ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා!

“අප මුනිඳුගෙ ධාතුන් වැඩ හිඳිනා – සඳුන් කුටිය වඳිනෙමු අපි තුටිනා”

දෙතිස් මහා පුරිස ලකුණින් සමන්විත පින් සිරුරක් දරා නිකෙලෙස් හද මඬලකින් වැඩ සිටි අපගේ ශාස්තෘන් වහන්සේ දහනම වසක්ම වැඩ සිටියේ අනාථපිණ්ඩික සිටාණන් පිදූ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ සුගන්ධ කුටියේය. සම්බුදු පහසින් සුපූජනීයත්වයට පත් වූ සුගන්ධ කුටිය ප‍්‍රතිනිර්මාණය කරමින් සම්බුද්ධ රාජ මාලිගයේ ඉහළ මාලයේ ඉදිවූ සුගන්ධ කුටියේ පිත්තල ධාතු කරඬුවේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින සේක. රන් ආලේපිත ධාතු කරඬුව තැන්පත් කර ඇත්තේ රිදී ආලේපිත කරඬුවක් තුළ වන අතර එය මනරම් වූ සුවිශාල කරඬුව තුළ ගෞරවනීය ලෙස තැන්පත් කොට ඇත. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වටා සියයකට අධික වූ ගෞතම බුද්ධ ශාසනය ශෝභමාන කොට වදාළ නිකෙලෙස් මුනිවරුන්ගේ ශ්‍රී අරහන්ත ධාතූන් වහන්සේලා වැඩ සිටිති. ඒ අතර ප‍්‍රඥාවෙන් අගේ‍්‍රශ්වර වූ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ, ඍද්ධිබල ලාභීන්ගෙන් අග‍්‍ර වූ මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ, අග‍්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහ රහතන් වහන්සේ, දිවැස්ලාභී ශ‍්‍රාවකයන්ගෙන් අග‍්‍ර වූ අනුරුද්ධ මහ රහතන් වහන්සේ, සීවලී මහ රහතන් වහන්සේ, පුණ්ණ මහ රහතන් වහන්සේ, අංගුලිමාල මහ රහතන් වහන්සේ, මලියදේව මහ රහතන් වහන්සේ ආදී උත්තම මහ රහතන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේලා වැඩසිටීම සුගන්ධ කුටියේ පූජනීයත්වය වඩාත් වැඩි කරවයි. ඊට අමතරව තවත් අරහන්ත ධාතූන් වහන්සේලා සිය නමකට අධික සංඛ්‍යාවක් මෙහි වැඩ සිටිති. එමෙන්ම මහා ප‍්‍රජාපතී ගෞතමී රහත් තෙරණිය ගේ උත්තම ධාතූන් වහන්සේලා ද මෙහි වඩා හිඳුවා ඇත. සුන්දර කැටයමින් ඔප් නැංවුන සුපූජනීය සුගන්ධ කුටියට පියමැනීමේදී දිවමන් බුදුරදුන් වන්දනා කරන්නා සේ හැඟීමක් සිතට දැනේ.

මේ ඔබට දිස්වන්නේ එම සර්වඥ ධාතූන් වහන්සේලා සහ අරහන්ත ධාතූන් වහන්සේලා තැන්පත් විසිතුරු මාලා වලින් සරසන ලද පිත්තල කරඬු සුගන්ධ කුටියේ තැන්පත් කිරීමට පෙර පින්වත් ස්වාමීන් වහන්සේලාට සහ මහජනයාට දැක බලා වන්දනාමාන කරගැනීමට සංඝාවාසය තුළ තැන්පත් කොට තිබූ අවස්ථාවයි.

මෙම සියලු ධාතු කරඬු සම්බුද්ධ රාජ මාලිගාව විවෘත කළ දිනට පෙර දින ඔබ ඉහතින් දුටු සුගන්ධ කුටියේ සුවිශාල මනරම් ධාතු කරඬුව තුළ තැන්පත් කරන ලදී. සුවඳ හමන සුදු හඳුන් ලීයෙන් නෙළුම් මල් කැටයම් කළ විචිත‍්‍රවත් බිත්ති සතරකින් වටවූ සුගන්ධ කුටිය, කලුවර ලීයෙන් නිර්මිත සතරැස් කොටු වලින් විසිතුරු කොට ඇත. එමෙන්ම සුගන්ධ කුටියේ සිව්කොණෙහි ධ‍්‍රතරාෂ්ට, විරූඪ, විරූපාක්ෂ, වෛශ‍්‍රවණ යන සතරවරම් දෙවිවරුන් ධාතු කරඬුවට වන්දනා කරමින් සිටින අයුරු ද මෙහි නිර්මාණය කර ඇත.

තේක්ක ලීයෙන් කරවන ලද අත්‍යාලංකාර කැටයමින් යුත් මහල් පහකින් සමන්විත වහලයේ තැනින් තැන විචිත‍්‍රවත් ලෙස සඳුන් ලීයෙන් කළ මල් සවිකොට ඒවායේ මුතු පැහැය ගත් අබරණ එල්ලා ඇත. එමෙන්ම මෙම මහා පිත්තල ධාතු කරඬුව තැන්පත්කොට ඇති සුවිශාල ආසනය ද නැදුන් ලීයෙන් හා කලුවර ලීයෙන් කළ කැටයම් වලින් විසිතුරු වී ඇති අතර එම ආසනය මත අගිල් ලීයෙන් හා සඳුන් ලීයෙන් කළ මල් 326 ක් ද සවිකොට ඇත.

විශේෂයෙන් සකසන ලද උළු වලින් සෙවිලි ගන්වා ඇති වහලය සූර්ය රශ්මියෙන් දිදුලමින් මනස්කාන්ත දසුනක් මවාපායි. සුගන්ධ කුටියේ බිම සකසා ඇත්තේ මනාව පිරියම් කළ කුඹුක් දැවයෙනි. සුපූජනීය සුගන්ධ කුටියට පිවිසීමේ දොරටු දෙකද, උළුවස්ස ද මනමෝහනීය කැටයමින් අලංකාර කර තිබේ. ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරනා සුපින්වත් ස්වාමීන් වහන්සේලා දිනකට දෙවරක් තෙරුවන් වන්දනා කරමින්ද සුගන්ධ කුටිය තුළ සිය අසහාය ශාස්තෘන් වහන්සේට පරම ගෞරවාදරය පුද කරති. එමෙන්ම ආහාර සම්බුද්ධ පූජාවන්ද, ගිලන්පස සම්බුද්ධ පූජාවන්ද, මනාව සැකසූ මල්පහන් සුවඳදුම් සමගින් පුද කරමින් අග‍්‍ර වූ පූජාවන් දිනපතා පවත්වති.

මේ සියලු ඉදිකිරීම්, නිර්මාණයන්, පූජාවන් සිදුකරන ලද්දේ මේ දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණබ්‍රාහ්මණයන් සහිත ලෝකයේ අසහාය වූ අද්විතීය වූ අසමසම වූ ශාස්තෘන් වහන්සේ වන ගෞතම අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ උදෙසා කරන උපහාර පූජාවක් වශයෙනි. දෙව්ලොවත් බඹලොවත් මනුලොවත් නාලොවත් මේ සියලු ලොව උදේ දිවා රෑ මෙතරම් වැඳුම් පිදුම් ලබනා පුදපූජාවන් ලබනා සත්කාර සම්මාන ලබනා වෙනත් උතුමෙකු නොමැත. සසර පුරා රැස්කළ අනන්ත පුණ්‍යානුභාවයෙනි භාග්‍යවතුන් වහන්සේ උදෙසා මෙතරම් පුදපූජා ලැබෙන්නේ. එය උන්වහන්සේගේ භගවා ගුණයයි. ඒ භාග්‍යවතුන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගිය ගිහි පැවිදි ශ්‍රාවකයන් වන අප විසින් මෙසේ අපට හැකි උපරිමයෙන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වය උදෙසා පූජෝපහාර දක්වන ලදී.