉටුකරගෙන යනු ලබන ශාසනික සේවාවන් වඩ වඩාත් පුළුල්ව සිදු කරනු පිණිස දේශීය විදේශීය වශයෙන් භාවනා මධ්‍යස්ථාන පිහිටුවමින් උන්වහන්සේ කරගෙනු යනු ලබන සේවය ද අගය කළ යුතු ය. මේ පුළුල් ශාසනික සේවාවෙහි අගය වඩවඩාත් පැහැදිලි ව පෙනෙන්නේ පොල්ගහවෙල මහමෙව්නාවෙහි ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව‘ දැක ගැනීමට ලැබීමෙනි. ජනතාවගේ සැදැහැ සිත් වඩවනු පිණිස දාගැබ්, විහාර මන්දිර, දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේලා, පාරමිතා ධර්ම පිරීමෙහි දී වඩන ලද ගුණධර්ම ඉස්මතු වී පෙනෙන සිද්ධීන් චිත්‍රවත් සහ මූර්තිමත් කිරීමෙන් දක්වාලීම කවර කෙනෙකුගේ වුව ද ආගමික භක්තියෙන් හදවත් පුබුදු කරවන්නකි. මෙම සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව නමැති විහාර මන්දිරය නිමකරලීමෙන් ඒ වැදගත් කාර්යභාරය ද, ගරු කිරිබත්ගොඩ ඤාණානන්ද ස්ථවිරයන් වහන්සේ සිදුකොට ඇත.

උන්වහන්සේට තුනුරුවන් සරණින් දෙවි රැකවරණින් ස්වකීය ශිෂ්‍ය ගණයාත් සමඟ තව තවත් ශාසනික සේවාවක් ඉටු කිරීමට ශක්තියත් බලයත් ලැබේවා! යැයි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව ප්‍රාර්ථනා කරයි.

මෙයට,
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ හිටපු සභාපති
අග්ග මහා පණ්ඩිත පූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස අනුනායක මහා ස්ථවිර

අසිරිමත් සිදුවීමක්…!

පොල්ගහවෙල, වඩුවාව මහමෙව්නා භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උතුම් සංකල්පනාවකට අනුව 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් ඉදි වූ සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ශ්‍රීමත් මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් 2012 ජූලි මස 02 වන දින ප.ව. 4.00ට යෙදෙන සුභ මොහොතින් විවෘත වන පින්වත් උතුම් දිනයේ හද පිරි සතුටින් සුභාශිංසනය කරමි.

විවිධ විචිත්‍ර සමාජයක ලෞකික ජීවිතයේ අවශ්‍යතා සපුරා ගනිමින් එහි ඇලී ගැලී නො සිට ලෝකෝත්තර නිවන් සුව පතා මේ උතුම් පුණ්‍ය භූමියේ කර වූ අසිරිමත් කර්තව්‍යයට නැවතත් ආශිර්වාදය පුද කරමි.

මෙයට,
නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක,
විශේන් වර්ධිත කාරක සංඝ සභික,
සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි
පූජනීය කළුතර සෝමරතන ස්ථවිර

මේ සුවිසල් විහාර සංකීර්ණය නම් විශ්මකර්ම නිමැවුමකි.

ගයාවේ වජිරාසන භූමියේ දී මාර පරාජිත මහා සංග්‍රාමයෙන් ජය ලබා ලෝකාවබෝධය උපදවා ගනිමින් තිලොව දිනූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ උතුම් සම්බෝධිය සාක්ෂාත් කොට ගෙන වසර 2600ක් ගත වී අවසන් ය. 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරිය යුතු සහ සැමරිය හැකි සැබෑ අයුරින් ම බොදුනුවන් විසින් එය සමරන්නට යෙදුණා ද යන්න නම් ප්‍රශ්නයකි. බහු ජනයා අභිමුව 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසර ඵල රහිත ව ගෙවී ගිය ද, සෑම මොහොතක ම අර්ථ පරිපූර්ණ ප්‍රබුද්ධ ක්‍රියාවන්ගේ මූලිකත්වය ගන්නා මහමෙව්නාව භාවනා අසපු සංචිතය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වසර ද උත්කෘෂ්ට අයුරින් පූජෝපහාරයට බඳුන් විය.

2600 වන සම්බුද්ධත්ව ජයන්ති වසර තුළ ද, මෑත යුගයේ ගෞතම සම්බුදු සසුන තුළ ද, ඉදි වූ සුවිශේෂී ම නිර්මාණය නම් මහමෙව්නාව අසපුවෙන් ගෞතම බුදු සසුනට දායාද වන සම්බුද්ධරාජ මාළිගාව යි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම මේ සුවිසල් විහාර සංකීර්ණය නම් විශ්මකර්ම නිමැවුමකි. සකල කලා කෞෂල්‍යයෙන් යුතු ව මේ සා සුවිසල් විහාරයක් වසරකුත් මාස කිහිපයක කාලයක් තුළ දී ඉදි කිරීමට නම් මිනිස් දෑත් මත දිව්‍යමය ශක්තියක් ගොනු විය යුතු ය. එනිසා, ශාසන භාර සම්‍යක්දෘෂ්ටික දෙවි දේවතාවුන්ගේ උපකාරයෙන් ම මේ විශ්මිත නිමැවුම සිදු කෙරෙන්නට ඇතැයි මම විශ්වාස කරමි.

ථේරවාදී බෞද්ධ ලෝකයේ අන් කිසිදු රටක මෙවන් අත්‍යුදාර, අතිවිශිෂ්ට බුද්ධෝපහාරමය නිර්මාණයක් නම් දක්නට ලැබෙන්නේ නැත. ත්‍රෛනිකායික මහ සඟ රුවනට මා ඇරයුම් කරන්නේ මෙවන් අග්‍රගණ්‍ය පුණ්‍ය භූමියක් දෑසින් දැක බලා වන්දනා කිරීමට ලැබෙන මේ පරම දුර්ලභ අවස්ථාවෙන් ඵල නෙලා ගන්නට ය. මේ සුවිසල් කර්තව්‍යයෙහි ලා අප්‍රතිහත ධෛර්යයෙන් යතුව අධිෂ්ඨානශලී ව මඟ පෙනවූ පරම පජූනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මුළු මහත් ජාතියේ ද සමස්ත බෞද්ධ ලෝකයේ ද ගෞරව ප්‍රණාමය නිතැතින් ම හිමි විය යුතු ය.

ගෞතම සම්බුදු සසුන තුළ ගෞතම බුද්ධ ශ්‍රාවකයෙකු ලෙස පෞද්ගලිකව මෑත යුගයේ මා ලද පරම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ, පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ යි.

මේ සුභාශිංසන පණිවුඩය අසන දකිනා සියල්ලන්ට ම මා සිහිපත් කරන්නේ ඒ අති උතුම් කල්‍යාණ මිත්‍ර සේවනයෙන් අග්‍රතම ඵල නෙලා ගනිමින් ගෞතම බුද්ධ රාජ්‍ය තුළ ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අප්‍රමාදී වන ලෙස යි.

තෙරුවන් සරණයි!
කොළඹගම ශ්‍රී රාජමහා විහාරාධිපති
පූජනීය ගල්ලැහැපිටියේ පේමරතන නායක ස්ථවිර

සම්බුදු සසුනේ චිරස්ථිතිය, ආරක්‍ෂාව හා පෝෂණය සඳහා උදාර ශාසනික මෙහෙවරක්

2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට මහමෙව්නා භාවනා අසපුවේ නිර්මාතෘ ගෞරවාර්හ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ සංකල්පයක් අනුව පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරනු ලබන ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව’ විවෘත කිරීම නිමිත්තෙන් සකස් කෙරෙන සමරු කලඹ සඳහා සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනු ලබන්නේ හදපිරි සතුටිනි.

සම්බුදු සසුනේ චිරස්ථිතිය, ආරක්‍ෂාව හා එහි පෝෂණය සඳහා ගෞරවාර්හ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, සිය ආගමික මෙහෙවරයන් ඉටු කරනුයේ නිස්සරණාධ්‍යාසයෙනි.

ජනහිතකාමී දැහැමි සමාජයක් ඇතිකරලීමට උන්වහන්සේ ගන්නා වෙහෙස මා නිරන්තරයෙන් අගය කරන අතර, විදේශ රටවල පවා ආගමික උන්නතිය වෙනුවෙන් ඉටුකරන මෙහෙය ප්‍රශංසනීය වේ.

අරලියගහ මන්දිරයේ දී මාසිකව පවත්වනු ලබන ධර්ම දේශනා කිහිපයකට සම්බන්ධ වූ උන්වහන්සේ ජනහිතකාමී ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් සසුනේ දියුණුවට ගන්නා වූ උත්සාහය සැමගේ පැසසුමට පාත්‍ර වනු නිසැක ය.

මෙබඳු උදාර ශාසනික මෙහෙවරක් ඉටු කිරීමට ගෞරවනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සමත්වීම සැමගේ ප්‍රසාදයට ලක්විය යුතු ය.

මෙම කටයුතු සංවිධානය කරන කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාටත්, මේ උතුම් පින්කම් සඳහා දායක වන සැමටත්, මාගේ සුභාශිංසන පිරිනමන අතර, එය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා! යැයි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

බෞද්ධ ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක්

2600 වැනි ශ්‍රි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පොල්ගහවෙල, වඩුවාව, මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරන ලද ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව’ නිරාවරණය කිරීමේ පුණ්‍ය උත්සවයට සුභාශිංසන පිරිනමන්නේ හද පිරි බැතියෙනි.

මෙම “සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව” ඉදි කිරීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළ, විචිත්‍ර ධර්ම කථික, මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘ, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමි.

බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා ලාංකේය සමාජය තුළ මෙතරම් පිබිදුන යුගයක්, මා මීට පෙර නොදුටු බව පවසන්නේ වඩාත් හැඟීම්බරවය. 2600 වැනි ශ්‍රී සම්බුද්ධ ජයන්තියත් සමඟ රට තුළ ඇති වූ ආගමික හා සමාජයීය ප්‍රබෝධයේ තවත් එක් ප්‍රතිඵලයක් ලෙස මෙම ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව’ ඉදි වූ බව පෙන්වා දෙමි.

බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කළ යුතු ය යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පෙන්වා දී ඇති පරිදිම, එය ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක කරන නායකයෙකු වන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මතිඳුන්ගේ මඟ පෙන්වීම ද වර්තමානයේ රට තුළ ඇති වී තිබෙන බෞද්ධ ප්‍රබෝධයට තවත් හේතුවකි.

එවැනි දැහැමි නායකයකු යටතේ 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට ලැබීම ද පුණ්‍යවන්ත සිද්ධියක් බව පෙන්වා දෙන්නේ අභිමානයෙනි. අප දේශය තුළ යුද්ධය නිම වී ඇත. සියලු ජන කොටස් සහජීවනයෙන් වාසය කරති. දැහැමි ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පදනම ලැබී තිබේ. රට තුළ ආර්ථිකමය සංවර්ධනයක් සිදු වන අතර තුර, සමාජය තුළ ආධ්‍යාත්මික දියුණුව ද වර්ධනය වෙමින් පවතියි.

යහ සමාජයක් ගොඩනැගීමේ අභියෝගය ජය ගැනීම සඳහා මහා සංඝරත්නය ලබා දෙන ආශිර්වාදය අප්‍රමාණ ය. මහා පවුරක් ලෙස සිටිමින් රට, දැය, සමය සුරක්ෂිත කිරීම උදෙසා මහා සඟරුවන එදා මෙන් ම වර්තමානයේ දී ද දක්වන ඒ පරිත්‍යාගශීලීත්වය, මග පෙන්වීම නො වන්නට අප තව දුරටත් දීන ජාතියක් වන්නට ඉඩ තිබුණි.

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදි කෙරුණු ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව’, බෞද්ධ ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇති බව මගේ හැඟීමයි.

දි. මූ. ජයරත්න
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය – බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

සියල්ලන් සසරින් එතෙර කරවීම උදෙසා මහත් පින් අස්වනු නෙලා දෙන අග්‍රතම පූජාවක් වේවා!

ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධාභිෂේකයෙන් පිදුම් ලැබීමෙන් අනතුරුව එළැඹි 2600 වන සම්බුද්ධත්ව ජයන්ති වසර සකල ලෝ වාසී බෞද්ධ ජනයා ඉමහත් ගෞරව බහුමානයෙන් සමරනු ලැබූ සුපින්බර වසරක්ම විය. ශ්‍රී ලාංකේය බොදු ජනයා ද සැදැහැයෙන් යුතුව සම්බුද්ධත්ව ජයන්තිය පුද දුන්නේ සුවිශේෂී වූ පුණ්‍ය කර්මයන්හි නියැළෙමිනි.

හෙළ බොදු ඉතිහාසය තුළ සෑම විට ම සුවිසල් නිර්මාණයන් ඉදි වී ඇත්තේ රට ස්වෛරීව, එක්සේසත්ව තිබිය දී ය. එය ඉතිහාසය පුරා අප විසින් අත්විඳින අසිරිමත් සත්‍යයකි. ද්‍රෝණයක් සම්බුදු ධාතු සුරකිමින් බොදුනුවන්ගේ මුදුන්මල්කඩ බඳු වූ ස්වර්ණමාලි මහ සෑය ගොඩනැගුණේද සතලිස් වසරක එළාර පාලනයෙන් රට මුදවා ගැනීමෙන් අනතුරුව ය.

මහරහතන් වහන්සේලාගෙන් අනුශාසනා ලද ජනී ජනයා දෙව් විමනක් බඳු වූ ලෝවාමහාපාය ඉදි කළේ ද ඒ ස්වෛරී රට තුළ ය. ශාසන හිතකාමි වූ දෙවි බඹුන් පවා ඒ අද්විතීය නිර්මාණයන්, විශ්වකර්ම නිර්මාණයන් බවට පත් කරලන්නට බොහෝ සෙයින් උපකාර කළහ. ඒ ඉතිහාසය ම නැවත ලියැවෙමින් 2600 වන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය පුද දුන් සුවිසල් නිර්මාණයන් බිහි වුණේ ද ස්වෛරී රාජ්‍යයක් තුළ වීම අපට ගෙන දෙන්නේ ඉමහත් සතුටකි. පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු පුදබිමේ ඉදි වූ ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව‘ නිදහස් ශ්‍රී ලංකාවේ එලෙස ඉදි කෙරුණු පළමු සුවිසල් විහාර සංකීර්ණයයි.

මෙම අද්විතීය මාළිගා සංකීර්ණය නිර්මාණය කිරීම උදෙසා දිවයිනේ නන් දෙසින් මෙම පූජා භූමියට පැමිණෙමින් ධනය, ශ්‍රමය, කාලය ද, සැලසුම් සහ ශිල්පීය ඥාණය ද, කලා කුසලතාවය ද, භව භෝග සම්පත් ආදි දහදිය මහන්සියෙන් උපයා ගත් අනෙක් දෑ ද ඇප කැප කළ පින්වත් සියලු දෙනා වෙත පුණ්‍යානුමෝදනා කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නෙමු.

සියල්ලන්ට ම පළමු පූජාවන් ලැබීමට සුදුසු වූ සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මෙවන් අසිරිමත් අසදෘශ මහා විහාර සංකීර්ණයක් ඉදි කරවා පූජා කරමින් හෙළ බොදුනුවන් ලෝකයට ලබා දෙන්නේ අග්‍ර වූ පරමාදර්ශයකි.

මෙවන් සුවිසල් කර්තව්‍යයක් උදෙසා නො පැකිලි ව යොමු වීමට තරම් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සතු වූ අප්‍රතිහත ධෛර්යය ඉමහත් සොම්නසින් යුතු ව සිහිපත් කරන්නේ යුගයේ අවශ්‍යතාවයක් වූ මෙවන් සංඝ පීතෘවරයාණන් වහන්සේලා ඇසුරු කරන්නට ලැබීම ද පුණ්‍ය කර්මයක් වන බව සනිටුහන් කරමිනි.

තුන් දොරින් කුසලයේ හැසිරෙමින් මේ අසිරිමත් පුණ්‍ය ක්‍රියාව හා සහසම්බන්ධ වූවන් සියලු දෙනා හට ම උත්සව සංවිධාන කමිටුව වශයෙන් පුණ්‍යානුමෝදනා කරන්නෙමු.

ගෞතම සම්බුදු සමිඳුන්ගේ උතුම් ශ්‍රී ධර්මස්කන්ධය ජීවමාන කොට, රාව ප්‍රතිරාව දී යළි බබුළුවා ලූ උතුම් ශ්‍රාවක සඟරුවන වැඩ සිටින්නා වූ මහමෙව්නා භාවනා අසපු සංචිතය කේන්්ද්‍ර කර ගත් මේ උත්තම සම්බුද්ධ පූජෝපහාරය සියල්ලන් සසරින් එතෙර කරවීම උදෙසා මහත් පින් අස්වනු නෙලා දෙන අග්‍රතම පූජාවක් වේවා! යැයි ඉමහත් සැදැහැයෙන් යුතු ව සුභාශිංසන ගෙන එනු කැමැත්තෙමි.

මෙයට,
චමල් රාජපක්‍ෂ
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක
(සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගා කමිටුවේ සභාපති)

බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ මහිමයට පිදූ මහා පූජාවක්

නිර්මල බෞද්ධ ථේරවාද සද්ධර්මය සුරක්ෂිත කළ භූමිය ලෙස ශ්‍රී ලංකාද්වීපය ලෝක බහුමානයට පාත්‍රව ඇත්තේ ය. එම නිසා ම ශ්‍රී ලංකාව ‘ධර්මද්වීපය’ යන විරුදාවලිය ලද්දේ පෙර කලෙක සිට ය. සම්බුදු දහම පිහිටා වදහළ දා පටන් ශ්‍රී ලංකාව එම උරුමය ජීවමාන කළේ යාවත්කාලීනව ය. එක අතකින් ගෞතම සසුන ජීවමාන කළ අප උතුම් බුදු දහම ලේඛන ගත කරමින් ද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උත්කෘෂ්ට ගෘහ නිර්මාණය ද අති සියුම් සුමට කලා නිර්මාණ ද බිහි කළේ විටින් විට බුදු සසුන් පුනරුදයක මඟ නිමිති බිහි කරමිනි. එලෙස ගලා ආ ශ්‍රී ලාංකික ථේරවාදී බෞද්ධ සංස්කෘතිය තවමත් යාවත්කාලීන ය. විවිධ පැතිමං ඔස්සේ සුභාවිතව ගලා යන්නේ ය. මෙකී පෙර සිරිත තවත් ජීවමාන කරමින් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිපාණන් වහන්සේගේ ධර්මානශාසනායකත්වයෙන් යතුව ‘සරි ගෞතම සම්බුද්ධ රාජ මාළිගාව’ ගොඩනංවා සසුනට පූජා කිරීම වස් අසිරිමත් ධර්ම මංගල්‍යක් පැවැත්වෙන බව සැලවීමෙන් මහත් ධර්ම ආනන්දයට පත්වීමි.

බුදු සසුන විෂයෙහි පේ වූ ජාතිය ලෙස ද බුදු සසුන වෙනුවෙන් රාජ දේශපාලනය හසුරුවාගත් ජාතිය ලෙස ද ලාංකික ජාතිය ඉතිහාසයේ රැන්ඳූ ධර්ම කීර්තිය මෙමඟින් තවත් ඔප් නැංවෙනු ඇත. ථූපාරාම මහා සෑය පිහිටුවූ දා පටන් අප මීමුතුන් පරපුර විවිධ නිර්මාණ, භගවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තරීතරභාවය උදෙසා ස්ථාපිත කර පූජා කර ඇත. ඒ අනුව යමින් ස්ථාපිත කර ඇති පොල්ගහවෙල, වඩුවාව යටිගල්ඔළුව මහමෙව්නාව භාවනා අසපුව, ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව’ බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ මහිමයට පිදූ මහා පූජාවක් බව සඳහන් කළ යුතු ය.

මෙම උතුම් සද් මෙහෙය පිණිස කැප වූ අප නාහිමිපාණන් වහන්සේට ද සියලු ශාසන උන්නතිකාමි සැදැහැවත් ජනීජනතාවට ද මාගේ නමස්කාර පූර්වක ස්තුතිය ද ගෞරවය ද පිරිනමමි.

මෙයට,
රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්‍ෂ නායක හා විපක්‍ෂ නායක

දුටු දුටුවන්ගේ නෙත් සිත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනවීමට සමත් අසදෘශ බුද්ධෝපහාරමය නිර්මාණයක්

අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ සතරවන බුදුරජාණන් වහන්සේ ලෙස අභිෂේක ලබා වසර 2600 ක් ඉක්ම ගොස් ඇති අතර, තථාගතයන් වහන්සේ ජන්ම ලාභය ලද භාරතයෙන් ද ගෞතම ශාසනය සම්පූර්ණයෙන්ම පාහේ අතුරුදහන් වී ගොස් ය. අප ශ්‍රී ලංකාවේ ද මෑත කාලයක් වනතුරු ම චතුරාර්ය සත්‍ය ධර්මය පොත්ගුල් වලට පමණක් සීමා කර ගෞතම බුද්ධ ශාසනය අමතක කර දමා මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරමින් සිටි අඳුරු යුගයක් වී තිබූ බව නොරහසකි.

එම අඳුරු කඩතුරා ඉරා දමමින් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නාව භාවනා අසපු සංචිතය පිහිටුවා අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ දී ප්‍රවර්තනය කළ චතුරාර්ය සත්‍ය කැටි කර ගත් සුවාසු දහසක් ධර්මස්කන්ධය දහම් පිපාසිත ජනයාට නැවත සරල බසින් දේශනා කරමින් නැවතත් අමා නිවන් දොර විවෘත කර දෙන ලදි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ (තථාගතප්පවේදිතෝ භික්ඛවේ ධම්මවිනයෝ විවටෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ) එනම්; පින්වත් මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයත් විනයත් බබළන්නේ විවෘත වු විටය, සැඟවී තිබෙන විට නොවේ, (අංගුත්තර නිකාය-තික නිපාතය, භරණ්ඩු වර්ගය 9 වන සූත්‍රය) යන බුද්ධ වචනය, වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම විදහා පෙන්වනු ලැබූ සංඝ පීතෘවරයන් වහන්සේ නමක් ලෙස හඳුන්වා දෙනු කැමැත්තෙමි.

උන්වහන්සේ එයින් නොනැවතී හුදී ජනයාගේ ශ්‍රද්ධා ධනය වර්ධනය කිරීම සඳහා ඉදි කරන්නට යෙදුන ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව‘ මෙම වකවානුවේදී ඉදි කරන ලද විශ්මිත විහාර කර්මාන්තයක් පමණක් නොව දුටු දුටුවන්ගේ නෙත් සිත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනවීමට සමත් අසදෘශ බුද්ධෝපහාරමය නිර්මාණයක් ලෙස හඳුන්වා දීමට කැමැත්තෙමි.

මෙම අසදෘශ නිර්මාණය ශ්‍රී ලංකා ද්වීපයේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ම හේතු වන බව නොරහසකි. මේ උත්තම සම්බුද්ධ පූජා උපහාරය සියලු දෙනාට ම සසරින් එතෙර වී අමෘත මහා නිවන් සම්පත් ලඟා කර ගැනීම සඳහා හේතු වේවා! යි මා පින් සිත් පෙරදැරිව සුභාශිංසන පුද කරමි.

ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ
ධර්ම නීති විශාරද, ශාසන විභූෂණ
පාර්ලිමේන්තු මන්ත්‍රී
(සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගා කමිටුවේ ලේකම්)

ධර්ම සංවේගය උපදවාලන උත්තම කටයුත්තකි

ගෞරවනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මහරූ සංකල්පයක් අනුව 2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය ස්මරණය නිමිත්තෙන් වඩුවාව, පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ප්‍රතිෂ්ඨාපිත ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව‘ සැදැහැති බෞද්ධ ජනතාව සඳහා විවර කිරීමේ උත්සවය නිමිති කොට ගෙන නිකුත් කරන සමරු කලාපයට සුභාශිංසන පණිවුඩයක් එකතු කරන්නට ලැබීම මහා පින්කමක් කොට මම සලකමි.

2600 වැනි සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය සමාරම්භ වූ මොහොතේ පටන් අප රට තුළ එතෙක් මෙතෙක් නො වූ ආකාරයේ ඉමහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇතිව තිබෙන බව සුක්සුදක් සේ සුපැහැදිලි ය. එවන් තත්ත්වයක් තුළ රටවාසී සකල බොදු ජනතාව බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී සිටින මොහොතක අපේ කිිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවක් ප්‍රතිෂ්ඨාපනය කිරීම අත්‍යුත්තම පුණ්‍යකර්මයක් බව වෙසෙසින් සඳහන් කළ යුතු ය. සමස්ත ලෝකය ම ගෝලීයකරණයේ උණුසුමට හසුව තිබෙන වකවානුවක, හැකි හැම අයුරකින් ම අපේ බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවනට ආලම්බනය වන ආකාරයේ වැඩපිළිවෙළ නිරතුරුව ම හ`දුන්වා දීම සහ පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණකි. බුදු සිරිතේ අසිරිමත් සිදුවීම් සහ සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව සිදු වූ පරම පූජනීය අවස්ථාවන් අන්තර්ගත කරමින් මෙම ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව’ ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් ගෞරවනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඉටු කර තිබෙන්නේ බෞද්ධ ජනතාවගේ ධර්ම සංවේගය උපදවාලන එවන් උත්තම කටයුත්තකි.

සකල විධ බෞද්ධ ජනතාව සඳහා උපන් මෛත්‍රී ගුණයෙන් යුතුව අනේක විධ බුද්ධ කර්තව්‍යයන්හි යෙදෙන ගෞරවනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේට මෙවන් උත්තම පුණ්‍ය කටයුතුවල නිරත වෙමින් අප රටට ධර්මාලෝකය ලබා දීමට තව තවත් ශක්තිය, ධෛර්ය, ආරෝග්‍යතාව සහ දීර්ඝායුෂ ලැබේවා! යැයි මම අධිෂ්ඨානාත්මකව ප්‍රාර්ථනා කරමි.

එච්. පී. කැෂියන් හේරත්
ලේකම්,
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය

දිවා රෑ පින් වැඩෙන පින්කමක්

පොල්ගහවෙල, වඩුවාව මහමෙව්නාව භාවනා අසපු භූමියේ ඉදිකරන්නට යෙදුන ‘සිරි සම්බුද්ධරාජ මාළිගාව‘ විවෘත කිරීම නිමිත්තෙන් එළිදක්වන සමරු කලාපය සඳහා මාගේ සුභ පැතුම් එක්කරන්නේ ඉමහත් සතුටිනි.

සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයෙන් වසර 2600ක් සම්පූර්ණ වීමේ සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ලොව පුරා ඉමහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය. දිවයිනේ සෑම වෙහෙර විහාරස්ථානයක ම පාහේ විවිධාකාර උත්සව පින්කම් සිදු කළ අතර බොහෝ විහාරස්ථානවල සම්බුද්ධත්ව ජයන්තිය අනුස්මරණය කරමින් විවධ චෛත්‍ය, විහාරමන්දිර, ධර්මශාලා ආදි ගොඩනැගිලි ඉදිකරන ලදි. 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පොල්ගහවෙල, වඩුවාව මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකරන්නට යෙදුන ‘සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාව’ ද බොදු දන හදවත් තුළ බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරන්නට හේතුවන්නක් බවට සඳහන් කරන්නේ සතුටිනි.

විහාරාරාම ඉදිකිරීම බුද්ධ දේශනාව අනුව දිවා රෑ පින් වැඩෙන අටමහා කුසලයට අයත්වන පින්කමකි. එබැවින් මේ සඳහා දායක වූ සැමට පින් සිදු කරගැනීමට හේතුවන මහඟු පින්කමක් සේ මෙම පුණ්‍යකර්මය හැඳින්විය හැක. මෙම විහාර මන්දිරයෙහි සිදුහත් උපතේ සිට පරිනිර්වාණය දක්වා බුදු සිරිතේ විශේෂ අවස්ථාවන් ද නිරූපණය කර තිබීම විශේෂ ය.

ඉතා කෙටි කලක් තුළ මෙවැනි දැවැන්ත නිර්මාණයක් සිදු කරන්නට පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගත් උත්සාහය ප්‍රශංසනීය ය.

චන්ද්‍රප්‍රේම ගමගේ
බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්